මධාරා මහපටුනගේ දෑත් තවමත් තැනින් තැන හට ගත් තුවාල වලින් වේදනා දෙයි. වේදනාව පරයා විටින් විට දැනෙන කුහුඹු දෂ්ඨනයන් වැනි සියුම් දැනීම් අවසාන වෙන්නේ ඒ කුඩා තුවාල ලේ සහ සැරවා එන තුරු නොකඩවා කැසීමෙනි.
බටහිර වෛද්‍යවරු කිහිපදෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත්තද කුඩා කුඩා තුවාල හෝ කැසීම් වල කිසිඳු අඩුවක් දක්නට නොලැබුන හෙයින් දේශීය වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර ගන්නට කරුණු කාරණා යෙදින.
වෙද මහතාට අනුව මධාරා පීඩාවිදින්නේ ” ලේ විස වීමේ” රෝගයකිනි.
” මේවට එක රැයින් වෙදකම් කරන්ඩ බෑ මහත්තයො.. ඇග නිවල ක්‍රමානුකූලව බෙහෙත් පන්තිය කරන්න ඕනා. මාසයක් දෙකක් යයි නෝනට අඩුවෙන්න. හැබැයි නිට්ටාවටම සුව කරල දෙනවා”
වටකුරු කණ්නාඩි යුවලක් පැලද සිටි, හිස කෙස් ගසක් දෙකක් පමණක් ශේෂව ගිය නග්න දිගැටි හිසක් දැරූ ඉඳුනු රැවුල්කාර දේශීය වෙදදුරා, මධාරාගේ නාඩි අල්ලාගෙන ප්‍රියන්ත අල්විස්ට කිව්වේ බැරෑරුම් හඬකින් බව දාහතර හැවිරිදි අසෙලි අල්විස්ට මතකය.
මධාරා නම් එවෙලේත් සිටියේ බුම්මාගත් බකුසු මුහුණෙන්මය. එය වේදනාවක්ද, ක්‍රෝධයක්ද යන්න බෙදා සළකුණු කරගත නොහැක්කක් විය.
කොහොමටත් අම්මාගේ හැඟීම් කියවා ගැනීමට දරුවෙක් ලෙස අසෙලි අසමත් බව ඒ සා නෑඹුල් වයසකදීත් ඈ දැන සිටියාය.
එකම සෞරග්‍රමණ්ඩලයක නන්නාදුන හුදකලා ග්‍රහලෝක තුනක් අල්විස් නිවසේ වාසය කලේය.
අසෙලි නම් කුඩාම ග්‍රහලෝකය එහි වඩාම හුදකලා සහ සීතලම ග්‍රහයා වීය.
සූර්‍යයා මෙන් ආකර්ශණයෙන් ඇඳ බැඳ තබා ගන්නට ආදර රැහැනක් ඒ නිවසේ නොවීය.
ප්‍රියන්ත අල්විස් බැලූබැල්මට හැසිරුනේ සෙනසුරු (Saturn) වගේය. තමන්ගේ සමාජය පිළිගත් රැකියාව, නම්බු නාම , උගත්කම් සෙනසුරුගේ දීප්තිමත් වළළු මෙන් තමාව සමාජයේ කැපී පෙන්වීමට සලස්වන බව හේ දැඩිව විශ්වාස කළේය. එනමුදු ඔහු සෙනසුරු ග්‍රහයා සේම වෙනත් ජීවින්ට අනුවර්තනය වීමට නොහැකි තරම් ආන්තික මිනිසෙක්ද වීය.
මධාරා මාහපටුන පැය විසි හතර මුළුල්ලේම සිකුරු මෙන් ( Venus ) දැවෙමින් සිටියාය. ඕනෑම මොහොතක ද්වේශයෙන් පුපුරා හැලෙන්නටද , ගැඹුරු නිහඩතාවක ගිලෙමින් අනෙක් මිනිස්සුන් තාවකාලික උන්මන්තකභාවයකට පත් කිරලීමට තරම් අසාමාන්‍ය චිත්තවේග වලින්ද යුක්ත වූවාය.
ඒ සියල්ල මැද අසෙලි මේ වඩා හුදකලාව තනිව වැඩෙන දරුවෙක් වූවාය.
ස්වාධීන බව හෝ පරාධීනබව ගැන ඈ පාසලේදී උගැන තිබුනද නිවසේදි එය මෙයැයි කියා වෙන්කරගැනීමට අපහසු වන තරම් අපහැදිලි කළාපයක ඔවුනොවුන් ජීවත් වූහ.
“අසෙලි අම්මගේ අතේ තුවාල වලට බෙහෙත් ටික ගානවා” ඒ විධානය ප්‍රියන්තගෙනි.
” අසෙලි.. අසෙලි..කන් ඇහෙන්නෙ නැද්ද? අම්මගෙ අතේ බෙහෙත් ටික ගානව ඇවිල්ලා”
අමුකහ, අමුපොල් කොළ සහ නිදිකුම්බා තැම්බූ මද උණු වතුරෙන් තුවාල සහිත දෑත් හොදින් සෝදා තෙත මාත්තු කොට ඒ එක් එක් තුවාල
මත වෙදදුරා විසින් ලබා දුන් තෙල් වර්ගයක් ආලේප කල යුතු විය.
අසෙලිට උදේ සවස කෙරෙන මේ තුවාල ඇල්ලීම දැන් හොදටම අප්‍රසන්න වී ඇත. අනෙක් අතට අම්මාට බෙහෙත් කිරීම ලේසිද නැත. ඇයට වේදනා නම් නිදහස් අතින් අසෙලිගේ ඔලුවට පහර වදී.
“‘මාව මරන් කන්නද හදන්නේ”
නිවසේ උදව්වට ඉන්නා අමරා අසෙලිට ගැන උපන් අනුකම්පාවෙන් මධාරාට බෙහෙත් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුනත්
” ළමයෙක් හැදුවේ මේවට තමයි. මෙහෙමවත් නැත්තම් කන්න බොන්න දීල වියදම් කරන එකේ ප්‍රයෝජනේ මොකක්ද? උබ වැඩක් බලාගනින් අමරා.. මට තේකක් හදපන් සීනි තේ හැදි අරිට්කාලක් දාපන්. හැදි තුනහතර දාල මාව මරවන්නෙ නැතුව” මධාරා ප්‍රතිචාර දැක්වීය.
අසෙලිගේ මාසික ඔසප් වීම ඇරඹී දැන් දෑ අවුරුද්දකටත් වැඩිය. කෙසඟ ගැහැණු ළමයෙක් වූ අසෙලිට, වඩා වැඩි රුධිර වහනයකුත් , දැඩි උදරවේදනාවකුත් දැනේ. කෑම බීම අප්‍රිය, මුළු ඇඟම ඇද්දුම් කන මේ වද කරදරය අසෙලිට තිත්ත වී ඇත්තේ, වේදනාව දවස් තුනක්ට නොඅඩු නිසාමය. ඉදගෙන ඉන්නත් නොහැකි හිටගෙන ඉන්නත් නොහැකි වෙන කිසිදු කර්තව්‍යයට සිත යොමුකිරීමටත් නොහැකි අසෙලි මාසික ඔසප් වීම දකින්නේ සාපයක් හැටියටමය.
අම්මාගේ බෙහෙත් කිරිල්ල අස්සේම සාපය වහනය වෙන්නට පටන් ගෙන ඇත.
පැරසිටමෝල් වලින් ලොකු සහනයක්ද නැත.
සයනයේ ඒ මේ අතට ගුලි වෙමින් අද සෙනසුරාද දවසක් වූ එක ගැන දෙවියන්ට ස්තූතිවන්ත වෙමින් සිටි අසෙලි ප්‍රියන්තගේ ඊළග අඩි හැප්පවීමට කළින් දැන් ඉතින් ඇඳෙන් බැසිය යුතු බව දනී.
හිස කරකැවේ. උදරය යටි කොටසෙන් මිරිකා දිගැරෙන වේදනාවක් දැනේ. කොදු ඇට පේලියේ එකින් එකට අස්ථි අදුනාගත හැකි තරම් වේදනාව විස්තීර්ණය වේ.
අසෙලි අම්මාගේගේ තුවාල මත තෙල් පොඟවා ගත් පුලුන් කෑල්ල තැබුවේ සීරුවෙනි. හැකි තරම් ප්‍රවේසමෙනි.
එහෙත්
“ඌයි..” හඩත් සමග චටස් ශබ්දය ආවේ තමන්ගේ හිස පිටුපසින් බව අසෙලිට තේරුම් යන්නටත් කළින් ඇගේ ඇස් බොඳ වී අවට කරුවල වූ බව පමණක් මතකයේ ඉතිරි විය.
“දුවට සිහිය ආවා”
නගරයේ කුඩා පුද්ගලික බෙහෙත් ශාලාවේ රාජකාරි කල හෙදියකගේ කටකඩින් ප්‍රියන්ත ගැස්සී බැලුවේය. සුපුරුදු ලෙස බුකවාගත් මධාරාගේ මුහුණෙ කිසිදු වෙනසක් නොවින.
මධාරාට හෙදියගේ පණිවිඩය නෑසෙන්නට ඇති බව මධාරා ගැන නොදන්නා ඕනෑම කෙනෙක් විශ්වාස කරන තරමට ඇය එකම ඉරියව්වෙන් සිටියාය. අමරා සියල්ලටම පෙර කුඩා ප්‍රතිකාර කාමරයේ දොර රෙද්ද මෑත් කරමින් ඇතුලට ගියාය.
” අනේ අසරණී.. උදේට කෑවෙත් නෑ මයෙම්මා.. මේ කෙල්ල ගැන බලන්න කෙනෙක් නැති හැටි” හදවත පහුරුගාන වාක්‍ය වලට පිටවෙන්නට නොදී එහිම මියෙන්ට හැර අමරා අසෙලිගේ අත අල්ලාගෙන අනෙක් අතින් හිස අතගාන්නට පටන් ගත්තාය.
