ගොඩක් වෙලාවට අම්මලාගෙන් දරුවන් ගැන ඇසෙන පැමිණිලි මෙන්න මේ වගෙයි. දරුවන් දඟ කිරීමට හා මුරණ්ඩු වීමට බලපාන්නේ දරුවාගේ දුර්වලතාම පමණක් නොවෙයි. ඒ සඳහා දරුවාගේ පවුල් පරිසරයේ හෝ දෙමාපියන්ගේ ඇති දුර්වලතාද හේතු වෙනවා. විශේෂයෙන්ම, දරුවාගේ දඟ/මුරණ්ඩු හැසිරීම් පවතින්නේ ගෙදරදීම විතරක් නම් ඒ කියන්නේ ගෙදරින් පිටත පාසැලේදී/වෙනත් ස්ථාන්වල දඟ/මුරණ්ඩු හැසිරීම් නොපෙන්වනවා නම් දරුවෙකුගේ මේ හැසිරීම්වලට මූලිකවම දරුවාගේ නිවසේ පරිසරය හේතු වෙනබව අනුමාන කළ හැකියි.
ඉතිං අපි, අපේ දරුවන්ගේ දඟකම් පාලනය කරන්නේ කොහොමද?
දරුවාගේ දඟකම්/මුරණ්ඩුකම් අවම කරගැනීමට දරුවාගේ දෙමාපියන්ගේ හැසිරීම් වගේම ගෙදර පරිසරයත් වෙනස් කරගැනීම බොහොම වැදගත්. ඒ සඳහා වැදගත් කරුණු කිහිපයක් ගැන අපි දැනුවත් වෙමු.
- වැඩිහිටි ඔබ සැමවිටම ආදර්ශමත් වෙන්න
දරුවන් පහර දීම, බඩු විසි කිරීම, නරක වචන කීම වැනි දෑ ඉගෙන ගන්නේ කෙසේද? බොහෝ විට ඔවුන්ගේ පවුලේ වෙනත් වැඩිහිටියෙක් කේන්ති ගිය අවස්ථා වලදී මෙසේ බඩු විසිකරනවා, පහර දෙනවා හෝ නරක වචන භාවිත කරනවා ඔවුන් දැක ඇත. නිවසේ වැඩිහිටියන් තරහ ගිය විට මෙසේ හැසිරෙනවා දකින දරුවෙක් සිතන්නේ තරහ ගියවිට මෙසේ හැසිරීම සාමන්‍යය බවයි. ඒනිසා දරුවාට කේන්ති ගිය විටද මෙසේ හැසිරේ. එම නිසා තමා දරුවා තුලින් යම් හැසිරීමක් දැකීමට අකමැතිනම්, පළමුව ගෙදර වැඩිහිටියන් එවන් හැසිරීම්වල නිරත වීමෙන් වළකින්න. දරුවන් සැමවිටම වැඩිහිටියන් කියනා දෙයට වඩා ඔවුන්ගේ ක්‍රියාවන් අනුකරණය කරන බව මතක තබා ගන්න.
- දඟ වැඩවලට අවධානය දීමෙන් වළකින්න
දරුවන්ගේ දඟ වැඩ වලට අවධානය දීම ඔවුන්ගේ එම හැසිරීම් තව දුරටත් වැඩි වීමට හේතුවේ. සාමාන්‍යයෙන් දරුවෙක් සන්සුන්ව කටයුත්තක යෙදෙන විට දෙමාපියන්/වැඩිහිටියන් එයට අවධානය නොදෙයි. නමුත් දරුවා යම් කිසි දඟ වැඩක් කරයි නම් (උස් ස්ථානයක නගියි නම්, සහෝදරයින් සමඟ රණ්ඩු කරයි නම්) නිවසේ සියලුම වැඩිහිටියන් එතැනට ඇවිත් එයට අවධානය දෙයි. මෙසේ දඟ වැඩ වලට අවධානය දීමෙන් දරුවා ඉගෙන ගන්නේ තමාට වැඩිහිටියෙකුගේ අවධානය ලබාගැනීමට අවශ්‍ය නම් දඟ වැඩක් කළ යුතු බවයි. එවිට දරුවාට අවධානය අවශ්‍ය වූ විට ඔහු/ඇය දඟ කිරීමට පෙළඹෙයි. එමනිසා දරුවන් හොඳින් හැසිරෙන විට ඔවුන්ට හැකි තරම් අවධානය දෙන්න. ඔවුන්ගේ දඟ වැඩ වලට අවධානය දීමෙන් වළකින්න.
