එදිනෙදා ජීවිතයේදී දරුවන් සමග ගනුදෙනු කරද්දී දරුවන් මෙන්ම මව්පියන් යන දෙපාර්ශවයම පීඩාවට පත් වන මාතෘකාවක් ලෙස දරුවන්ගේ අධ්‍යාපනය හඳුන්වා දිය හැකියි. මේ ළමයා ඉගෙන ගන්න කිසිම උනන්දුවක් නැහැ කියන වාක්‍යය අම්මා තාත්තාගේත් කටින් පිටවෙන්නේ ඔවුන්ව නොදැනුවත්ව වීමට තරම් එය පවුලක් තුළ ගැටලුවක් වෙලා අවසන්. ඇතැම් අවස්ථාවලදී දරුවා මහන්සි වුවත් ඉගෙනීම වෙනුවෙන් කැප වුවත් ඒ තරමට ප්‍රතිඵල දරුවාට හිමි නොවනා වෙන්නත් බැරි නැහැ.
වෛද්‍යතුමනි, මනෝ විද්‍යාවට අනුව අධ්‍යාපනය යනු කුමක්ද?
මෙය ලෝකයේ ඉතා පුළුල් ලෙස දකින කාරණාවක්. අධ්‍යාපනය තුළි අපි කවුරුත් බලාපොරොත්තු වන්නේ සමාජය තුල යහපත් පුරවැසියෙක් බිහිකිරීමයි. බර්ටම් රසල් කියන දාර්ශනිකයා දක්වන් අදහස වන්නේ විද්‍යාව යම්තාක් දුරට දියුණුවන්නේද ප්‍රඥාවද ඒ හා සමානව දියුණුවිය යුතුය. යම්තාක් දුරකට එය එසේ නොවන්නේද ඒ හා සමානව විද්‍යාව මිනිසාට අහිතකරය යන්නයි. කෙටියෙන් සඳහන් කළොත් විද්‍යාවෙන් සකසා දෙන ආයුධය කෙසේ භාවිත කළ යුතුද යන්න අපට කියා දෙන්නේ ප්‍රඥාව තුලිනුයි. මේ ආකාරයට අධ්‍යාපනය පිලිබදව විවිධ නිර්වචන තියනවා.
මනෝවිද්‍යාත්මක පැත්තෙනුත් ඒ ආකාරයේ බොහෝ නිර්වචන පවතිනවා. මහාචාර්ය රෝලන්ඩ් අබේපාලයන්ගේ පොතක සඳහන් වන ආකාරයට අධ්‍යාපනය යනු කිසියම් රටක සමාජ ක්‍රමය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා, ස්වකීය අනාගතය පරපුරට පවරා දීමට තෝරාබේරා ගත් ඥාන සම්බාරයයි. එහි ඇති වැදගත් කරුණ වන්නේ රටක සමාජ ක්‍රමය අඛන්ඩව පවත්වාගෙන යාමට නිශ්චිත ක්‍රමයක්, දැනුම් සම්බාරයක් දරුවන්ට පැවරෙන අතරම ඒ සමාජ ක්‍රමය ඇතුලෙ සාරදර්ම, සංස්කෘති, යහපැවැත්ම, රාජ්‍ය පාලනය ආදී කාරණා රාශියක් ඇතුළත් වන බවයි. මේ සමාජ ක්‍රමය පුරවැසියාට යහපත්, හිතකර විදියට රැගෙන යාමට අවශ්‍ය මූලික කාරණා අධ්‍යාපනයේ මූලික පරමාර්ථය ලෙස හැඳින්විය හැකියි. ඒ ගනුව ගත් විට අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ සාර්ථක පුරවැසියෙකු බිහිකිරීමයි.
සාර්ථක පුරුවැසියෙක් බිහි කිරීම යන කරුණ තුළ අධ්‍යාපනය විසින් කළ යුත්තේ කුමක්ද?
