මිනිසුන්ගේ හිත් තේරුම් ගැනීම අපි හිතන තරම් පහසු දෙයක් නොවෙයි. අපිට මතුපිටින් පෙනෙන මිනිසාට වඩා ඇතුලත සිටින පුද්ගලයා බොහොම වෙනස් වෙන්න පුලුවන්. පවුල් සංස්ථාවන්හි වුනත් මේ විදිහට මත ගැටුම් ඇති වෙන්නේ හිතේ තිබෙන ඊර්ශ්‍යාව, කුහකබව වැනි සිතුවිලි නිසයි. අතීතයේ පටන් පෙරදිග සමාජය නැන්දා ලේලි, නෑනාවරුන් අතර ඇති වෙන ගැටුම් ගැන කතිකාවත් ගොඩ නැගුවේ අපිට නොපෙනෙන මේ සිතුවිලි ඔවුන්ගේ විමසුම් ඇසට ලක් වුන නිසයි.
ඒ වගේම අම්මා නොමැති කල අප්පා කවරටද….?
“අම්මා නොමැති කල අප්පා කවරටද….?” කියන අදහසත් සමාජගත වුනේ දරුවෙකුගේ රැකවරනයට අම්මා තරම් සමීප වෙන කිසිම කෙනෙක් මේ මිහිපිට නොමැති නිසයි. ඒ වුනත් සමහර විට මේ සිදුවීම සාධාරණ කරමින් පියවරුන්ටත් දීමට උත්තර තිබෙනවා. දරුවන් බාලකාලයේදීම අම්මා මියගියොත් දරුවන් හදා වඩා ගැනීමට වගේම දරුවන්ට දෙවැනි අම්මා විදිහට වෙනත් කාන්තාවක් සමහර විට අම්මාගේ නැගනිය වෙන්නත් පුලුවනි. මේ විදිහට දෙවැනි විවාහයකින් පසුව අලුත් අම්මා දරුවන් ලබන තෙක් කිසිම ගැටුමක් නැතුව පවුගේ ගණු දෙනු සිද්ධ වුනත් ඇය දරුවන් ලද පසුව විවිධාකාර විදිහට ගැටුම් ඇති වෙන්න පුලුවන්.
මේ මගේ දරුවා…
පළමු විවාහයේ දරුවන් තාත්තාගේ ලෙයින් මසින් බිහිවුන බව ඇත්ත. දෙවැනි කසාදයේ දරුවනුත් මේ පියාගේ ලෙයින් බිහිවෙන බවත් ඇත්ත. ඒත් දෙවැනි විවාහයේ බිරිඳ බොහෝ විට එය සාධාරණ නොකරන තැනට පත් වෙනවා. ඇය නිතරම මුල් තැන දෙන්නේ තමන්ගේ කුසෙන් හදා වඩා ගත්තු දරුවන්ටයි.
වෙනස්කම් ඉතාම දරුණු වෙන්නත් පුලුවන්…
එක්තරා ජනකවියක සඳහන් විදිහට,
මොනර මාලු උඩහල්ලේ තියෙම්මා
අපට මාලු අලකොලමද කුඩම්මා…
මේ විදිහට ආහාරපානයන්ගෙන් පටන් ගෙන දේපල බෙදෙන තැන දක්වාම මේ ගැටුම ඉතාම උග්‍ර විදිහට තේ කෝප්පයේ කුනාටුවක් වගේ පැවැතෙනවා. ඊටත් වඩා ඔබ්බට ගිය පුවත් ගැනත් අපිට අසල්වැසි රටෙන් අසන්නට ලැබෙනවා.