- දඟකිරීමෙන්/මුරණ්ඩු වීමෙන් වාසි නොලැබීමට වගබලා ගන්න
බොහෝ දරුවන් තමන්ට අවශ්‍ය දෙයක් නොලැබුනු විට කෑ ගසයි, බිම පෙරලෙයි, හඬයි, පහර දෙයි. දරුවන් මෙසේ මුරණ්ඩු ලෙස හැසිරුනු විට සමහර දෙමාපියන් දරුවාගේ කරදරයෙන් බේරීමට දරුවාට අවශ්‍යය දේ ලබාදෙයි. මින් දරුවා ඉගෙන ගන්නේ තමාට යමක් අවශ්‍ය වූ විට බිම පෙරලී, හඬා, පහරදීම මගින් තමන්ට අවශ්‍යය දේ ලබාගත හැකි බවයි. එමනිසා තමාට නැවත වතාවක් යමක් අවශ්‍ය වූ විට දරුවා මෙසේ මුරණ්ඩු ලෙස හැසිරෙනු ඇත. එමනිසා දරුවාගේ යම් ඉල්ලීමක් නොදීමට තීරණය කළහොත්, දරුවා කොතරම් කරදර කළත්, ඇඬුවත්, රණ්ඩු කළත් එය ලබා නොදිය යුතුය. කලක් තිස්සේ හැඬීමෙන් හා රණ්ඩු කිරීමෙන් තම ඉල්ලීම් දිනා ගත් දරුවෙකුට, මෙසේ තම ඉල්ලීම් ලබා නොදුන් විට මුලදී ඔවුන් තම ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩි වැඩියෙන් රණ්ඩු කරනු ඇත. නමුත් ටික කලකින් මෙසේ රණ්ඩු කිරීමෙන් තම ඉල්ලීම් දිනා ගත නොහැකි බව වැටහුනු පසු දරුවා මෙසේ රණ්ඩුකර ඉල්ලීම් දිනාගැනීමට තැත්කිරීම අඩුවනු ඇත.
- නිවසේ නීති රීති පැහැදිලි කරන්න
ඇතම් අවස්ථාවලදී ගෙදර සිටිනා වැඩිහිටියන් දරුවාගේ හැසිරීම පිළිබඳ වෙනස් මත දරයි. උදාහරණයක් ලෙස ඇතම් විට අම්මා දරුවා ඉල්ලන ඉල්ලන දේ නොදුන්නත්, තාත්තා දරුවා ඉල්ලන ඉල්ලන දේ ගෙනැවිත් දෙයි. නැතහොත් දෙමාපියන් දරුවා තම මල්ලිට පහර දෙන විට දරුවාට දඬුවම් කලත්, දරුවාගේ ආච්චී/සීයා එවිට දරුවා ඉදිරිපිටම දරුවාට දඬුවම් කිරීම පිළිබඳ දෙමාපියන්ට දොස් කියයි. මෙසේ ගෙදර සිටිනා වැඩිහිටියන් සමහරක් දරුවාගේ ක්‍රියාව වැරදියයි කියන අතර, අනෙක් වැඩිහිටියන් එම ක්‍රියාවම නිවැරදියයි කීම මගින් දරුවාට තම හැසිරීම වැරදිද නිවැරදිද යන්න වටහා ගන්නට නොහැකි වේ. එමනිසා ගෙදර සිටිනා සියලුම වැඩිහිටියන් එකතු වී දරුවාට දෙන්නේ/නොදෙන්නේ මොනවාද, දඬුවම් දෙන්නේ මොනවාටද යන්න තීරණය කොට දරුවාට නිවසේදී හැසිරිය යුතු ආකාරය පිළිබඳ නීති රීති පද්ධතියක් සකස් කරගත යුතුවේ. නිවසේ සෑම දෙනෙකුටම (අනෙක් සහෝදර සහෝදරියන්, දෙමාපියන්) සියලු දෙනාටම එකම නීති පද්ධතියක් තිබිය යුතුය.
- නිවසේ නීති පිළි පදින්නේ නැතිනම් අත්වන ප්‍රතිඵල පහදා දෙන්න
නිවසේ නීති කඩ කිරීමට දඬුවමක් ලැබිය යුතුය. මින් අදහස් කරන්නේ කායික දඬුවම් නොවේ. දඬුවමක් වශයෙන් නීති කඩ කළ දිනට දරුවා ඉතාමත්ම කැමති දෙයක් කිරීමට ඉඩ නොදෙන්න.
- නීති කඩ කළොත් රූපවාහිනිය නැරඹීමට ඉඩ නොදීම
- මිදුලේ සෙල්ලම් කිරීමට ඉඩ නොදීම
- අනවශ්‍ය ලෙස දරුවාට උපදෙස් දීමෙන් වළකින්න
සමහර දෙමාපියන් දවස තිස්සේම, දරුවා කරනා කියනා සෑම දෙයක්ම නිවැරදි කිරීමට උපදෙස් දෙයි. මෙසේ සැම විටම අධික ලෙස උපදෙස් දීමෙන් දරුවාට අවවාද වලට සවන්දීම එපාවෙයි. එවිට දරුවා දෙමාපියන් කියනා කිසිම දෙයක් පිළිපැදීමෙන් වැළකී සිටිය හැක. එමනිසා අවශ්‍ය දෙයට පමණක් උපදෙස් දෙන්න. දරුවෙකුගේ වෙනස් කිරීමට අවශ්‍ය හැසිරීම් ගනණාවක් තිබිය හැකිය. නමුත් මෙම හැසිරීම් සියල්ල එකවර වෙනස් කිරීමට උපදෙස් දීම සාර්ථක නැත. එක් වරකට වෙනස් කිරීමට අවශ්‍යය හැසිරීම් එකක් හෝ දෙකක් තෝරාගෙන ඒවා වෙනස් කිරීමට උපදෙස් දෙන්න. එම හැසිරීම් නිවැරදි කරගත් පසු අනෙක් හැසිරීම් නිවැරදි කිරීමට උපදෙස් දෙන්න. අනවශ්‍යය ලෙස උපදෙස් දීමෙන් වළකින්න.
- දරුවා හා දෙමාපියන් අතර හොඳ සම්බන්ධතාවක් පවත්වා ගන්න
දරුවා හා දෙමාපියන් අතර හොඳ සම්බන්ධතාවයක් ඇත්නම්, දරුවා දෙමාපියන් කියනා අවවාද පිළිපැදීමට වැඩි ඉඩක් ඇත. නමුත් දරුවා හා දෙමාපියන් අතර හොඳ සම්බන්ධතාවයක් නොමැති නම්, දරුවා දෙමාපියන් තමාට ආදරය නැතැයි සිතන්නේ නම්, තමාව දෙමාපියන් තේරුම් ගන්නේ නැතයි සිතන්නේ නම්, දරුවා දෙමාපියන් කියනා අවවාද පිළිගැනීමට අකමැතිය. මේ නිසා සෑම විටම දරුවා හා යහපත් සම්බන්ධතාවයක් පවත්වා ගන්න. දරුවාට ආදරය දක්වන්න. දරුවා සමඟ සෑම දිනම විනාඩි 30ක්වත් කාලය ගතකරන්න. මෙම කාලය දරුවාට පාසැල් වැඩ කරවීමටවත්, අවවාද දීමටවත් නොව, දරුවා කැමති ක්‍රියාවක් කිරීමට වෙන්කරගන්න.
- දරුවාට නිවැරදි ලෙස උපදෙස් දෙන්න
දරුවාගේ අවධානය නැති විටදී උපදෙස් දීමෙන් වලකින්න.
- දරුවා නිවසේ එක් ස්ථානයක සිට යම් කාර්යයක නිරත වී සිටින විට (රූපවාහිනිය නරඹද්දී, බයිසිකල් පදිද්දී) වැඩිහිටියෙකු නිවසේ වෙනත් ස්ථානයක සිට දරුවාට උපදෙස් දෙන්නේ නම් දරුවා එම උපදෙස් වලට දරුවා දෙන අවධානය අඩුය. අවධානය අඩු අවස්ථා වලදී දරුවා උපදෙස් පිළිපදිනවා අඩුය.
