- Advertisement -

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් සැලසෙන සේවාවන් ගැන ඔබ දැනුවත්ද?

-

නිදහස් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිතව ඇති අප රටේ මෙම සෞඛ්‍ය සේවාව රෝගී සත්කාරක සේවාව හා රෝග නිවාරණ අංශය නමින් කොටස් දෙකකට බෙදේ. මින් රෝහල් පද්ධතිය රෝගී සත්කාරක සේවාව සපයන ආයතනය වන අතර රෝග නිවාරණ සේවාවේ මූලික කොඳු නාරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි.(Medical Officer of Health)

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙකුගේ පරිපාලනය ස්ථාපිතව ඇති මෙහි අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයෙකු, මහජන සෞඛ්‍ය හෙද සොයුරිය, පරිපාලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක හා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ඇතුළත් ක්‍ෂෙත‍්‍ර කාර්ය මණ්ඩලයක් හා කළමනාකරණ සහකාර සංවර්ධන නිලධාරී මඩුල්ලකින් ද සමන්විතය. 

- Advertisement -

ක්‍ෂෙත‍්‍ර කාර්ය මණ්ඩලය ප‍්‍රජාවේ මූලික ඒකකය වන පවුල වෙතටම ගොස් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳව සොයා බලමින් අවශ්‍ය පරිදි මැදිහත් වීම් සිදුකර ඔවුනගේ සෞඛ්‍යය නංවාලීමට කටයුතු කරන අතරම සායනික සංරක්‍ෂණය අවැසි අවස්ථාවන්හිදී ඔවුන් සායනයන්ට යොමු කර වෛද්‍ය පරීක්‍ෂාවන් සිදු කිරීමත් වෛද්‍ය පරීක්‍ෂාවට ලක්කර විශේෂඥ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමත් මේ හරහා ජනතාවගේ නිරෝගී බව සුරැකීමට සිදුකරන එක් ක්‍රියාවකි. 

නිවාරණ සෞඛ්‍ය සේවාවේ මූලිකම ඒකකය යෝග්‍යතා පවුල වේ. ක්‍ෂෙත‍්‍රය තුළ ඇති සියලු පවුල් හඳුනාගැනීමත් එම පවුල් ලියාපදිංචි කිරීමත් ඔවුනට අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් සැපයීමත් මෙහිදී සිදු කෙරේ. මේ අනුව අලුත විවාහ වූ සියලු යුවළවල් ලියාපදිංචි කර ඔවුන් නවදිවි සුව සත්කාර සේවාව වෙත යොමු කිරීම ප‍්‍රාථමික සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගකීමකි. නව යුවලගේ ජීව දත්ත ලබාගැනීමත් ඔවුනගේ රෝගී තත්ත්ව ඇති නම් ඒවා හඳුනාගැනීමත්, ලිංගික හා ප‍්‍රජනක සෞඛ්‍ය පිළිබඳ තොරතුරු සොයා බැලීමත්, ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය තොරතුරු ඔවුනට ජීවිතයට බලපාන අන්දම පිළිබඳව සාකච්ඡා කිරීමත්, පෝෂණය, ජීවන රටාව, නිවස හා රැකියා ස්ථානය සම්බන්ධ සෞඛ්‍ය ගැටළු හඳුනාගැනීමටත් මේ නව දිවි සුව සත්කාරක තුල වේ. මෙම යුවල් වෛද්‍ය පරීක්‍ෂාවකට ලක් කිරීම පවුල් ජීවිතය සඳහා අවශ්‍ය දැනුමින් සන්නද්ධ කරමින් පුහුණු සැසි පැවැත්වීමත් මෙහිදී සිදු කෙරේ. මින් බලාපොරොත්තු වනුයේ ආරක්‍ෂිත මාතෘත්වයකට බලපාන මූලික කරුණු හඳුනා ඒවා නිවැරදි කරමින් ඔවුනට සැලසුම් සහගත දරු උපත් සඳහා මගපෙන්වීමයි. 

කාන්තාවක් ගර්භනී වූ බව දැනගත් වහා ඇයගේ ගර්භනීභාවය ලියාපදිංචි කර ඇය හා ඇගේ දරුවා වෙනුවෙන් සුරක්‍ෂිත මාතෘත්වයක් ඇති කරන්නට සියලු වගකීම් කරට ගෙන මෙම කාර්ය මණ්ඩලය ක‍්‍රියා කරනු ලැබේ. 

මවගේ පෝෂණයෙන් පටන් ගෙන සෞඛ්‍යට අදාල එනම් කායික, මානසික, සමාජීය හා අධ්‍යාත්මික නිරෝගීතාවයට බලපාන සියලු කරුණු සොයා බලමින් අවැසි සියලු මැදිහත් වීම් සිදුකර ආරක්‍ෂිත පුහුණු ප‍්‍රසූතියක් කරා මව රැගෙන යාමේ සියලු වගකීම් පැටවී ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයටයි. ගර්භනී සමය තුළ මව වෛද්‍ය පරීක්‍ෂාවට ලක් කරමින් ක්‍ෂෙත‍්‍රය තුලදීත් මේ පිළිබඳව සොයා බලමින් වාර්තා පවත්වා ගැනීම මේ කාලය තුලදී සිදුවනවා සේම අවධානම් තත්ත්ව වලදී ක්‍ෂණික මැදිහත් වීම් සිදු කර මවව රෝහල් ගත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කෙරේ. 