දරුවෙක් මෙලොවට බිහිවෙද්දී ඒ දරුවාගේ මොළය හිස්. ස්නායු විද්‍යාවට අනුව වයර් කෑලි වගේ දේවල් ටිකක් පමණක් ඒ තුළ තියෙන්නේ. අපි ඒවා නියුරෝන ලෙස හඳුන්වනවා. මේවා තුළ සදාචාරය, සංස්කෘතිය කියන කරුණු කිසිවක් අන්තර්ගත නැහැ. නමුත් ඒ කරුණු ගොඩ නැගීමට අවශ්‍ය විභවය ඒ තුළ පවතිනවා. දරුවෙක් මේ ලෝකයට බිහිවන්නේ කුසලතා විශාල ප්‍රමාණයක් ගොඩනැගිය හැකි විභවයක් මොළය තුළ තබාගෙනයි. අන්න ඒ දරුවා රැගෙන එන විභවය තුළ අප විසින් නිවැරදිව ගොඩ නැගිය යුතු කරුණු රැසක් පවතිනවා. ජානමය වශයෙන් ගත්තොත් මේ විභවය තුළ උස යාම සම්බන්ධව ජානමය වශයෙන් විභවයක් චරුවා රැගෙන එනවා. ඒ වගේම භාෂා කුසලතාවයන් ඇතුළු විවිධ දේ සඳහා දරුවා තුළ විභවයන් පවතිනවා.
උදාහරණයක් ලෙස දරුවාගේ පියා සංගීතය පිලිබඳ දක්ශයෙක් නම් ඔහුගේ දරුවන් තුලත් ඒ සංගීතමය හැකියාව වර්ධනයට අවශ්‍ය ජානමය විභවතා පවතිනවා. එතැනදී දරුවාට ඒ වටපිටාව සැකසුණොත් දරුවා ක්ෂණිකව එයට යොමු වෙනවා. උපතේදීම අපේ මොළය යම් යම් දේ ගොඩනගා ගැනීමට අවශ්‍ය ජානමය විභවතාවන් (Potential) සහිතව පැමිණෙන බව කිව යුතුයි. වැඩිහිටියන් ලෙස අප කළ යුතු වන්නේ ඒ සඳහා අවශ්‍ය සාධනීය පරිසරය ලබා දීමයි.
ඒත් දරුවන්ට හිමිව තිබෙන විෂය නිර්දේශයන්ට අනුව ඔවුන්ගේ දක්ෂතා අනුව කටයුතු කිරීමට ලැබෙන අවස්ථාව අවමයි නේද?
අනිවාර්යෙන්ම. ඒක අපේ අම්මලා තාත්තලා වැඩි අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක්. බොහෝ දෙනෙක් හිතන්නේ දරුවාට විෂය කරුණු ලබාදීම ඇර වෙනත් දෙයක් නැහැ කියලා. අද වෙද්දී විද්‍යාව, ගණිතය වගේ විවිධ විෂයයන්වලට මුල් තැන දෙන්න අපේ මව්පියන් හුරු වෙලා. මේ විදියට විෂය කරුණු දරුවන්ට පෙවීම වෙනුවෙන් දැන් වෙළඳ පොක් නිර්මාණය වෙලා කිව්වොත් නිවැරදියි. පෞද්ගලික පන්ති මේ තරම් ප්‍රමාණයක් විවෘතව ඇත්තේ ඒ නිසයි. ඒක ඉතාම ඛේදනීය තත්ත්වයක් විදියටයි මම දකින්නේ.
ඒ කියන්නේ දරුවෙක්ට විෂය කරුණු ඉගැන්වීම නුසුදුසුද ?