- සමහර අවස්ථාවලදී දෙමාපියන් ක්‍රියාකාරකම් කිහිපයක් සඳහා එකවර උපදෙස් දෙයි. උදාහරණයක් ලෙස දැක්වුවහොත් දරුවා උදෑසන අවදිවූ පසු දත් මැදලා, මුහුණ සෝදලා, ඇඳුම් ඇඳලා, කුස්සියට ඇවිත් තේක බීලා, උදේ කෑම කන්න වැනි දීර්ඝ උපදෙස් දුන්විට දරුවාට
උපදෙස් සියල්ල එකවර මතක තබාගැනීමට අපහසුය. එමනිසා උපදෙස් කොටස් වලට කඩා, වරකට එක උපදෙසක් පමණක් දෙන්න. ඉහත උදාහරණය ගතහොත්, පළමුව දත් මදින්න කියන්න. දත් මැදීම අවසන් කළ පසු මුහුණ සෝදන්න කියන්න. එය අවසන් කළපසු ඇඳුම් අඳින්න කියන්න. එනම් දීර්ඝ ලෙස උපදෙස් දීමෙන් වලකින්න.
- බොහෝවිට දෙමාපියන් දරුවන්ට නොකළ යුතු දේ කියන කියන නමුත් නිවැරදිව කළ යුතු දේ පැහැදිලි නොකරයි. සෑමවිටම නොකළ යුතු දෙය නොව කළ යුතු දේ කියන්න.
උදා: “කිලිටි ඇඳුම් තැන තැන දාන්න එපා” වෙනුවට “කිලිටි ඇඳුම් රෙදි කූඩයට දාන්න”
“දොර හයියෙන් වසන්න එපා” වෙනුවට “දොර සෙමින් වහන්න”
“දුවන්න එපා” වෙනුවට “හෙමින් ඇවිදින්න”
“කෑම කාලා පිඟාන තියලා යන්න එපා” වෙනුවට “කෑම කලා පිඟාන හෝදන්න”
- දරුවාගේ හොඳ ක්‍රියා අගය කරන්න
දරුවා හොඳින් හැසිරෙන විට ඔහුට/ඇයට ප්‍රශංසා කරන්න. දරුවාගේ හොඳ හැසිරීම් දියුණු කිරීමට තරු සටහනක් භාවිත කරන්න.
- පළමුව වෙනස්කිරීමට අවශ්‍ය එක් හැසිරීමක් තෝරා ගන්න (උදා: ගෙදර වැඩ කිරීම)
- තරුව දෙන්නේ කුමකටද යන්න දරුවාට පහදා දෙන්න (උදා: ගෙදර වැඩ සම්පූර්ණ කළොත් තරුවක් දෙනවා)
- තරු පහක් එකතු වූ පසු කුඩා තිළිණයක්/ තෑග්ගක් දෙන්න. තිළිණය දරුවා කැමති දෙයක් විය යුතුයි. තරු පහක් ලැබුණු පසු දෙන තිළිණය දරුවා සමඟ සාකච්ඡා කොට තීරණය කරන්න. තිළිණය ලැබෙන්නේ කුමකටදැයි දරුවාට පැහැදිලි කරන්න (උදා: තරු පහක් ගත් නිසා තෑග්ග හම්බවෙනවා).
- සෑමවිටම තරු 5ක් ගන්නා තෙක් තිළිණය දීමෙන් වැලකී සිටින්න
- දරුවා දින චර්යාවකට හුරු කරන්න
දරුවා සමඟ එකතු වී නිවසේ වැඩ කටයුතු කිරීමට කාල සටහනක් සාදන්න. දරුවා මෙම කාල සටහනට අනුව වැඩ කිරීමට උනන්දු කරවන්න.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ළමා හා නව යොවුන් මනෝවෛද්‍ය විශේෂඥ යසෝධා රෝහණචන්ද්‍ර මහත්මිය
විශ්වවිද්‍යාල මනෝවෛද්‍ය ඒකකය
දකුණු කොළඹ ශික්ෂණ රෝහල