” We sent a blood sample to the lab. I hope its better get checked. Since she is so thin with pale eyes and on her periods, this might be a sign of anemia.
And she seems fine now. Can take her home. Will give some pain killers , lets see when the report comes,
වෛද්‍යවරයා කියාගෙන ගියේය.
” ලැජ්ජ කරපල්ල , ලැජ්ජ කරපල්ල..කන්න බොන්න නැති මඩුවකනෙ හැදෙන්නෙ. අනෙක මේ රටේ ගෑනු ඔක්කොටම ඕක වෙනව. උබ එදාටම නොකා නොබී බිමට පත බෑවෙන්න තියාගත්තේ? පලවෙනි වතාවටද හැදුනේ? උබ දන්නෙ නැද්ද ඕක හැදෙනව කියල? “
ප්‍රියන්ත ආක්‍රෝශ පරිභව කරමින් නිවස දෙසට රිය පැදවීය.
මධාරාගේ තුවාල වල කිසිදු අඩුවක් නොවුනේය. ඒවා වේගයෙන් අත පුරාත් පසුව ශරීරයේ විවිධ තැන් වලත් පැතිර යන්නට වූයේය. තෙල් ආලේප කිරීමට නොහැකි තරම් තුවාල මතු වූ පසු ඒ වෙදකම අතැර දැමීමට ප්‍රියන්තත් මධාරත් තීරණය කළහ. දෙන්නාදෙමහල්ලෝ එකට එකඟව තීරණයක් ගන්නේ එහෙමත් වසර ගණනකට සැරයක්ය.
ප්‍රියන්ත හා මධාරා අතර කායික සම්බන්ධතා කියා දෙයක් නැත. දෙදෙනා කාමර දෙකකකද අසෙලි වෙනම කාමරයද නිදයි. ඒ දෙදෙනා අතර කායික තබා මානසික සම්බන්ධතාවක්වත් තිබුනාද යන්න අමරාටනම් පුදූමයට කාරණාවකි.
කපුටෝ ළමයි ගෙනත් දාන බව ඇත්තක් බවත් අසෙලි බබා එන්න ඇත්තේ එහෙම බවත් මුන් දෙන්නා හදපු ළමයෙක්නම් වෙන්න බැරි බවත් අමරා කහට කෝප්පයක් හදගෙන අල්ලට දමාගත් සීනි කැට ලෙවකමින් කල්පනා කල දවස් ගාණ ඇගේ හිසේ කෙස් ගාණට වඩා වැඩි මිස අඩු නැත.
යකඩ අඩුබව ලේ වර්තාවෙන් තහවුරු වූ පසු දැන් අසෙලිට යකඩ පෙති දිනපතා ලබාගැනීමට සිදු වේ. කලින් සිටියාට වඩා ශරීරයට යම් ජීවමය ගතියක් දැනුනත් ඔසප් වේදනාවේ නම් වෙනසක් නැත.
මධාරා වැඩිකාලයක් ගත කරනුයේ ස්වකීය සයනාරූඩවමය. ශරීරය පුරා තැනින් තැන රුධිරය ගලන, නොගලන හෝ කිසියම් තුවාලයක් කසමින් දවස ගත කිරීම පහසු නැත. එකාතකට ඇයට නින්දක්ද නැත.
ප්‍රියන්තට ඒ ගැන ඒගැන වගක්ද ඇති බවක් කාටවත් නොදැනේ. අවසාන වරට හමුවූ කායික රෝග වෛද්‍යවරයෙක් තහවුරු කලේ මධාරාගේ ශරීරයට විශබීජයක් ඇතුල්වීම නිසා මේ තත්වය උද්ගත වී ඇති බවත් IV මාර්ගයෙන් ලබා දෙන ප්‍රතිජිවික ඖශධ වලින් විනා දැන් පිටින් කරන වෙදකමින් මෙය පාලනය කරගත නොහැකි බවය.
දැන් ඉතින් දවසට දෙපාරක් ලගම ඇති බෙහෙත් ශාලාවෙන් එන්නත් මාර්ගයෙන් මධාරාට බෙහෙත් ලබා දෙන්නෙ සති දෙකක් රෝහල් ගතවීම මහාවියදමක් ලෙස ප්‍රියන්තටත් වඩා මධාරා සැලකූ හෙයිනි.
” Aseli,
I need to talk. Shall we meet?
Jegan”
076 *******
අසෙලි අතේ ගුලිවී තිබූ ලා කොළ පැහැති කුඩා කොළය කිහිපවරක් කියෙව්වාය. පාසල් වෑන් රථයේ පිටුපසුම අසුනට අසෙලිට හිමිවන්නේ ඇය “අල්විස් නිවස” අසලින් බහින්නේ වෑන් රතයේ අවසාන කෙනාට කළින්වීම නිසාය. මේ කෙටි වචන සහිත පණිඩුඩය වෑන් රතයේ දෙවන අසුනක ඉදගන්නා ජාත්‍යන්තර පාසලේ පහලොස් හැවිරිදි ජෙගන් සිවගුරුනාදන්ගෙනි.