අත්‍යවශ්‍යයි. විෂය කරුණු දැනගැනීම තුල මොළේ යම් වෙනසක් වෙනවා. මොකද මේ විෂය කරුණු වල තියෙන්නෙ ලෝකෙ සිදුවන දේවල්වල යතාර්තය. විද්‍යාව, ආර්ථිකය, භූ ගෝලය, දේශපාලනය වැනි විෂය කරුණු දරුවෙක් දැන ගත යුතුයි. ඒත් විෂය කරුණු ගැන දැනුවත් වූ පමණින් සාර්ථක දරුවෙක් බිහි වෙනවා කියන කාරණය ගැන විශ්වාසය තැබිය නොහැකියි.
අපේ රටේ අධ්‍යාපනය යම් රාමුවකට නාභිගත වෙලා තිබෙනවා. උදාහරණයක් විදියට මායිම් ගම්මාන ගත්තොත් බොහෝ විට කියන්නේ ඒ පැතිවල ප්‍රතිඵල මදියි ඒවා වැඩි කළ යුතු බව කියනවා ඒ වගේම වැඩිම ලකුණු ගත් දරුවන් මාධ්‍ය රට ඉිදිරියට රැගෙන එනවා. අන්න ඒ විදියට අධ්‍යාපනය, ප්‍රතිඵල මතම තීරණය වන්න පටන් අරගෙන. ඒත් දියුණු රටවල ගත්තොත් දරුවෙක්ගේ ප්‍රතිපල ලබාදෙන්නේ තැපැලෙන්. නමුත් අපේ රට තුළ ප්‍රතිඵල මතම යැපෙමින් ඒ මගින් තරගකාරීත්වයක් ගොඩනගලා හොඳම ප්‍රතිඵල ලබා ගන්නේ කියන අදහස ඇතිව තරගකරුවන් රැසක් බිහිකර අවසන්. ඒ නිසා අද වෙද්දී අධ්‍යාපනය කියන්නේකරගයක් බවට පත්වෙලා. අන්න ඒ තරගකාරී අධ්‍යාපන රටාව තුළ බිහි වෙන්නේ අසහනය සහිත දරුවෝ පිරිසක්. එය සමාජයට බලපාන කරුණක්. නමුත් අධ්‍යාපනය කියන්නේ සමාජය සුවපත්ව පවත්වා ගැනීම. මනෙ නමුත් මේ ක්‍රමෙන් වෙන්නෙ සමාජ අසහනය ඉහල යන එක. කිසිවෙකුටත් උදුරාගත නොහැකි සම්පතක් ලෙස හඳුන්වන අධ්‍යාපනය සමාජ අසහනය ඇති කිරීමට හේතුවක් බවට පත් වන්නේ මේ තරගකාරීත්වය නිසයි.
වෛද්‍යතුමනි, එසේ නම් මේ අධ්‍යාපන ක්‍රමය අසාර්ථකද?
ඔව්.. උදාහරණයක් විදියට උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වූ විගස බොහෝ දරුවන් පිරිසක් මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ආකාරය මම මගේ අත්දැකීමෙන් දකිනවා. මොකද ඒ දරුවන්ගේ බලාපොරොත්තු කඩ වෙලා. නොසිතූ ප්‍රතිඵලයක් ලැබිලා. අම්මා තාත්තා අහන්නෙත් හොඳන වැඩ කළා නම් ප්‍රතිඵල මෙහෙම වුණේ කොහොමද කියලා. ඒත් මව්පියන් වැඩිහිටියන් ලෙස අපිත් වටහා ගත යුතු කරුණු රැසක් මෙතැනදී තියෙනවා. අධ්‍යාපනයෙන් ඉහළටම යා හැකි වන්නේ ඉතාම සුළු පිරිසකට බව අද ලෝකය පිළිගන්න කරුණක්. අනෙක් පිරිසටත් තමාට ඉහළට යා හැකි හැකියාවන් බොහොමයක් තිබෙනවා. ඉගෙනීමට දක්ෂ දරුවෝ ඒ පැත්තෙන් ඉදිරියට යද්දී අනිත් දරුවන්ට ඔවුන්ගේ විභවයෙන් ඉදිරියට යාමට එය මතුකර ගැනීමට සහය ලබා දිය යුතුතේ දෙමාපිය වැඩිහිටියන් විසින් බව අමතක කරන්න එපා.