මාතෘ සංරක්‍ෂණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකම සේවාවයි. ඒ අනුව යමින් ගර්භනී සමයේ පූර්ව ප‍්‍රසව රැකවරණය ලබාදීම මවට දැනෙන හිතෛෂී ලෙසින්ම සිදුවන අතර ප‍්‍රසව සත්කාරය සඳහා රෝහලට යොමු කිරීමත් ප‍්‍රසූතියෙන් පසුව පසු ප‍්‍රසව සංරක්‍ෂණ කටයුතු ලබාදීමත් සිදුකෙරේ. 

මෙලොව එළිය දුටු ජන්මයාගේ ළදරු ළමා සංරක්‍ෂණ කටයුතු සඳහාද මැදිහත් වීම සිදුකෙරෙන අතරම එම දරුවන්ගේ වර්ධන සුපරීක්‍ෂණය, මුල් ළමාවියේ සත්කාරය, ප‍්‍රතිශක්තීකරණය ආදී කටයුතු සඳහා මූලිකත්වය ගනු ලබන්නේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයයි. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය භාරයේ පසුවන මේ දරුවන් පෙර පාසැල් අවධියේදීත් පාසැලට එකතු වන විට පාසැල් සෞඛ්‍ය වැඩසටහන් හරහා එම දරුවන් පිළිබඳව සොයා බැලීම සිදු කෙරේ. 

පෙර පාසැල් මෙන්ම පාසල්ද සෞඛ්‍ය ප‍්‍රවර්ධන පාසැල් බවට පත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකව කටයුතු කරනු ලැබේ. දරුවන් සඳහා ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන් දන්ත සෞඛ්‍ය වැඩසටහන්, වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු, යොවුන් සෞඛ්‍ය වැඩසටහන්, ජීවන නිපුණතා වැඩසටහන් තුලින් දරුවන්ගේ අනාගත දිවිමග ශක්තිමත් කිරීමට අවැසි ලෙස මැදිහත් වෙමින් පාසැල් පද්ධතියේ සෞඛ්‍ය නංවාලීමේ කර්තව්‍යය සඳහා මූලිකත්වය ගනු ලබන්නේද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයයි. 

පාසැල් තුලින් සමාජයට පිවිසි ප‍්‍රජාවේ පවුල් ජීවිතය තුලත් රැකියා ස්ථාන තුලත් සෞඛ්‍ය පිළිබඳ සොයා බලමින් මිනිස් දිවියට බලපාන ආහාර සෞඛ්‍ය පාරිසරික සෞඛ්‍ය වෘත්තිය සෞඛ්‍ය පිළිබඳවද බෝවන රෝග පාලන කටයුතු සඳහා සිදු කරනු ලබන සක‍්‍රීය මැදිහත් වීමද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සිදු කරනු ලබයි. 

 

වසංගත පාලනයේදී ප‍්‍රමුඛ මැදිහත්වීම රෝග නිවාරණය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සතු තවත් ප‍්‍රබල කාර්යභාරයකි. පැපොල, සරම්ප, සෙංගමාලය, මොළේ උණ ආදී රෝග මෙන්ම ඩෙංගු, මී උණ, ජලභීතිකාව ආදී කොට ඇති බෝවන රෝග පාලනය සඳහා විවිධ වූ ක‍්‍රියාමාර්ග ගනිමින් ප‍්‍රජාව හා ඒකව කටයුතු කරනු ලබයි. 

රාජ්‍ය සේවයට පිවිසෙන අය සඳහා වෛද්‍ය පරීක්‍ෂණයේදී මයික්‍රොයිඞ් එන්නත ලබාදීමත් බෝවන රෝග සඳහා අවශ්‍ය වෛද්‍ය සහතික නිකුත් කිරීමත් සිදු කෙරෙනුයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගිනි. ව්‍යාපාර ලියාපදිංචියේදී ඒ පිළිබඳව සොයාබලා යෝග්‍යතාවය නිර්ණය කිරීමත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් කරනු ලබයි. 

පාරිසරික කටයුතු, වෘත්තීය, සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය කටයුතුවලදී මෙන්ම ඩෙංගු ආදී බෝවන රෝග පාලනයේදී පරීක්‍ෂාවන්ට ලක් කිරීමෙන් අවශ්‍ය පරිදි මැදිහත් වීම් සිදු කර ඒවා නිවැරදි කිරීමට මගපෙන්වීමත්, නිවැරදි වීම් සිදු නොවුන විට නීති ක‍්‍රියාමාර්ග වෙතට යොමු කර දඩ ගැසීම් හෝ අධිකරණ ක‍්‍රියාවලි දක්වා යොමු කිරීමේ බලතලද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හිමිව ඇත්තේ මිනිස් ජීවිතය සඳහා බලාපන මිනිස් ක‍්‍රියාකාරකම් නිවැරදි කිරීමේ මෙන්ම මානුෂීය අයිතීන් සුරක්‍ෂිත කිරීමේ වගකීමද පැවරී ඇති හෙයිනි. 

මෙසේ මව්කුස පිළිසිඳ දරුවාගෙන් පටන් ලෙන ජීවිතයේ පසු කරන සියළු අවධි වලදී සෞඛ්‍ය නංවාලීමේ අරමුණින් ඔවුන්ගේ ජීවිත සැලවත් කිරීම සඳහා දේශයට හිතවත්ව, ජාතියට ලෙන්ගතුව, ආගමට ගරු සරුව අභියෝග අබියසදී අභිමානයෙන් නැගෙන නිරෝගී ශක්තිමත් ගුණගරුක පරපුරක් ලක්මවට උරුම කරවීමේ අරමුණින් ක‍්‍රියාකරන්නා වූ ස්ථානයයි. 

 

 

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

අයිරාංගනී ගගලගමුව මහත්මිය

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී

බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය 

 

 

 


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article