සිහින් වඩා තළෙලු සමක් දැරූ ජෙගන්ගේ නළලේ පාන්දරට සුදු පාට විභූති ඉරි තුන වැරදුනේ නැත.
ස්භාවයෙන් නිහඩ බොහෝ විට පොතකට හිස යොමාගෙනම ගමනාන්ත වලින් හිස ඔසවන ජෙගන් තමන් කෙරෙහි අවධානය යොමු කලේ කොයිවේලාවටද කියාවත් අසෙලීට නිනව්වක් තිබුනේ නැත. එකාතකට පාසල ඇරි කට කපා නිදාගෙන ගෙදර ළගින් “වෑන් එකේ ඇන්ටී” ඇහරවන තුරුම නිදාගන්නා තමා ගැන සියුම් ලැජ්ජාවකුත් වර්ධනය කිරීමට මේ පොඩි කොල කෑල්ලට හැකිවීම ගැන අසෙලි පුදුමයට පත් විය.
“Shall we meet?”
නැවත නැවත පැහැදිලි ඉංග්‍රිසි අකුරෙන් ලියා තිබූ වචන කියවූ අසෙලිට ජෙගන් නම් පිස්සෙක් විය යුතු යැයි සිතිණ. අතිරේක පන්තියකටවත් නොයවා බාලිකාවෙන් නිවසට නිවසෙන් බාලිකාවටත් පමණක් යන තමන්ගෙන් “shall we ?”කියා අසන්නේ මොළේ හොඳ නැති කොළුවෙක් පමණක් විය යුතුය.
අනෙක් අතට තමන් ගැන ජෙගන් දන්නා දෙයක්ද නැත. එසේ ඇසීම පාපයක් ලෙස දැකීමටද නොහැකිය. බාලිකාවේ B පන්තියේ බාගයකටත් වඩා කෙල්ලන්ට පෙම්වතුන් සිටින බව අසෙලි දැන සිටියාය. එහෙත් ඔවුන් ලියුම් නම් හුවමාරු කරගත්තේ නැතිබව නම් අසෙලිට විශ්වාසය. දුරකතනයෙන් පණිවිඩ හුවමාරු කරගන්නා බව ඇත්තය. පාසලේ ඉගැනුම් කටයුතු සඳහා තමන්ට ජංගම දුරකතනයක් මිලදීගෙන දී තුබූ නමුදු එහි පාලනය ඇත්තේ ප්‍රියන්ත සහ මධාරා අතේ හෙයින් අසෙලි ඔය පණිවිඩ යැවීම් ඒම් කෙරෙහි වැඩි උනන්දුවක් දැක්වූයේද නැත.
ලා කොළ පැහැති කුඩා කොළය ජීවන කුසලතා සටහන් පොත අතුලේ හෙමින් රූවා ගත් අසෙලි පාසල් බෑගය මේසය මතින් තැබුවාය.
දැන් දැන් ප්‍රියන්ත අල්විස් ගෙදර එන්නේ මාසයකට සැරයක් වගේය. ඒ එනදාට අමරාට උයා තියන්න අවශ්‍යය දෑ කියමින් හෙතෙම නිවසට දුරකතන ඇමතුමක් දෙන්නේය. එයට පිළිතුරු දෙන්නටද අමරාම මිස නිවසේ වෙන කවුරුවත් උනන්දුවක් නොදැක්වීය. ඔහු සේවය ලබා දෙන රෙදි කර්මාන්ත ශාලාවේ නව ශාඛාවක මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ඔහු කිසිම අකමැත්තක් නොදක්වා කොළබින් බැහැරවී ගියේය. ඇත්තෙන්ම ඔහු ආයතනයේ කොටසක් විය.
මධාරාගේ තුවාල පාලනයක් මිස ඉන් ලද කිසි පූර්ණ සුවයක් නොමැති තැන මධාරා තුවාල සමඟම ඉන්නට තීරණය කලාක් මෙන් උදේ දහවල මෙන්ම රාත්‍රිය පුරාමද කුඩා කුඩා තුවාල කසමින් ඉතිරි වේලාවක් වේ නම් අසෙලිට දෝශාරෝපණය කරමින් හෝ තඩිබාමින් ගත කලාය.
කිසිම දිනක “Lets meet” ලෙස ප්‍රතිචාරයක් නොදැක්වූ නමුදු අසෙලි ජෙගන් සමඟ මනෝමය ප්‍රේමයකින් බැඳී සිටියාය.
” අසෙලි ආවර්තිතා වගුව කියන්න” ඒ විධානය විද්‍යාව ගුරුතුමියගෙනි.
“අසෙලි.. අ සෙ ලිඊ..” කොයි ලෝකෙද ඉන්නේ ළමයෝ මම ප්‍රශ්නයක් ඇහුවා තමුන්ට ඇහුනද?
කෝපයට පත් ගුරුවරියගෙන් ප්‍රශ්න වැලකි.