පළමු විවාහයේ දියණියට ආදරෙයි…
ඉන්දියාවේ බැරමුල්ලා ප්‍රදේශයේ වයස අවුරුදු නවයක දැරියකගේ මළ සිරුරක් පසුගිය දිනක ඉන්දියාවේ කැලෑවක තිබී හමුවුනා. මේ දියණිය මරා දමා තිබුනේ දූෂණය කිරීමෙන් පසුව ඇසිඩ් දමා සිරුරත් පුලුස්සලා. සිද්ධිය ගැන පොලිසිය විසින් පරීක්ෂන පවත්වන විට සැකරුවන් සොයා ගැනීමට පුලුවන් වුනා. මේ දියණියගේ මව මියගියාට පසුව ඇගේ පියා තවත් කසාදයක් කර ගත්තා. ඒ කාන්තාවත් සැමියා මියගිය අයෙක්. ඇයටත් වයස අවුරුදු 14 ක පුතෙක් සිටියා. කොහොම වුනත් පියාගේ වැඩි ලෙන්ගතු කමක් ඔහුගේ දියණියට තිබුනා. සමහර විට පියාගේම දියණිය නිසාම වෙන්නත් ඇති. මේ සිදුවීම දෙවැනි විවාහයේ කාන්තාව ඉවසා සිටියේ නැහැ. ඇය තමාගේ දහහතර හැවිරිදි පුතු ලවා මේ දියනිය දූෂණය කළා.
එතැනින් අවසාන වුනෙත් නැහැ…
තවත් අය ලවා දියණිය සමූහ දූෂණය ට පත් කරන්නත් මේ කාන්තාව උපදෙස් දුන්නා. 19 හැවිදිරි එක් සැකකරුවෙකු දැරියගේ සිරුරු පොරවකින් කොටස්වලට වෙන් කළා. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මිර් ඉමිතියාස් හුසේන් NDTV පුවත් වෙබ් අඩවියට අදහස් ඉදිරිපත් කරමින් කියා සිටියේ පියා ඔහුගේ දියණියට වැඩියෙන් සැලකීම ගැන බිරිඳ සහ පෙර විවාහයේ පුතු වෛරයකින් පසුවුන බවයි.
මේ සිද්ධිය අපිට ඉන්දියාව සහ සමූහ දූෂණය පසෙක තබා කතා කරන්නත් පුලුවනි. අපේ රටේ වුනත් ප්‍රසිද්ධ නොවුනාට මේ වගේ සිදුවීම් සිද්ධ වෙන්න තිබෙන අවස්ථා නැතුවාම නොවෙයි.
අම්මාගේ දෙවැනි කසාදය නිසාත් දරුවන් අනාරක්ෂිතයි.
ඉහත සිදුවීමටම සමානව අම්මාගේ දෙවැනි විවාහයත් දරුවන්ට බරපතල විදිහට බලපාන්න පුලුවන්. මොකද ඒ තාත්තාටත් මේ දරුවෝ තමන්ගේම නොවෙයිනේ.. අනිත් අතට තමන්ගේම පියා ගැනවත් විශ්වාසය තබන්න නොහැකි මේ කාලයේ පිටස්තර පිරිමියෙකු ගැන විශ්වාස කරනවා කියන්නේ කවර කතාද…?. විශේෂයෙන් ගැහැණු දරුවන් උස් මහත් වෙද්දී දෙවැනි කසාදයේ පියාටත් ඒ ගැන අවධානයක් යොමු වෙන්න පුලුවන්. ඒ තත්වයේදී අම්මා හිටියාටත් වඩා අසරණ වෙනවා.
දේපල බෙදන විටත් ගැටුම්..
දරුවන් කාලය සමග උස් මහත් වෙලා ආවාහ විවාහ සිද්ධ වෙන විට දේපල බෙදන විටත් මේ හැගවිලා තිබුන සිතුවිලි ඉස්මතු වෙනවා. අම්මා / තාත්තා දේපල තමන්ගේ දරුවාට දිය යුතුය යන තර්කයේ සිටිනවා. එවිට දෙවැනි විවාහයේ දරුවන් අසරණයි.
අපේ සංස්කෘතියේ හැටියට නම් හැම දරුවෙක්ම තමන්ගේ දරුවන් විදිහට සැලකීම වැනි ගුණාංග ගැන ඉහලින් කතා කළත් අද වෙන විට නම් එහෙම උදවිය අතේ ඇගිලි ගණනට සීමිතයි. ඒ නිසා අම්මා, තාත්තා විවාහයකින් තමන්ගේ ශක්තිය ගොඩ නගා ගනිද්දී දරුවන්ට තිබෙන හව්හරණ නැති වෙන තැනට වග උත්තර කියන්නේ කවුද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ.