“බාලගිරි අද නොවේ හෙට ” බිලිදු දරුවන් සිටින නිවෙස්වල කාමරයේ දොර උලුවස්සේ මේ පාඨය එල්ලා තිබෙනු ඔබත් දැක ඇති. බාල කාලයේදී මේ ගැන ඇසූ විට අපේ ආච්චි අම්මා කියා දුන් හේතුඵල සම්බන්ධතාවය සමහර විට වෛද්‍ය විද්‍යාත්මකව නොගැලපුනත් තවමත් මේ කියමන එල්ලා තබන්න නම් අම්මලාට අමතක නැහැ.
එදා ඇය කියා දුන්නේ ගිරි යක්ෂණියගේ කාණ්ඩ කීපයක් සිටිනවා. ඒ ගිරි, හේමගිරි, නීලගිරි, අවරගිරි, උදාගිරි, රෑසිගිරි යනුවෙනුයි. මේ යක්ෂ කාන්ඩයන්ගේ බැල්ම දරුවන්ට ලැබෙන විට එය “බාලගිරි” දෝෂය යනුවෙන් හැදින්වෙනවා. අවට පරිසරයේ සැරි සරන මේ අමනුෂ්‍ය කාන්ඩයන්ට බිලිදු දරුවන්ගේ සෙම, සොටු, මල, මුත්‍රා ආදියේ ගන්ධය දැනෙන විට ඒ වෙනුවෙන් ඉව කරමින් බැල්ම හෙලීම බාලගිරි විදිහටයි එදා ඇය හදුන්වා දුන්නේ.මේ බැල්ම ලද විට ළදරුවා දිවා රාත්‍රිය නොබලා යටිගිරියෙන් කෑ ගසමින් හඩන අතර වෛද්‍යවරුන් වෙත රැගෙන ගියත් කිසිම රෝග තත්වයක් හදුනා ගැනීමට ලැබෙන්නේ නැහැ.හේමගිරි යක්ෂණියගේ බලපෑම ලද විට දරුවා හඬන්නේ උදය, මධ්‍යම හා සන්ධ්‍යා කාලයටයි.දරුවාගේ මුහුණත් මේ හැඬිමේදි විරූප තත්වයක් ගැකනනවා. ඇස් උඩ දල්වා ගෙන නොනවත්තාම දරුවා හඬන තත්වය නවත්වන්න ලෙහෙසි පහසු නැහැ. මාස දෙකක් පමණ වෙන තෙක්ම හේමගිරි යක්ෂණියගේ බලපෑම තිබෙනවා.
වචනයේ හැටියටම නීලගිරි යක්ෂණිය නිල්පාටයි. ඇය විරූපි ලක්ෂණ ඇත්තියක්. මේ යක්ෂණියගේ බැල්ම ලද දරුවාට නිතර නිතර උණ ගැනෙනවා. රතුපැහැදති පුංචි බිබිලි සිරුරේ දක්නට ලැබෙනවා. කිරි වමනය, කිරි පණු රෝග,වාතය පිටවීම, දහඩිය දැමීම වැනි රෝග ලක්ෂණ ගැනෙන්නේ නිලගිරි යක්ෂනියගේ ගිණුමටයි. ඒ වගේම ඇය කිරි දෙන අම්මාගේ කිරි ගල්ගැසීම සහ කිරි තිබුනත් දරුවා කිරි නොබොන චෝදනාවන්ගේ වැරදිකාරිය විදිහට සැලකෙනවා. මේ තත්වය දරුවාට මාස හතරක් වැනි කාලයක පවතිනවා.
උදාගිරි යක්ෂනියගේ බලපෑම නිසා ඇති වෙන රෝගාබාධ විදිහට එදා සැලකුනේ දරුවාට අධික ලෙස දහඩිය දැමීම, නිතර මල බුරුල් විම, දෙපයේ බිබිලි ඇති වීම වැනි රෝග ඇති වෙනවා.
රෑසිගිරි යක්ෂණියගේ බැල්ම ලද දරුවා පියා නුරුස්සන අතර මව සමග ඉතා සතුටින් කාලය ගෙවනවා.අඩ නින්දෙන් අවදි වෙනවා. උඩබලාගෙන අඩන්න පටන් ගන්නවා.මේ අදහස් වෛද්‍ය විද්‍යාව ඉදිරියේ නම් නිෂ්ප්‍රභ වෙනවා. ඔවුන් පෙන්වා දෙන අන්දමට දරුවන්ගේ ඇඬීමට හේතු තිබෙනවා. ඔවුන්ට කුසගිනි දැනුනාම එය ප්‍රකාශ කරන්න බැහැ. බඩපිරී නිසා ඇති වෙන අපහසුතාවය තවත් හේතුවක්. ඒ වගේම ව්‍යායාම නැති නිසා බඩ පිපෙන තත්වය දරුවාට දරන්න අපහසුයි. කිරි දීමෙන් පසුව ගුඩුස් හැරීමට දැන් මව දැණුවත් කරන්නෙත් ඒ නිසයි.
අද වගේ දරුවාගේ රෙදි මැදීමක් එදා සිද්ධ වුනේ නැහැ. මේවායේ තිබෙන රැලි සහිත තත්වය දරුවාගේ සමට අපහසුයි. ඒ රැලි ගැටෙන විටත් හමට ඇති වුන වේදනාවත් හඩන්නට හේතුවක් වෙන්නැති. එලිය පහලියේ මල් වැටවල් මත දරුවාගේ රෙදි වනන විටත් විවිධ කෘමි සතුන් මේ රෙදිවලට ඇතුලු විය හැකියි. අපට නොපෙනෙන කෘමින් දරුවාට දෂ්ට කරන්නත් ඉඩ තිබෙනවා. ඒ වෙනුවෙනුත් අතීතයේ විකල්ප තිබුනා. කිසිම දවසක දරුවාගේ රෙදි සන්ධ්‍යා වෙන්න පෙරාතුව ගෙට ගත්තේ රෙදි වලට අමනුෂ්‍ය දෝෂ ඇති වෙයි කියන චකිතය නිසයි. අමනුෂ්‍ය දෝෂ වලටත් වඩා ඉර අවරට යන්න කලින් නොගතහොත් රෙදිවලින් විවිධ කෘමි සතුන් ගෙට එන්නත් පුලුවනි. ඒ සියල්ල ඔවුන් සලකා ගෙන ගොම්මන් කාලයට පෙර රෙදි ගෙට ගත්තා.
දරුවාගේ කිරි සුවඳට විවිධ සර්පයන් ගෙට ඇදෙන්නත් ඉඩ තිබෙන බව දැන ගත් මව්පියන් නිතරම දරුවා පිරිසිදුව තබා ගත්තා. එයින් දරුවාගේ සිරුරට මහත් සැප පහසුවක් දැනුනා.
“බාලගිරි අද නොවෙයි හෙට …” කිව්වාම මේ යක්ෂයා හෙට පැමිණෙන අදහසින් පිටව යන අතර නැවත එම දිනය උදා නොවන බවට අතීතයේ පැවැති විශ්වාසය වුණා.වචනයෙන් තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරි දරුවාට ඇති වෙන සියලු ශාරිරික හා මානසික අසීරුතාවයන් බාලගිරි යක්ෂනියගේ ගිණුමට තවමත් නම් බැර වෙනවා.