මධූකා අතට නොඅනින්න, “තමුන්ට ඇහුනද?” කොටස හෝ අසෙලිට නොඇසී යනු ඇත.
ඒ මොහොතේ අසෙලි සිටියේ ජෙගන් සමඟ පිට්ටනිය කෙළවරෙහි වූ බංකුවේ වාඩිවීය. ජෙගන් සිටියේ පාසල් ඇඳුමෙනි. අසෙලි තමන් කැමතිම දම් පැහැ රැලි ඇල්ලු දිග ගවුම හැඳ සිටියාය.
ජෙගන්ට සිංහල අපහසුය. එහෙත් ඔහු ඉංග්‍රීසි භාශාවේ ව්‍යක්තය.
” I never thought that you would love me” ඔහු කීවේය.
“ඇයි එහෙම හිතුවේ? ප්‍රශ්නය අසෙලිගෙනි.
” you know why there have been several discriminations since long. ජාති පස්න right ? I was scared but got guts to ask you out.
ඔහුගේ පෙනුම චිත්‍රපට නලුවෙක්ගේ මෙන් විය. දිගු නාසය. කෙටි තොල් සහිත මුව නිතර තදින් පියවී තිබිණ. සමේ වර්ණය කිසි ලෙසකින් ඔහුගේ පෙනුමට අපරාධයක් සිදු නොකලේය. ඔහු කදිම කඩවසම් තරුණයෙක් විය.
පිට්ටනිය කෙලවර බංකුවට සෙවණ දුන් කොහොඹ ගසේ කහ ගැහුනු කොළය පාවි අවුත් මනාව පිරූ ජෙගන්ගේ සෘජු කෙස් ගස් අතර රැදුනි.
අසෙලි එය ඉවත් කිරීමට අත ගත්තා පමණි.
“මේ ලෝකේ නෙමෙයිද ඉන්නේ? ඔලුව හොඳ නැතිවේගෙන එනව මන් හිතන්නෙ මේ ළමයගේ” විද්‍යා ගුරුතුමිය ඒ රෝමාන්තික බව විනාස කර දැමීය.
එතනිදු නොනැවතී අසෙලිගේ ආදරය එකම දිනයකදී ඉංග්‍රීසි ගුරිවරියගේ බැනුමකින්ද, සමාජ අධ්‍යනය ගුරුවරියගේ වයිට් බෝඩ් පෑන් පහරකින්ද බිඳී ගියේය.
දැන් පාසැල් වෑන් රථයේදී අසෙලීට නින්ද යන්නේ නැත. ජෙගන්ගේ අත අල්ලාගෙන මංමාවත් දිග ඔහේ ඇවිද යන්නට ඇයට තිබේ. හිමකිරම වෙළඳසළකදී කහපැහැති අයිස් පලමක්ද , වැනිලා චොකලට් සම සමව දැමූ ඩිලයිට් ( delight) වර්ගයේ හිම කිරමක්ද තොලගාමින් එකිනෙකා දෙස බලාසිටීමට ඔවුන්ට තිබේ.
ජෙගන්ගේ උඩු තොලෙහි ගෑවුන වැනිලා හිමකිරම
සළකුණක් මකා දැමීමට ඇගේ ලේන්සුව පාවිච්චි කිරීමට තිබේ.
” අනේ ලස්සන ජෝඩුව දෙවිපිහිටයි දරුවනේ” යැයි කියනා සිගමන් යදින වයසක ගැහැනියක් දෙස බලා ලැජ්ජාවෙන් බිම බලාගන්නට අසෙලිට සිදුවේ.
ආදරය, කිණිහිරක පුළිඟු මෙන් විසරණය වෙන දීප්තිමත් හැඟීමක ගිලෙමින් යතාවත් වෙමින් අසෙලි නිවසට ළගාවේ.
“මොකද බබා තනියමත් හිනාවෙන්නේ? කෑම ටික අතගගා ඉන්නේ කීපැයක ඉදන්ද?”
අමරා හැර අසෙලිගේ වෙනසක් තොරාගත හැකි කිසිවෙකු ඒ නිවසේ නැත.
“නැහැ ඇන්ටි. බඩගිනි නෑ”
” අම්මා කෝ නිදිද? අද මොකද උදේ රණ්ඩු කලාද?”
අසෙලිගෙන් ප්‍රශ්නම පිළිතුරු ලෙස ලැබුණි.
“උදේ ඉදන් කාටද මන්ද තිත්ත කුනුහර්පෙන් බැන්න. ඊට පස්සෙ කෑම හොඳ නෑ කියල විසිකරල. තේකක් හදල දෙන්නැයි කීව. ඒකත් කොලා. ඒකට වහක් දාල ටික ටික මරන්න හදනවැයි කියල මටම ආඩපාලි කීව. පස්සෙ කාමරේට වෙලා දොරවහගත්ත. මම ආයෙ ගියේ නෑ බබා. මාත් මනුස්සයෙක්නේ”
අමරාගේ කටහඩ බිඳීගොසිනි.
