දස මසක් කුස දරා සිටි ප‍්‍රසූතිය සිදු වූ මවකගේ කිරි සිහිනය සැබෑව ඇති මොහොතක ඒ මව සමග සතුට බෙදා හදා ගැනීමට ස්වාමියා, දෙමාපියන්, ඥාතීන්, වැඩිමල් දරුවන් හා ඇසල් වැසියන් සූදානම්ව ඇති මොහොතක එය ධනාත්මක අයුරින් සිදුකර ගත හැකි නම් මවට අලුත උපන් දරුවාට මෙන්ම එම පවුලටම ලැබෙන සහනය සුළු පටු නොවේ.
මේ සඳහා කටයුතු කළ යුත්තේ කෙසේද යන්න විමසා බැලීමේදී පළමුකොට මේ මවට දැනට ඇති ශාරීරික අපහසුතා පිළිබඳව සැලකිලිමත් වීම වටී.
සාමාන්‍ය දරු ප‍්‍රසූතියකදී නම්, මවට ප‍්‍රසූතියේදී සිදුකරනු ලැබූ සිරස් කැපුම මෙන්ම සීසර් ශල්‍ය කර්මයකදී සිදුකරන ලද සීසර් කැපුමද වේදනාකාරී වීම මවට දැඩි අපහසුතා ගෙනෙයි. මේ වේදනාවන්ට වේදනා නාශක භාවිත කළ හැකි අතරම එය රෝහලින් මුදාහැරීමේදී ලබාදෙනු ලබයි. මෙහිදී ඇයට ඒවා ගැනීම පිළිබඳව මතක් කිරීම සහ අවශ්‍ය වේලාවට ලබාදී ඇයට වේදනාව සහනය කරගැනීමට උදව් දීම නිවැසියන්ට හැකි කාර්යයකි.
දරු ප‍්‍රසූතියෙන් පසු පවතින රුධිර වහනය, යෝනි ස‍්‍රාවයන්, මව්කිරි නිෂ්පාදනය ආදියත් ඇදී තිබූ ගර්භාෂ පේශී හැකිලීම නිසා ඇතිවන වේදනාවත් පිළිබඳවත් ප‍්‍රසූතියට පෙර දැනුවත් කර තිබීම වැදගත්. මේ සඳහා පූර්ව ප‍්‍රසව සමයේ සායන වල පවත්වන සෞඛ්‍ය අධ්‍යාපනික වැඩසටහන් පූර්ව ප‍්‍රසව සැසි ආදිය මගින් මෙන්ම තොරතුරු තාක්‍ෂණය ඔස්සේ ලබාගත හැකි දැනුමින්ද මෙම පන්නරය ලබාගැනීමට වාතාවරණයක් සපයා දීමත් උනන්දු කර ඒ සඳහා කැඳවාගෙන යාමත් ස්වාමිපුරුෂයාගේ මෙන්ම නිවසේ වැඩිහිටි අයගේද යුතුකමකි. එවිට ඇය මේ ස`දහා පූර්ව සූදානමක් ඇති හෙයින් ශාරීරික අපහසුතා දරා ගැනීමේ ශක්තිය ලඟා කරගනිවී.
එසේ නමුදු මේවා පිළිබඳව අවබෝධයකින් කටයුතු කිරීමත් මවගේ දරුවා පිළිබඳව නිරතුරු සෙවිල්ලෙන් විමසිල්ලෙන් සිටිමින් ඇගේ කාර්යයන් සඳහා උදව් හා උනන්දුව ලබාදීම කළ යුතුයි.
