- Advertisement -

දරුවන්ට කොණ්ඩය අහිමි වන්නේ ආරය නිසා විතරද?

-

ඕනෑම ජීවියකුගේ වර්ධනය හා සංවර්ධන යන දෙකටම බලපෑමක් කරන්න ආරයට හා පරිසරයට පුලුවන්. සමහර ආරේ ගති පරිසරයෙන් වෙනස් කරන්න පුලුවන්. ඒත්.. සමහර දේවල් ජානගත වෙලා තියෙන කොට පරම්පරා ගති ලක්ෂණ හැටියට පෙන්නුම් කරනවා. ඒ දේවල් දිහා බලලා කල්පනා කරනවා මේ වගේ ලක්ෂණ අපේ පරම්පරාවෙ අයට තිබුණද කියලත්. ඉතින් ඒ වගෙ සමහර විට වෙනස් කල හැකි දේවල් සමහර විට වෙනස් කල නොහැකි දේවල් ලෙසින් හඳුනාගන්නත් පුලුවන්. ඉතින් මේ අපි කතා කරන්න හදන්නෙත් ඒ වගේ දරුවන් තුළ දක්නට ලැබෙන කොණ්ඩය සම්බන්ධ ගැටලුවක් පිළිබදවයි.

දරුවෙක් උපදිනකොටම සමහර විට ඝනට වැඩුණු කලු පාට කොන්ඩයක් තියෙන්නත් පුලුවන්. සමහර විට ලා පාටට සියුම් කොණ්ඩයක් තියෙන්නත් පුලුවන්. සමහර විට තැනින් තැන කොණ්ඩ ගස් කීපයක් තියෙන්නත් පුලුවන්. ඒත් මේ හැම අවස්ථාවක්ම මෙහෙමයි කියලා විස්තර කරන්න අමාරු උනත්..අනුමාන වශයෙන් හිතන්න පුලුවන් දේවල් ගැන පිළිබඳව අපේ අවධානය යොමු කරමු.

- Advertisement -

දරුවෙකුගේ හිසකේ නැති වීමට බලපෑ හැකි පාරිසරික සාධක

  • ගැබිනි සමයේ මවගේ පෝෂණය

දරුවෙකු පිළිසිද ගත් දිනයේ ඉදන් මුල් තුන් මාසය පුරාවටම සිද්ධවෙන්නෙ සෛල බෙදෙමින් අඟ පසඟ ඒ කියන්නෙ ඉන්ද්‍රීය පද්ධතිය විකසනය වීම. මේ සංසිද්ධිය සිද්ධ වෙන්න හැම ඉන්ද්‍රියක්ම විකසනය වෙමින් වගේම ඒවායෙ කෘත්‍යයන්ට අදාළ ස්නායු සම්බන්ධතාත් ශක්තිමත් කරමින්. මේ නිසා තමා අපි කියන්නෙ කාන්තාවක් ගර්භනී වෙන්න පෙරාතුව ඉදලා ෆෝලික් ඇසිඩ් කියන මහානුභාව සම්පන්න විටමිනය ගන්න කියලා. ඒකෙ තේරුම තමයි කලල විකසනයේදී අවයව නිර්මාණය වෙමින් ඒවායෙ කෘත්‍යට අදාල ස්නායු සම්බන්ධතා සංවර්ධනයට ලොකු බලපෑමක් කරන්නෙ ෆෝලික් අම්ලය වීම. එහෙම නොවුනට දරුවගෙ මූලික නිර්මාණයේදී යම් යම් අඩුපාඩුකම් සිද්ධවෙන්න පුලුවන්. ඒකෙ ප්‍රතිපලය දරුවාගෙ ස්නායුගත ආබාධ ඇතිවීම. ඔන්න ඔය වගේ තමයි අම්මගෙ පෝශණය කුස පිලිසිද ගත් දරුවට පිලිසිඳගත් දවසෙ ඉදන් බලපාන්නෙ. මේකෙන් අපිට තේරෙනවා මව්කුස තුල සිටින දරුවට මවගේ පෝශණය බලපානවා කියලා.