අල්විස් නිවසේ වාසය එකතාකට දැලි පිහියෙන් කිරිකනවා වගේ වැඩක්ය. පිස්සු හෝ පිස්සු නැත කියා සහතිකයක් නොළද වැඩුනු ගැහැනියක් සමඟ දවසම ගත කිරීම අමාරට ඔරොත්තු දුන්නේ නැත. එහෙත් අමරාට යන්න කියා තැනක්ද තිබුනේ නැත. ප්‍රියන්ත අමරාගේ පඩිනඩි වලට කිසිදු අඩුපාඩුවක් කලේද නැත.
” මේ ගෙදර මහ ගෑනිගේ පිස්සු නැත්තම් සෝක් ” අමරා නිතරම සිතුවේ එලෙසිනි.
“අම්මා… අම්මා… අම්මා..”
“නෝනා නෝනා…..”
රාත්‍රී නමයටද මධාරාගේ කාමරයෙන් කිසිදු හැලහොල්මනක් නැති තැන අසෙලිත් අමරාත්
මධාරාගෙන් ගුටි කෑමට බලාගෙන හෝ කතා කිරීමට තිරණය කළහ.
එහෙත් ඇතුළතින් පිළිතුරක් දීමට මධාරා කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත.
දැඩිඝනකමින් යුතු කොස් ලීයෙන් කරවන ලද දොරවල් වලට ප්‍රියන්ත, විශේෂයෙන්ම කුරුණෑගල පැත්තෙන් ලී ඉරවාගෙන ආවේය. ඒවායේ සවි ශක්තිය ඉතා දැඩි වූහෙයින් වයස හැටකට ආසන්න කාන්තාවකට සහ දාහතර සම්පූර්ණ නව යෞවනියකට කිසිසේත්ම එවැනි දොරක් හා ගැටීමට හැකියාවක් නැත.
” මහත්තයට කියමු බබා සිහි නැතිවෙලාද දන්නෙ නෑ. කෑමකුත් නෑනේ උදේ දවල් නැතුව කස කස ඉන්න මනුස්සයනේ අනෙක”
” අනේ මන්ද අමරා නැන්දේ තාත්තා ඇවිල්ල දොරවල් අරින්නද ඉතින් කල්මුණේ වගේ පැත්තක නේද ඉන්නව කිව්වේ. දුරයි කිව්ව මම අහගෙන. එන්න පැය හතක් විතර ගියා කිව්වේ”
” ඒත් බබා ඔයා තාත්තට කියන්නකො. අපි දෙන්නා මොනව කරන්නද වෙන”
” හ්ම්ම්”
අසල්වැසියන් කියා කිසිදු කෙනෙක් ආශ්‍රය නොකලද, කරදරයකදි අහක නොබලන ස්භාවය නිසා ආසන්න නිවසේ වාසය කල භක්තිමත් කතෝලිකයෙකු වූ කොල්වින් මහතා ඒ මහතාගේ බෑණනුවන් වූ නාලක සමඟ අමරාගේ සහ අසෙලිගේ ඉල්ලීම මත නිවසට පැමිණියේය.
ප්‍රියන්ත හැකි ඉක්මනින් පිටත් වෙන බව කිවත් කාමරය තුළ සිරවී සිටින මධාරා සිටින්නෙ හදිසි ප්‍රතිකාර අවශ්‍ය තත්වයක විය හැකි බැවින් පොලිසිය සහ හදිසි ගිලන් රථ සේවයකට ඇමතිම වඩා කාලෝචිත බව කොල්වින් මහතාගේ අදහස විය.
පොලීසියට දැනුම්දීමෙන් කොස්තාපල්වරු දෙදෙනෙක් පසු එතෙන්ට ලඟාවීමට විනාඩි හතලිහක පමණ කාලයක් ගත වූ අතර, ගිලන් රථය නම් කඩිනමින් පැමිණියත් දොර විවෘත කිරීම ඔවුනට කළ නොහැකි හෙයින් පොලිසියේ මැදිහත්වීම අවශ්‍යය බව දැන්වූ හෙයින් මධාරා තව දුරටත් කාමරයේ සිරවී සිටියේය.
ආරංචි වලට තටු ලැබෙන බව පසක් කරමින්ද කිසිදා බාහිරට විවෘත නොවුන අල්විස් නිවසේ අභ්‍යන්තරය දැකබලාගැනීම ලැබෙන හෙයින්ද මිනිසුන් එකිනෙකා සෙමින් සෙමින් පර්චස් විස්සක අල්විස් නිවසේ වත්තපිටියට රැස්වන්නට වුහ.
අසෙලි අමරාට හේත්තු වී සෝෆාවේ වාඩී වී මිදුල දෙස බලාගෙන සිටියාය. ඒ කුඩා යෞවන දෑස් තුල කිසියම් ආකාරයම බයක සළකුණක් නොතිබුණද කාංසාමය බයාදු ගතියක් පැහැදිලිව පෙනුනේය.