එසේම අළුත උපන් දරුවා පරිසරයට හුරු කිරීමට, පෝෂණය රැකදීමට අවශ්‍ය හෙයින් මවට මේ සඳහා විශාල වෙහෙසක් දැරීමට සිදුවේ. දරුවාගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ ක‍්‍රමවේදයහැඩීම වන හෙයින් අවශ්‍යතා තේරුම් ගනිමින් සැලකිල්ලෙන් දරුවා රැක බලාගැනීමට මවට සිදුවේ . කුඩා අමාශයක් හිමි සිඟිත්තා සඳහා පැය 2 – 3 කට වරක් මව් කිරි අවශ්‍ය වේ. එසේම මව හා දරුවා අතර මව්කිරි ලබාදීමට අවශ්‍ය සම්බන්ධතාවය නිවැරදිව ගොඩනඟා ගැනීමද අවශ්‍ය වේ. ඒ ලෙසම මව්කිරි 80% ක්ම ඇත්තේ ජලය හෙයින් කිරි බොන සෑම වාරයක් පාසාම මුත‍්‍රා පිටකිරීමක්ද දරුවා සිදු කරයි. මේ සියළු කාර්යයන් එකවර සිදු කිරීමට සිදුවන හෙයින් මවට සහනයක් ගෙන දීමට නම් මවගේ වැඩකටයුතු සඳහා මවට උදව් ලබාදිය යුතුය. රාත‍්‍රි දිගු නින්දක් ලබාගැනීමට අපහසු හෙයින් දිවා කාලයේ මවට විවේක ලබාගැනීම සඳහා උදව් ලබාදීම නිවැසියන් විසින් සොයා බලා කිරීමෙන් මෙන්ම මවගේ අනෙකුත් වැඩ සඳහා උදව් ලබාදීම තුලින්ද මවට සහනයක් හිමි වේ. එසේම ඇය පිළිබඳව උනන්දු වන බවත් ඇයට උදව් කිරීමට සැදි පැහැදී සිටින බවත් දැනෙන්නට සැලැස්වීමත්, නෑමට , ආහාර ගැනීමට හා අනෙකුත් මවගේ කටයුතු සඳහා අවකාශ ලැබෙන ලෙස දරුවා රැකබලාදීමත් තුලින්ම මවට සහනයක් උදා වේ. මේ සඳහා මවට දැනෙන ලෙස මැදිහත් වීම මවට සහනයකි.
මේ දරුවා ලැබෙන තෙක් නිවසේ සිටි අනෙක් දරුවන් රැකබලා ගන්නේ මව බැවින් එම වැඩිමල් දරුවන්ට මවගේ මේ වෙනස හොඳින් දැනෙන්නට පටන් ගනී. මව අළුත් අමුත්ත ලඟම සිටින හෙයින් ඇයට/ඔහුට කිරි දෙමින් සුරතල් කරනු දකින විට ඊර්ෂ්‍යා සහගත සිතුවිලි ලොකු දරුවා තුල ඇති වේ. මෙසේ හෙයින් දරුවා ලැබීමට සිටින කාලයේ මෙන්,
මේ එන්න ඉන්නේ ඔයාගේ නංගී/මල්ලී
එයා ආවම ඔයා අක්කෙක්/අයියෙක් වෙනවා
එයා ලොකු උනාම ඔයත් එක්ක සෙල්ලම් කරයි, ඉස්කෝලේ යයි,
ඔයාට එයත් එක්ක අම්මාට උදව් කරන්න පුළුවන්
දැනුත් එයා ඉන්නේ ඔයා කියන ඒවා අහගෙන
එයා එනකොට පුංචියි
අපි එයාට අම්මා කුක්කු දීලා ලොකු කරගමු
ආදී ලෙසින් දරුවා ලොක්කෙකු බවත් බාල සොයුරා බලාගැනීමට ඔහුට හැකි බවත් පවසා ඔහු පිළිබඳ ආදරණීය හැඟීම් ඇති කර තිබීම වැදගත්.
එසේම දරුවා ගෙදර ගෙන ඒමට ප‍්‍රථම ලොකු දරුවා සමග එක්ව ඔහුගේ ඇඳුම් සකස් කිරීම, කාමරය ලස්සන කිරීම ආදිය මගින් ඔහුට බාල සහෝදරයා කෙරෙහි ආදරයක් ගොඩනඟා තිබීම වටී. එසේම අළුත උපන් දරුවා ගෙදරට ගෙන ආ පසුත් ලොකු දරුවාගේ මූලික අවශ්‍යතා සඳහා මව මැදිහත් වීම මගින් ඔහුට වෙනස් කමක් නොදැනෙන්නට ඉඩ හැරිය යුතුයි. පුංචි දරුවාගේ වැඩ කරන විට ලොකු දරුවා සහභාගි කර ගැනීම මගින් ලොකු දරුවාට වීරයෙකුගේ හැඟීම ඇති වන්නට ඉඩ හැරිය හැකි වේ.
මල්ලි චූ දාලා, අපි නැපිය අයින් කරමු නේද පුතේ,
ඔයාට පුළුවනිද මට මල්ලිට අන්දන්න නැපියක් අරන්දෙන්න.
ආ.. ඔයා දීපු නැපිය නම් මල්ලිට ලස්සනයි.
ආදී ලෙසින් දරුවාගේ වැඩවලට සම්බන්ධ කරගැනීම මගින් දරුවා නැතුවම බැරි අයෙක් ලෙස දැනෙන්නට ඇරිය යුතුයි. එසේම
මල්ලී නිදි අපි දෙන්න නාමුද? අපි බත් කමු නේද? මල්ලිගේ ඇඳුමේ පාටම කමිසයක් ලබාදී ඒ පිළිබඳව විස්තර කතා කිරීම ආදී ලෙසින් ලොකු දරුවා පිළිබඳ අවධානය වෙනස් බවක් නොවන්නටත් ඔබට ඔහුව නැතිවම බැරි අයෙක් ලෙසින් පෙන්වන්නටත් හැකි නම්
අපේ අම්මා මට ආදරෙයි,
අපේ අම්මාට මාව නැතුවම බෑ
අම්මට මම නැතිව මල්ලිගේ වැඩ කරගන්න බෑ
ආදී ලෙසින් මවට ලංවීමට ඇති හැකියාව ඇති කිරීමෙන් දරුවාට වෙනසක් නොදැනේ. එසේම මල්ලීට නිදියන්න අපි කවි කියමු ආදී ලෙසින් දරුවා තමාවෙත ලඟා කර ගැනීම තුලින් දරුවාට අම්මා සේම අළුත් අමුත්තාද තමන්ගේ යන හැඟීම ඇති කරගත හැකියි.
මල්ලිව අල්ලන්න එපා, මල්ලි ලඟට යන්න එපා, ඔයාගේ ඇඟටත් චූ දායි, ලොකු උනාම ඔයාට ගහයි ආදී ලෙසින් මල්ලී එයාගේ නොවන බවත් මල්ලී නිසා සියළු දේ, තැන නැති වූ බවත් ඇති නොවන්න වගබලා ගැනීම අළුත උපන් දරුවාටත් ලොකු දරුවාටත් මවටත් පියාටත් පවුලේ සියළු දෙනාටත් අස්වැසිල්ලක් ගෙනේවි.
බාහිරින් පැමිණෙන ගැටලු (අසල්වැසියන්, ඥාතීන් පැමිණ)
- ආ.. තාත්තා වගෙයි, අම්මා වගේ නෙවෙයි, කළුයි, හැම තිස්සෙම අඬනවා, කිරි මදි නේද
- ලොකු ළමයට ලඟට එන්න දෙන්න එපා විෂබීජ
- බබාලා හම්බ උණ අයට නාන්න හොඳ නෑ
- වතුර ගොඩක් බොන්න හොඳ නෑ බඩ ලොකු වෙනවා
- තුවාල හෝදන්න එපා පැසවනවා
- පළතුරු, කොළ ජාති කන්න හොඳ නෑ
- පිලී ජාති අගුණයි
මේ ආදී ලෙසින් වූ අඩු පාඩු දහසක් කියන්න ගනිවී. මේ සඳහා හොඳම උත්තරය සිනහව පමණයි. උත්තර දීමෙන් වැළකී සිටින්න. ඇහුම් කන් දෙන බව පමණක් පෙන්වන්න. ඔබේ වෛද්‍යවරයා, ඔබේ ගමේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය ඔබට ගර්භනී කාලයේදී ලබාදුන් දැනුම සිහියට නඟා ගන්න. මගේ දරුවාට හොඳින් මව්කිරි දීමට මට හැකියි යන අධිෂ්ඨානය ඇති කරගන්න. කුඩා දරුවෙකුගේ හැඩ රුව පිළිබඳ ඔවුන්ගේ දේ පිළිබඳ නොසින්න. ඔබේ දරුවා හඬන්නේ මව් කිරි සඳහා පමණක් නොවේ. දහදිය දැමීම, රස්නය, සීතල, මුත‍්‍රා යාම නිසා ඇතිවූ තෙත, කක්ක ඇගේ ගෑවෙන විට දැනෙන දේ, ඔබේ උණුසුම අළුත් පරිසරයට හුරු වීම ආදී අභියෝග රැසක් දරුවාට වේ. දැනට ඔබට සංනිවේදනය කල හැකි එකම ක‍්‍රමය ඇඬිම නිසා මේ සියළු දේ සඳහා දරුවා ඇඬීම සිදු කරයි. මේ නිසා දරුවා නාවන විට ඔහුගේ මේ අවශ්‍යතාවය තේරුම් ගන්නට උත්සහ කිරීම තුලින් ඔබට දරුවාගේ අවශ්‍යතා අවශ්‍ය විටදී සපුරා දිය හැකියි. බඩගින්නට කිරි දුන්නා සේම තෙත් වූ ඇඳුම් ඉවත් කර සහනය සැලැස්වීමත් කිරි සමග පෙවුණු වාතය ඉවත් කිරීමට ගුඩුස් යන ලෙස ස්ථාපිත කිරීම මගිනුත් දරුවාට සහනයක් ලැබෙන හෙයින් දරුවාගේ ඇඞීම නතර වෙයි. මෙසේ හෙයින් දරුවාගේ අවශ්‍යතා හඳුනා ගැනීමටත් ඒ අනුව කටයුතු කිරීමටත් ඔබට හැකි වේ. ඒ සඳහා ඔබ දැන සිටිය යුතුම කරුණු.
- පැය 2 ½ කට 3 කට වරක් කිරි ලබාදීමත් වරකට කිරි ඉරීමට ගන්නා කාලය විනාඩි 20 ක් එක පියයුරකින් වීමත් දැන සිටීම ම`ගින් මව්කිරි යාන්ත‍්‍රණය ඔබට හො`දින් පවත්වා ගත හැකියි.
- කිරි දුන් පසු පෙවුණු වාතය ඉවත් කිරීමට ගුඩුස් යැවීමත් කිරි වමනය ආවොත් පිටතට බේරී යන සේ පැත්තට හරවා තැබීමත් වැදගත්.
- නිරෝගී දරුවකු දිනපතා නෑවීම දරුවාට සුව පහසුව ල`ගා කරයි.
- පෙකණිය විවෘතව වියළිව තබන්න. නෑවීමෙන් පසු තෙත මාත්තු කරන්න.
- පෙකණිය මෙන්ම ඉකිලි, කිහිලි, ආදී නැවෙන තැන් හො`දින් තෙත මාත්තු කරන්න.
- ඉපදී හැකි ඉක්මණින් මව් කිරි ලබාදීම (පැයක් ඇතුලත* කිරි එරීමේ යාන්ත‍්‍රණ්‍යට වැදගත් වේ.
- මව් කිරි දෙන විට මව් උකුලේ සිටින බැවින් උණුසුමින් ආරක්‍ෂා වේ.
- එසේම මව්කිරි වලින් ලෙඩ රෝග වලට ප‍්‍රතිශක්තිය ලැබෙනවා සේම මවගේ සමට දරුවාගේ සම ගැටීම තුලින් සමේ ආරක්‍ෂාවට එය වැදගත් වේ.
- දරුවා තමන කාමරය පිරිසිදුව හා උණුසුම්ව තබාගන්න.
- පරිසරය සීතල නම් උණුසුම් පොරෝනා, තොප්පි, මේස් මගින් ආරක්‍ෂාව සපයන්න.
- පිරිසිදු වාතාශ‍්‍රය ලැබීමට සලස්වන්න.
- නිවසට ගිය වහාම ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියට දැනුම් දෙන්න. එවිට ඇය පැමිණ ඔබට අවශ්‍ය උපදෙස් හා සේවාවන් හා සහයෝගය ලබාදේවී.
- මාස 6 සම්පූර්ණ වන තෙක් මව්කිරි පමණක්ම දෙන්න.
- මව්කිරි වල 80% ක්ම වතුර අඩංගු බැවින් වෙනත් දියර වර්ග අවශ්‍ය නැත.
- මව්කිරි ඔබේ දරුවාගේ වර්ධනයට ඇවැසි සියළුම පෝෂක කොටස් අඩංගු වේ.
- ප‍්‍රසූතියෙන් පසු එරෙන මුල් කිරි (කොලස්ට‍්‍රම්) බෝවන රෝග වලින් දරුවා ආරක්‍ෂා කරයි.
- දරුවාට අවශ්‍ය සෑම විටම මව්කිරි ලබාදෙන්න. දිවා රාත‍්‍රී දෙකේම.
- රාත‍්‍රියේදී කිරි දීම හොඳින් කිරි එරීමට හේතුවක් වේ.
- කිරි එරීමේ රහස දරුවා හොඳින් වැඩි වාර ගණනක් කිරි උරා බීමයි.
- කිරි දෙන විට මෙන්ම අනෙක් අවස්ථාවන්හිදීත් දරුවාට ආදරයෙන් කතා කරන්න.
- සෙනෙහසින් තුරුළු කරගන්න.
- දරු නැලවිලි ගීත ගයන්න.
- ශරීරය සියුම්ව පිරි මදින්න.
- ඇසට ඇස ගැටෙන සේ මව්කිරි දීමේදී ඉරියව් තබාගන්න.
- වර්ණවත් සෙල්ලම් බඩු ඇස ගැටෙන සේ තබන්න. (කුරුළු කොට්ට, බිත්ති සැරසිලි, කොට් ෂීට්)
දරුවාගේ හඳුනාගත හැකි අනතුරු දායක තත්ත්ව
- හොඳින් කිරි උරා බිව් දරුවා මව්කිරි බීම ප‍්‍රතික්ෂේප කිරීම.
- අසාමාන්‍ය ලෙස නිහඬව සිටීම හෝ වැඩිපුර හැඬීම, කෙඳිරි ගෑම.
- අධික ලෙස ශරීරය කහ පැහැවීම/කහ පැහැය සති 2 ට වඩා වැඩිවීම.
- ශරීර උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහත බැසීම/වැඩිවීම.
- පෙකණිය දුර්ගන්ධය සහිත වීම, රතුවීම හෝ ශ‍්‍රාවයක් පිටවීම.
- වලිප්පුව/අසාමාන්‍ය ලෙස අත්පා ගැස්සීම.
එසේම දරුවා ඉපදී සති 4 කින් ළදරු ළමා සායනයට ගෙන ගොස් පරීක්‍ෂා කරවා ගත යුතු අතරම, මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඒ සමගම වෛද්‍ය පරීක්‍ෂාවට ලක් කරගත යුතුය.
ඉපදී සති 4 සිට සෑම මසකටම වරක් දරුවාගේ බර කිරා සටහන් කරවාගෙන වර්ධන රේඛාව නියමිත මාර්ගයේ නොවේ නම් ළමා සායනයෙන් උපදෙස් ලබාගන්න.
සති 6 කදී ඊලඟ දරු උපත පමා කර දරු උපත් අතර සඳහා සුදුසු පවුල් සංවිධාන ක‍්‍රමයක් සායනයෙන් ලබාගන්න.
මාස 2 දී පටන් ප‍්‍රතිශක්තීකරණය ආරම්භ කළ යුතු අතර ප‍්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය සමග සාකච්ඡා කර ඒ සඳහා සායන දින හා වේලාවක් ලබාගන්න. එන්නත්කරණය පිළිබඳ තොරතුරුද එන්නත්කරණයෙන් පසු ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳවද තොරතුරු විමසා දැනුවත් වීම තුලින් වයසට නිසි එන්නත් ලබාදී ඔබේ දරුවා බෝවන රෝග වලින් ආරක්‍ෂා කරගත හැකි වේ.
එසේම වැඩෙන දරුවාගේ වයසත් සමග මානසික සංවර්ධනය වැඩි කිරීම සඳහා සක‍්‍රීයව ක‍්‍රියාත්මක වීම වැදගත් වේ. මේ සඳහා ළදරු වර්ධන සටහන් පොතේ මානසික සංවර්ධනය මැන බැලීම සඳහා පොදු උපදෙස් කියවා බලා දරුවාගේ මානසික සංවර්ධනය දියුණු කිරීමට උපතේ සිට කල හැකිදේ පිළිබඳව දැනුවත් වෙන්න. ඒ අනුව ක‍්‍රියාත්මක වීම තුලින් දරුවාගේ මනෝ සමාජීය සංවර්ධන ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ආ හැකිය.
එසේම ඒ හා සම්බන්ධ ක‍්‍රියාකරකම් සිදුවන වයස පිළිබඳව සටහන් පිරවීම තුලින් අඩාල වන මානසික සංවර්ධනය හඳුනා උත්තේජන ලබාදීම හා අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර වෙත ඉක්මණින් යොමු කිරීමට හැකි වීම තුලින් මොලයේ සංවර්ධනය ප‍්‍රශස්ත මට්ටමකට ගෙන ඒමටත් අනාගතයේ රටට වැඩදායී බුද්ධිමත් පුරවැසියකු රටට දායාද කිරීමේ හැකියාව ඔබට ලැබෙනු නියතයි.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
අයිරාංගනී ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරීනි
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
බුලත්සිංහල