“බලන්නකො අම්මා නෙතුකිගෙ අම්මා අදත් මට බැන්නා…”
“බැන්නා… ඔයාට… නෙතුකිගෙ අම්මා”
“ඔව්”
“ඇයි ඒ?”
“එයා කොයි වෙලාවෙත් මට විහිළු කරනවා ඒක නිසා මම එයාට බැන්නා එයා ඒක එයාලගේ අම්මට ගිහින් කියලා”
“මොකද්ද ඔයාට කල විහිළුව ? ”
“මට වඩා එයා ලස්සනලු මම විභාගෙට ලකුණු ගන්නෙ කොපි කරලලු, ඉතින් එයා කියන්නෙ බොරු නිසා මම කිව්වා ඔයා බොරුකාරයෙක් කියලා එයා එක එයාගේ අම්මට ගිහින් කියලා. එයාගේ අම්මා ඇවිත් මට එයාගේ දුවට බොරුකාරයෙක් කියලා කියන්න එපා ආයෙත් ඒ විදිහට කිව්වොත් ටීචර්ට කියනවා කියලත් කිව්වා ඔය වගේ හැමදාම මොකක් හරි දේකට එයාගේ අම්මා ඇවිත් මට මොනා හරි කියලා යනවා මට මේක හරිම කරදරයක්…”
ඔබ මොකද සිතන්නෙ පිටස්තර දරුවෙකුට පිටස්තර කෙනෙක් තරවට්ටු කිරීම අනුමත කල හැකිද? දරුවන් සිටින අම්මලා බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් තමයි මේ. තමන්ගෙ දරුවට තවත් දරුවෙක් පහර දීම බැන වැදීම වගේම අරියාදු කිරීම. කවුද කැමති තමන්ගෙ දරුවට ඒ වගේ දෙයක් සිද්ධ වෙනවට. ඇත්තමයි කේන්තියක් හිතට එනවා නේද? ඒත් ඒ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ කෙසේද ? නෙතුකිගේ අම්මා වගේ හැසිරෙන එක නම් අනුමත කරන්න බැහැ.
ඇයි බැරි?
- ඒ ඔබේම දරුවා නොවුනද ඔබේ දරුවාගේ වසසේම පසුවන පුංචි දරුවෙක්ය
- දරුවන්ගෙ පුංචි පුංචි ගැටුම් පවතින්නේ ටික මොහොතක්ය
- ඔවුන් වහා අමතක වන සුලු ප්රිතිමත් කොටසක්ය
- ඔබේ දියණියගේ සිත මෙන්ම ඇගේ සිතද මෘදු මොලොක්ය
- සියයට සීයයක් ඔබේ දියණිය නිවැරදි නැතිවා වන්නට පුලුවන්ය
එහෙනම් මොනවද කරන්නෙ…?
- දරුවන්ගෙ ගැලවුම් කරුවන් දෙමාපියන නිසා දරුවාගේ මැසිවිල්ල ඉවසීමෙන් අසා සිටින්න
- මුලින්ම පාසලේ ගුරුතුමියව දැනුවත් කරන්නට කියන්න
ඒත් ගැටලුව එසේම නම්…
බොහෝ විට අම්මලා අම්මලා දරුවන්ගෙ ගැටුම් වලට මැදිහත්වීම නියපොත්තෙන් කපන්නට තිබූ දෙයක් පොරවෙන් කපන්නා වගේ දෙයක් බවට පත් වෙන්න පුලුවන්. අපි අපේ දරුවන් හුරු කල යුත්තේ හැකිතාක් තමන්ට මුහුණ පෑමට සිදුවන ගැටලු තනිවම විසඳා ගැනීමටය. ඔවුන් අද ලබන අත්දැකීම් තුලින් නිර්මාණය කරගන්නේ ඔවුනගේ හෙට දවසය. පිහිනන්නට ඉගෙන ගත හැක්කේ දියට බැස පිහිනීමෙන්ය. බොහෝ විට දරුවන් තව දරුවකුට විහිළු කර සතුටක් ලබන්නට උත්සහා දරනවා. හැබැයි අපේ දරුවා විහිළුවට ලක් නොවී ඉන්න සමත් වුණොත් තව දුරටත් අර දරුවා විහිළුවට ලක් කරන්නට උත්සහ නොකරාවී.
උදාහරණයක් ලෙස මෙහෙම දන්වන්නම්කෝ මන්දිලට අලබෝලයා කියන විට ඔහුට කේන්ති යයි. ඉතින් ඔහු විහිළු කරන අයගෙ ඵසු පසු හඹා යයි. මෙය විහිළුවට ලක් වෙන දරුවාට හිරිහැරයක් වුවත් විහිලු විහිළු කරන දරුවන්ට තමන් පසු පස අර දරුවා හඹා ඒම සතුටක්. ඉතින් ඒ සතුට වෙනුවෙන් තමන්ගෙ යහළුවව විහිළුවට ලක් කරනවා. හැබැයි එය ගණනකට නොගෙන සිටියහොත් තමන්ගෙ අරමුණ ඉටු නොවන නිසා දිගින් දිගටම විහිළු කිරීම නතර කරාවී. එනිසා දරුවාව සිතීම අතින් සන්නද්ධ කරන්න. සෑම කෙනෙකු සමගම සුහදව සිටීම ගැටුම් අඩුවන්නට හේතුවක් වෙයි.
හිරිහැරයක් වන දරුවවා හමු වන්න. ආදරයෙන් ඒ දරුවා දෙස බලන්න. ඔබේ දරුවාට හිරිහැර කරන්නට හේතුව ආදරයෙන් විමසන්න. ඔහුටත් තිබේවි තමන්ගෙ නිදහසට කාරණා. ඔබ ඒවාටත් සවන් දෙන්න. ආදරයෙන් සිත නොරිදෙන පරිදි ඒ දරුවාට පහදා දෙන්න. එයිනුත් ප්රතිඵලයක් නොවන්නෙ නම් දොමාපියන් සමඟ සුහදව සාකච්ජා කර විසඳුමක් ලබා ගන්න.
මේ ලිපිය ලියාගෙන යද්දි මට සෝමරත්න දිසානායක මහතා රචනය කල එඩ්වඩ් මහතා සහ චරිතා මහත්මිය ගායනය කර ඇති මේ ගීතය මතකයට ආවා. ඔබත් රස විදින්නකො මේ යථාර්ථය…
මල් කැකුලූ පොකුරු වාගේ
අපි පුංචි පැටවු යාලූයි
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයිඅපි ඇති දැඩි වුණ පස්සේ ලොකු අය වාගේ
අපිටත් සැර වැර කම් පුරුදු වෙන්න වෙයිදෝ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයිනැන්දෙ මාමේ අම්මෙ තාත්තේ කියා දෙන්නකෝ
එහෙනම් නපුරුකමද වැඩිහිටිකම කියන්නේ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයිතරහා වෙලා ඉන්න දන්නෙ නැහැ එහෙම ඉන්න බැහැ
මොහොතක් තරහා වුනත් අපි ආයේත් යාලූවෝ
අපි යාලූයි අපි යාලූයි හැමදාමත් අපි යාලූයි