අවසානයේ පොලිසීය පැමිණීමෙන් පසු නාලක සහ තවත් තරුණන් කීපදෙනක් යකඩ ඉණි සහ ආයුධ වලින් දොර ගලවා ඉවත් කිරීමේ මෙහෙයුමට අවතීර්ණ විය. දොරගුලු ගැලවීම පවා සිතු තරම් පහසු වූයේ නැත. විනාඩි විසිපහකටත් නොඅඩු කාලයක් වෙහෙස වීමෙන් පසු අවසානයේ මධාරාගේ කාමරයේ දොර විවෘත විය.
දැඩි කරුවලක්ද , අධික පුස් ගඳක්ද සමඟ එක්වනම විවෘත වූ දොරෙන් කිසිවෙකුට කිසිවක් තොරාගත නොහැකි විය. අසෙලි අමරා සමඟ පැමිණ කාමරයේ විදුලි පහන දැල්වූවාය.
කාමරයේ සියලු ජනේල හොදින් වසා දමා තිබූ අතර ඝණ ජනෙල් තිරවලින් ඒවා ආවරණය වී තිබිණ.
කාමරය කලක සිට හිරු එළියට නිරාවරණය නොවීම නිසා බෙහෙත් ගඳත් පුස් ගඳත් මිශ්‍ර වී අමිහිරි ගන්ධයක් ඇති කළද කාමරයේ සියලු දේ නියමිත පිළිවලටම තිබූ බව ඕනෑ කෙනෙක්ට නිරීක්ෂණය වීය.
මධාරා සුපුරුදු ලෙසම සයනාරූඩව සිටියාය.
ඇගේ දකුණතේ ඇඟිලි වම් අතේ මැණික් කටුවට උඩින් වූ තුවාලයක් මත තබාගෙන සිටියාය. බොහෝ හිට තුවාලය කසිමින් ඇය නින්දට වැටෙන්නට ඇත.
කොණ්ඩය තදකර ගොතාගත් වනම තිබූ අතර ඇය හැද සිටියේ පිරිසිදු සුදු පසුබිමේ නිල්පැහැ මල් වැටුන රාත්‍රී නිදන ගවුමකි.
නමුත් ඇය සිටියේ නිද්‍රාශීලීවය. කිසිදු හැලහොමනකින් හෝ සෙලවීමකින් තොරවය නමුත් සන්සුන්වය.
ඇය නිසැකයෙන්ම සිහි මුර්ජා තත්වයෙන් සිටින බවක් දිස්විය.
” ඕ මයි ජීසස්” ඒ කොල්වින් මහතාය. ඔහු තමාගේ පපුව මත කුරුසය සටහන් කරගත්තේය.
” හාර්ට් ඇටෑක් එකකින් නැති වෙලාලු.. අපෝ ඇඟපුරා තිබ්බ තුවාල ගොඩ.. කුණු වෙලා මැරෙන්න ඇත්තේ ඇතුලෙන්.. ඔය ගෑනිට ඇහට්ට දැක්කේ මරණයක් විදිහටනේ අනේ.. ජීවත් වෙලා ඉද්දි දැකල නෑ… “
“ළමය නම් ආතබූත වගේ නේද?.. අපේ දූගේ අල්ලපු පන්තියෙ ඉස්කෝලෙදිත් බලාගත්ත අත බලාගෙන ඉන්නවලු.. පිස්සු ලුසී කියල කියනවලු… මම දුවට කිව්ව වැරදිලාවත් ඔයා නම් කියන්න එපා කියලා.. නිකම් හරි එකම ලේන් එකේ මිනිස්සුනේ”
අමරාට මේ ගැහැණුන්ගෙ කටවල් තැලීමට සිතේ.
“මහ ගෑනිට නම් මොනව කිව්වත් කමක් නෑ අර පොඩි කෙල්ලට” ඇය සිතින් බනින්නීය.
මරණය තිබ්බේ එකදවසක් පමණය. මරණයට ආගිය ඥාතිකම් කියමින් හදුන්වා දුන් කිසිකෙනෙකු අසෙලි මින් පෙර දැක තිබුනේ නැත.
මළගෙදර කිසිවෙකු හැඩුවේද නැත. අසෙලිට ඇඩුම් ආවේද නැත.
” hey Aseli please accept my heartiest condolences, so sorry for your loss” ජෙගන්ගේ වචනත් ඔහු තමන්ගේ දෑත් අල්ලාගනිමින් තමන් දෙස බැලූ ආකාරයත් යන අවස්තාවෙන් එපිටට අසෙලිගේ කාලය ගමන් කිරීම නැවතී තිබිණ.
ඒ තරම් උණුසුම් අතක්. ඒ තරම් ආදරයක්.
මරණයෙන් දෙදවසකට පසු ප්‍රියන්ත නැවත කල්මුණේ රාජකාරියට යෑමට අවශ්‍ය බව දන්වා සිටියේය. හත්දවසේ දානය කේටරින් එකක් මගින් පන්සලට දීමට වැඩකටයුතු යොදා ඇති හෙයින් එයට කලබල නොවිය යුතු බවද ඊළග සතිදෙක ඇතුලත නැවත කොළඹ රාජකාරී සදහා අනුයුක්ත වන බැවින් අසෙලි සමඟ ප්‍රවේසමෙන් සිටින ලෙසටද අමරාට උපදෙස් ලැබුනි.