මේ නිසා දරුවන්ගෙ ඉන්ද්‍රීය පද්ධතිය විකසනයට වගේම ඒවායෙ ක්‍රියාකාරිත්වය නිවැරදිව සිද්ධ වෙන්න නම් ගර්භනී කාලය තුල මවගේ පෝෂණය පිළිබඳව සැලකිල්ලක් දක්වන්න ඕනෙ. ඒ කියන්නෙ ගර්භණී මවගේ පෝෂණය පිළිබදව සොයා බැලීම සමාජ වගකීමක්. ඒ නිසා සියලු පෝෂකාංග අඩංගු ආහාර වේල් නිවැරදි ආහාර රටාවක් වගේම හොඳ සෞඛ්‍ය පුරුදුවලින් සමන්විත ගර්භණී සමයක් සෑම මවකටම හිමිවිය යුතුයි. එගෙම උනාම දරුවාගෙ අස්ථි පද්ධතිය වගේම හිසකෙස්, නිය ආදියෙ වර්ධනයත් සම්පූර්ණ වෙනවා. මේ නිසා සමහර දරුවන්ගෙ කොණ්ඩය ඇතිවීමට ගර්භණී මවගේ පෝශණය බලපානවා කියලා අපිට තේරුම් ගන්න පුලුවන්. මේ තත්ත්වය අපිට දරුවකුගෙ වර්ධනයට අවශ්‍ය පරිසරය සැකසීම තුලින් කල හැක්කක්.

පෝශණය පිළිබඳව සලකා බැලීමේදී හිසකෙස් සදහා ප්‍රෝටීන, යකඩ වගේම සින්ක් පොස්පරස් වගේ ලවණමය දේවලුත් අවශ්‍ය වනවා. මේවගේ දේවල් ඖෂධ වලින් ලබාදීමට වඩා සුදුසු වන්නේ ආහාරවලින් ලබාදීම. ඒ නිසා විටමින් ලවණ අඩංගු වන නැවුම් එළවලු පළතුරු පලාවර්ග ආහාරයට එක්කර ගැනීම වගේම ශරීරයට අහිතකර හෝ අහිතකර මට්ටම් වලින් ලවණ අඩංගු කර ඇති ක්ෂණික ආහාර වලින් ඈත්වීම ඉතාම වැදගත්.

  • තයිරොක්සීන් කියන හෝමෝනයේ බලපෑම 

ඒ වගේම තයිරොක්සීන් කියන හෝමෝනයේ බලපෑමක් එල්ල වෙන්න පුලුවන්. ජීව ක්‍රියාවලි බොහොමයකට බලපෑම් එල්ල කරන හෝර්මෝනයක් තයිරොක්සීන්. මේ හෝමෝනයේ ඌණතාවය නිසා සෑම ඉන්ද්‍රියකම ක්‍රියාකාරිත්වය අඩපණ වෙන්න පුලුවන්. අපි බොහෝ සෙයින් මේ හෝමෝනය සම්බන්ධව හිතන්නෙ වර්ධනය අඩුවීම, මළබද්ධය, ක්‍රියාශීලීත්වයේ ගැටලු ගැන විතරයි. එහෙත් දරුවන්ගේ කොණ්ඩය වැඩීම සම්බන්ධව මෙය බලපෑමක් වෙන්න පුලුවන්.

  • ප්‍රතිශක්තියේ ඌණතා 

කෙනෙකුට ප්‍රතිශක්තියේ ඌණතාවක් ඇතිවුවහොත් කොණ්ඩය නැති විය හැකියි. නමුත් ප්‍රතිශක්තිය නැවත ඇතිකර ගැනීමෙන් (ඖෂධ හෝ පෝෂණය මගින්) එම තත්ත්වය මගහැර ගත හැකියි.

  • ආතතිය

දරුවන්ට ඇතිවන ආතති තත්ත්වයන් නිසාත් හිසකෙස් වලට බලපෑම් එල්ලවිය හැකියි. එසේ වන්නෙ අවුරුදු 3 – 5 අතර දරුවටන්ටයි. දෙමාපිය අඩදබර හෝ අසමගි කම, ලගම නෑයෙකුගෙ වියෝවක් වැනි හේතුවක් නිසා එසේ වෙන්න පුලුවන්. 

  • ඇතැම් රෝග තත්ත්ව

පිළිකා වැනි රෝග තත්ත්වයන් වලදී ඒවාට කරනු ලබන ප්‍රතිකාර විධිවල අතුරු ආබාධයක් ලෙසයි.

  • දිලීර රෝග 

දීර්ඝකාලීනව හිසේ පවතින දිලීර ආසාදන වලදීද හිසකෙස් ගැලවී යා හැකියි. මේ දිලීර නැතහොත් පුස් වර්ග සම මත ක්‍රියාත්මක වීම නිසා සමේ පෝෂණය බිද වැටෙන අතර ඒ ඒ තැන්වල කොණ්ඩය ගැලවී යයි. මේ සඳහා සමේ රෝග වෛද්‍යවරයකු මගින් නිට්ටාවටම සුවවන තුරු ප්‍රතිකාර ලබාගත යුතු අතරම නිවැරදි ලෙස එම ප්‍රතිකාර කිරීම වැදගත්. මෙවැනි පුස් වර්ග නිසා හිසේ තැනින් තැන කෙස් ගුලි වී පසුව හිසකෙස් ගැලවී යා හැකි අතරම එම ස්තාන වල සම තද ගතියක් ගන්නා අතර කෙස් නැති වී යාමද සිදුවිය හැකියි. එසේම සමේ පවතින රෝගී තත්ත්වයන් දීර්ඝ කාලින ලෙස තිබීමටද ඉඩ නොදිය යුතුයි.

එසේම මෙවැනි දිලීර හෙවත් පුස්වර්ග නිවසේ කෙනෙකුට ඇත්නම් පනාව, හිස පිහදමන තුවා ආදිය මගින් අන් අයටද එය බෝවිය හැකියි. එසේ හෙයින් මෙවැනි රෝග තත්ත්වයන් වලට ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වනවා.

මේවා අවලක්ශණ ලෙස පෙනීම පෞරුෂයටද බලපෑමක් එල්ල කල හැකි මෙන්ම දරුවෙකුගෙ අභිමානයටද එය පහරක් විය හැකි හෙයින් මෙවන් තත්ත්වයන් හදුනාගෙන ප්‍රතිකාර ලබාදීම වඩාත් වැදගත් වනවා.

ඉහත අවස්‍ථා සියල්ලම පාරිසරික බලපෑම් හෙයින් ඒවා වෙනස් කිරීමෙ හැකියාවක් තිබෙනවා. එසේ හෙයින් අවශ්‍ය පරිදි මැදිහත්වීම් සිදුකර නිවැරදි කිරීම් සිදුකර රෝගී තත්ත්වයන්,හෝමෝන බැලපෑම් අවම කරගැනීමට ඉඩ සැලසෙන නිසා කාලයත් සමග හිසෙහි කොණ්ඩය වැවීම සිදුවනවා.

දරුවෙකුගේ හිසකේ සැති වීමට බලපෑ හැකි ජානමය සාධක

ආරයෙ ගති ලක්ෂණයක් එනම් පරම්පරාගත ගති ලක්ෂණයක් නිසා කොණ්ඩය වැවීමට බාධාවක් ඇති වුවහොත් එය නිරාකරණය කරගැනීම තරමක් අපහසු විය හැකියි. එහෙත් එය පරම්පරා ලක්ෂණයක් ලෙස හදුනා ගැනීම අපහසු වන්නෙ…අපි දන්නෙ අතීත පරම්පරා දෙකකට හෝ තුනකට වඩා එපිට යන්නක් බැවිනි. එසේ පරම්පරාගත නිලීනව පැවතී යම් අවස්ථාවක ප්‍රමුඛ වීම සිදුවූ විට මෙසේ සිදුවිය හැකියි. එසේ හෙයින් පරම්පරාගත ලන්ෂණ ඉස්මතුවීමක් සිදුවිය හැකි බව අපිට තේරුම් ගැනීමට සිදුවේ.

කෙසේ වුවද ශරීරයේ සෑම අවයවයකටම නැතහොත් ඉන්ද්‍රියකටම එහි ක්‍රියාකාරිත්වය සඳහා බලපාන මූලික පසුබිම සැකසෙන්නෙ ක්‍රියාකාරිත්වය හා බැදි මූලික පෝෂක කොටස් නියමිත පරිදි නොලැබීම හේතුවෙන් බැවින්…සෑම විටම අත්‍යවශ්‍ය වූ පෝශක කොටස් ජීවිතයේ සියලු කාලයන් හීදී සියලු වයස් සීමාවන් හීදි ගැලපෙන හා අවශ්‍ය ප්‍රමාණ වලින් ලැබීම සියලු ඉන්ද්‍රියන්ගෙ නිවැරදි ක්‍රියාකාරිත්වය හේතුවක් වන බව අප පැහැදිලි කරගත යුතු සේම  ඒහා සම්බන්ධව නිවැරදි දැනුමින් සන්නද්ධ වීමද අප විසින් කරගත යුතුයි.

එසේ අත්‍යවශ්‍ය පෝෂක ලැබෙද්දී ද යම් යම් අඩුපාඩු දක්නට වේනම්.. ඊලගට සොයා බැලිය යුතු කාරණට වනුයෙ ලැබෙන පෝශක කොටස් උරාගැනීමෙ යාන්ත්‍රණයේ ගැටලු පවතීද  යන්න බවයි. එවන් වූ අවස්ථාවන් පවා ඇතිවිය හැකි හෙයින් ඒවා පිලිබදව සොයාබැලීමත් වෛද්‍ය උපදෙස් ලබා කරුණු පැහැදිලි කර ගැනීමත් අවශ්‍ය වූ ප්‍රතිකාර උපදෙස් ලබා කරුණු පැහැදිලි කර ගැනීමත් අවශ්‍ය වූ සත්කාරක සේවාවන් වෙත යොමුවීමෙ වැදගත්කමත් තේරුම් ගත යුතුයි.

අවසාන වශයෙන්….දරුවන්ට කොණ්ඩය අහිමි වන්නෙ ආරයේ ලක්ශණ නිසා මෙන්ම ගැබිනි සමයේ මවගේ පෝශණ ඌණතා නිසා යන කරුණු දෙක වගේම දීර්ඝ කාලිනව ඇතිවන දිලීර ආසාදනද හේතුවන බව හදුනාගත හැකියි. එසේම මවට පෝශණ ඌනතා මෙන්ම ලැබෙන පෝශණය උරා ගැනීමෙ අපහසුතාද මීට හේතුවිය හැකි බවද පැහැදිලියි. එසේම ප්‍රතිශක්තියේ ඇතිවන දුර්වලතාවලට අමතරව හෝමොන වල ඇති ගැටලු විශේෂයෙන් තයිරොක්සීන් හෝමෝනයේ බලපෑමද මීට හේතුවක් විය හැකිබව පැහැදිලි වේ.

මෙසේ හදුනාගත හැකි අවස්ථාවන් සදහා හැකි පරිදි මැදිහත් වීම් සිදුකිරීමටද වෛද්‍ය උපදෙස් අනුව තත්ත්වය පැහැදිලි කරවාගෙන වෛද්‍ය පරීක්ෂණ ප්‍රතිකාර විධි මගින් පිළියම් සෙවීමට හැකිදැයි උනන්දු වීම තුලින් මෙවන් ගැටලුකාරී තත්ත්වයන්ට ඔබට සහනයක් ගෙනේවි.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව

පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය

බුලත්සිංහල

 

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article