සියලුම දෙනා දැනුම ගොඩ නැගිය යුතු නැහැ. බොහෝ දෙනා අවශ්‍ය වෙන්නේ ලෝකය ගොඩ නැගීමටයි. ආහාර නිශ්පාදනයට, යන්ත්‍ර නිශ්පාදනයට, ඇගලුම් නිශ්පාදනයට වගේ ගොඩක් දේවල් වලට දක්ෂයින් අවශයි. ගණිතය, ඉංග්‍රීසි වගේ විෂයයන් නොහැකි වීම නිසා අද සමාජයේ කෙතරම් දක්ෂයින් පසුබෑමට ලක්ව සිටිනවාද? ඒ අපේ සමාජය තුළ අපේ වැඩිහිටියන් තුළ පවතින මත නිසයි. ඒ දරුවන්ට ඔවුන්ගේ හැකියාවෙන් ඉදිරියට යන්න අවස්ථාව අහිමි වන නිසයි. දරුවෙකු සතු හැකියාව එක එක පුද්ගලයන්ගෙන් පුද්ගලයාට පිහිටා ඇත්තේ එක එක විදියට, එක එක හැඩයට, එක එක් තැන්වලින්. ඒ එක එක තැන්වල එක ස්වරූපයන්ගෙන් පිහිටලා තියන විබවය මතුකිරීම අධ්‍යාපනයේ පරමාර්තයක්.
ඒත් දරුවෝ ඉගෙන නොගන්නේ උනන්දු නැති නිසා කියලා මව්පියන් තරයේ විශ්වාස කරනවා නේද?
ඒක අපේ සමාජයේ තියෙන වැරදි මතයක්. හැම අම්මා කෙනෙක්ම හිතනවා මේ ළමයා හිතුවොත් උනන්දු උනොත් මේ වැඩේ කරගන්න පුලුවන් කියලා. අපිට පුළුවන් දරුවෙකුගේ බුද්දි මට්ටම පරීක්ෂා කරන්න. ඒ සදහා උපකරණ තිබෙනවා. දරුවෙකුගේ හැකියාව පවතින්නේ ඒ දරුවාගේ බුද්ධි මට්ටම අනුව බව දෙමාපියන් වටහා ගත යුතුමයි. බුද්ධි මට්ටම අඩු දරුවෙකුට අම්මා බලාපොරොත්තු වෙන උපරිමය ලබා දෙන්න නොහැකි වීම අම්මා වටහා ගත යුතුයි. දරුවන්ට විෂය කරුණු ලබා දීම මනා ශාස්ත්‍රීය දැනුමක් සහිතව ඉතාම පරිස්සමින් කළ යුතු කාරණාවක්.
දරුවෙක් ඉගෙනීමට අදක්ෂ වීම මව්පියන්ට යම්තාක් දුරකට වේදනාවක් නේද?
වෙන්න පුළුවන්. ඒත් එ දරුවා වෙනත් දෙයක් හා සම්බන්ධව අති දක්ෂයෙක් නම් අපේ මව්පියන්ට ඒ ගැන සතුටු වෙන්නත් ඒ වෙනුවෙන් සහය වෙන්නත් බැරි ඇයි? සංගීතයට, නර්තනයට එහෙමත් නැත්නම් කාර්මික අංශයට ඒ දරුවා අති දක්ෂයෙක් විය හැකියි. අන්න ඒ නිසා දරුවෙකුට විෂය කරුණු පෙවීමට පෙර දරුවා හොඳින් වටහා ගෙන ඉතා සූක්ෂමව ඒ දරුවාට හැකියාව ඇති මගට යොමු කිරීමට තරම් දෙමාපියන්න සාර්ථක විය යුතුයි. එසේ නැතිනම් එවැනි දෙමාපියන් සමාජයට දායාද කරන්නේ අසහනයෙන් පිරුණු දරුවෙක් බව අමතක කරන්න එපා.