මධාරා ඇඳ උඩම මරණයට පත්ව සිටි හෙයින්ද ගැහැණු දෙදෙනෙක් තනිව මරණයක් සිදූවූ ආසන්නයේම සිටීම සිත සසළවන හෙයින්ද නිවාස වලට මෙහෙකරුවන් ලබාදෙන ආයතනයකින් තාවකාලිකව තවත් මෙහෙකාරියක් නිවසට ලබාගන්නා ලදී.
” ඒකවත් කොලා මදැයි” අමරා හිත හදාගත්තේ එහෙමය.
දුවට මවක මිස සෑමවිටම නොපවතින න්‍යායක් බව අසෙලි තහවුරු කරමින් සිටියාය. නිවසේ ඇනුම් බැනුම් ඇය කෙරෙහි නොවරදින බවට තිබූ සහතිකය අහෝසි වී ගොසිනි.
ප්‍රියන්ත රාජකාරියට පිටවූ දා අසෙලි සීනි වැඩිපුර දැමූ තේකෝප්පයකුත් චොකලට් බිස්කට් පැකට්ටුවකුත් රැගෙන star gold චැනලයේ
“හම් ආප්කේ හේ(යින්) කෝන් ” චිත්‍රපටිය බැලුවාය. ඒ පවුලේ සමඟිය, ආදරය එකමුතුකම ගැන විස්මයට පත් වූවාය. සල්මන් ඛාන් වෙනුවට ජෙගන් ආදේශ කරගෙන බැලුවාය. ජෙගන් තමන්ව නම් කිසිම කාරණාවක් අරභයා වෙනකෙකුට නොදෙනු ඇතැයි තමන්ටම සඵත කරගත්තාය.
ගෙදර දුරකතනයේ සීමා මායිම් ඉවත්වූ බව ප්‍රත්‍යක්ෂ වූ තවත් දින කිහිපයකට පසු මුලින් ජීවන කුසලතා පොත ඇතුලට ගොස පසුව ඉතිහාසය අච්චු පොතේ පිට කවරය ඇතුලෙන් ගමනාන්තය ලගා කරගත් ජෙගන්ගේ ලා කොල පැහැති කොල කෑල්ලහි වූ අංක අසෙලි සෙමින් අංකනය කලාය.
The number you dial is not reachable Please try again later.
ඔබ ඇමතූ අංකය භාවිතයේ නොමැත. කරුණාකර පසුව අමතන්න.
සය වතාවකට වඩා අංකනය කල දුරකතනයෙන් මේ වාක්‍ය කණ්ඩයම දමිළ බසින් ඇසීමට තරම් උවමනාවක් අසෙලීට ඇති වූයේ නැත.
ඇය වැරෙන් දුරකතනය තැබුවාය.
මව මළ මොහොතේදී පවා නොවැටුන කඳුලක් අසෙලිගේ කම්බුල් තෙත් කරමින් පහලට රෝල් වී ආවේය.
අමරා කොයිලෝකෙන් සොයාගත්තාදැයි සිතාගත නොහැකි වුවත් මිදුලේ සූරියකාන්ත පැලයක් සිටුවා සාන්තු කරමින් සිටියේ මධාරාගේ ලේ විස වීම උත්සන්න වීමටත් පෙරාතුවය.
දැන් එහි පොහොට්ටුවක් පිපෙන්නට ආසන්නය.
” බබා ඔයා දන්නවද ? සූරියකාන්ත මල ඉර එක්ක ඉර හැරෙන හැරෙන පැත්තට හැරෙනවා”
අමරා කිවේ මිදුලේ බංකුව මත වාඩි වී සිටින අසෙලිටය.
” ඒ කියන්නෙ සූරියකාන්ත මල් ඉරට ආදරෙයි” අසෙලි කීවාය.
” වෙන්න ඇති බබා. මල පිපුනාම බලන්නකො බබා එයාත් හරියට ඉරේ හැඩේමයි.. හෙට උදේට පිපෙයි”
” හ්ම්ම්.. සූරියකාන්ත..” අසෙලි මිමිණුවාය.
“ඇයි මෙච්චර තදබදයක්…”
” පාලම ඉස්සරහ ඇක්සිඩන්ට් එකක්”
“කොයි පාලමද?”
” බාලිකාවට මෙහා පාලම ලග බස් එකකට හැපිලා”
” අනේ තුවාලද කාටහරි?”
“නැහැ එතනමයි. ඔලුව කුඩුවෙලා පොඩි කෙල්ලෙක්”
“දෙයියනේ”
” කෙල්ල උදේ බුදුපහන තියන්නද මන්ද අතේ සූරුයකාන්ත පොහොට්ටුවකුත් තිබ්බලු”
“දෙවියනේ”
-නිමි-
-ඉශාරා දසනායක-