දරුවෙකුට විෂය කරුණු ලබාදීම පමණක් අධ්‍යාපනය නොවේ නම් අධ්‍යාපනයට ඇතුළත් විය යුතු අනෙක් කරුණු මොනවාද?
ඔව්. එතැනදී වටිනාකම් පද්ධතියක් අපි දරුවන් තුල ගොඩනැගිය යුතුයි. විශය කරුණු ලබා දෙනවා වගේම එයත් විශාල ව්‍යාපෘතියක් විදියට හඳුන්වන්න පුළුවන්. සදාචාරය, සංකල්ප වැනි දේවල් දරුවෙක් තුළ ඉබේ ඇති වෙන්නේ නැහැ. විෂය කරුණු වලට වගේම ඒ වටිනාකම්වලටත් අපි යම් වහෛසක් දැරිය යුතුයි. දරුවෙකුට දවසේ පැය 15ක් පමණ විෂය කරුණුම ලබා දීලා ඒ දරුවාට අවුරුදු 18ක් වගේ වෙද්දී වටිනාකම් සෙවීමේ ඵලක් නැහැ.
අද අපේ සමාජයෙන්ම උදාහරණ ගත්තොත් තරුණ දරුවෙක් විවාහ වෙද්දී වටිනාකම් දෙන්නේ මොනවගේ දේවල්වලටද කියලා හිතලා බැලුවොත් සාමාන්‍යයෙන් නම් විවාහ වෙලා ප්‍රශ්න සතුටිනි නිරාකරණය කරගෙන දරුවන් හදාගෙන ඉිදිරියට යාමක් වුවත් අද වෙද්දී දරුවෝ ප්‍රී ෂූට් වගේ දේවල්වලට විශාල තැනක් වටිනාකමක් ලබා දෙනවා. අන්න එතැනදී අපිට අවබෝධ කරගත හැකියි අධ්‍යාපනයට වටිනාකම් එකතු නොකිරීම නිසා ඇති වන ගැටලු මොනවද කියලා. ඒ විතරක් නෙවෙයි අද වෙද්දී මුදලට කළ නොහැකි දෙයක් නැහැ. මේ කරුණු අද වෙද්දී අපේ සමාජයෙන් ගිලිහී යනවා. එය රටක් ලෙස සමාජයක් ලෙස පවුලක් ලෙස මව්පියන් දෙස මෙන්ම දරුවන් ලෙසත් අපේ අවාසනාවක්.
එසේ නම් දරුවන්ට අපි ලබා දිය යුත්තේ මොනවාද?
ජීවන කුසලතා. අද වන විට ලෝකයේ නව සොයා ගැනීම් අතර 4H model of life skills කියන දේ කතා වෙනවා. එහිදී H හතරක කුසලතා ඒ කියන්නේ,
- හෘදය ආශ්රිත කුසලතා (HEART)
- අත ආශ්‍රිතව තියන කුසලතා (HAND)
- ඔලුව ආශ්රිත කුසලතා (HEAD)
- සෞඛ්‍ය ආශ්රිත කුසලතා (HEALTH)
රිය පැදවීම කුසලතාවයක්. මොකද අපි උපතින්ම ඒ දේ රැගෙන එන්නේ නැහැ. මෙන්ම මේ විදියට අපි රිය පැදවීමේ කුසලතාවය ප්‍රගුණ කළත් අපි ආවේග පාලන කුසලතාව දියුණු කරලා නැතිනම් ඒ කා්ර්යය සමාජයට පමණක් නොවෙයි අපේ ජීවිතවලටත් ගැටලු ඇති කරනවා. එතැනදී අපි දරුවෙකුට ජීවත් වීමට අවශ්‍ය මූලික කුසලතා (soft skills) දියුණු කර ගැනීමට මග පෙන්වීම ඉතාම වැදගත්. එතැනදී කෙනෙක් එක්ක ගණුදෙණු කරන්න, කෙනෙක් එක්ක කතාකරන්න, ඉදිරියට යන්න අවශ්‍ය කුසලතා තියනවා. ඒ හැම කුසලතාවයක්ම දියුණු කළ යුතුයි. අන්න ඒ වෙනුවෙන් විභාග ප්‍රතිඵල ඉහළ නිංවිම කියන අදහසින් ඉවත් වෙලා සමස්ත පුරවැසියා හැදීම කියන මූලික ව්‍යාපෘතියට අධ්‍යාපන අමාත්‍යාංශය අවතීර්ණ විය යුතු කාලය දැන් එළැඹ තියෙනවා කිව්වොත් නිවැරදියි. එසේ නොවන්නට අපි එය අනාගත දරු පරපුර වෙනුවෙන් සිදු කරන අසාධරණයක් වනු ඇත.
වෙද්‍යතුමනි අධ්‍යාපනයේ සැබෑ පරමාර්ථය කුමක්ද?
අධ්‍යාපනයේ සැබෑ පරමාර්තය සංස්කෘතිය පැවරීම දැක්විය හැකියි. ශ්‍රී ලංකාව කියන්නෙ වැඩිහිටියන්, මව්පියන් රැකබලා ගැනීම,දරුවන් රැකබලා ගැනීම, ආහාර රටාව ඇදුම් රටාව ගත්තත් ඉතාම ශ්‍රේෂ්ඨ සංස්කෘතියක ගති ලක්ශණ වලින් පෝෂිත රටක්. අපේ භාෂාව,සිරිත් විරිත් කියන මේ සියලුම කරුණුවලින් පෝශණය වෙච්ච සංස්කෘතිය පැවරීම කියන එක අධ්‍යාපනයේ පරම පරමාර්ථයක්. ඒත් අපි බටහිර සංස්කෘතියේ විවිධ විකෘතිතා වැලඳ ගැනීම නිසා සංස්කෘතිය පැවරීම අසාර්ථකයි.
සංස්කෘතිය තුලින් අපේ දරුවන් ආරක්ෂා වෙනවාද?
මෙතැනදී සදාචාර සංවර්ධන කියන කාරණාව ඉතාමත් වැදගත් වෙනවා. සදාචාරය, අවදි 3ක් යටතේ සාකච්ඡා කළ හැකියි.
- සදාචාරාත්මක දැනුම – ගැබැනි මවක් බසයට නැග්ග විට ඉඩ දිය යුතුයි කියන දැනුම අපට තියෙනවා. ඒ දැනුම අපි අපේ දරුවාට ලබා දිය යුතුයි.
- සදාචාරාත්මක හැගීම – පළමු කරුණ වුණු සදාචාරාත්මක දැනුම, හැගීමක් බවට පත් වෙනවා
- සදාචාරාත්මක චර්යාව – දැනුම හැඟීමක් බවට පත් වීමෙන් පසුව එය ක්‍රියාවක් බවට පත් වෙනවා.
මේ කරුණු තුනම පෝෂණය වීම සදාචාර සංවර්ධනය ලෙස හඳුන්වනවා. අවාසනාවකට අපේ රටේ අධ්‍යාපනය විෂය කරුණුවලට පමණක් සීමාවී තිබුණත් සාර්ථක පුරවැසියෙකු බිහි කිරීමට විෂය කරුණු ඉගැන්වීම හා සමාන විශාල ව්‍යාපෘතියක් ලෙස මේ සදාචාර සංවර්ධනය කිරීමත් වැදගත් වෙනවා.
විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන
මහනුවර ශික්ෂණ රෝහලේ ස්නායු හා ශල්‍ය වෛද්‍ය, දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිළධාරී