- Advertisement -

මාගේ නූපන් දරුවාට මා ඇසීමට සැලැස්විය යුත්තේ කුමන සංගීත වර්ගයක්ද?

-

සංගීතය මිනිසාගේ මනස සංසිදුවන අතර අපට මතක ඇති කාලයක සිට මිනිසා පීඩාව හා දොම්නස නැති කිරීමේ පරිපූර්ණ සුවදායි අංගයක් ලෙස සංගීතය භාවිතා කර ඇත.
මවක් වශයෙන් මා, මාගේ දරුවන් නිදි කරවීම සඳහා හිත සන්සිඳවන වේගය අඩු රිද්මයක් ඇති සම්භාවනීය ශ්‍රී ලාංකික සංගීතය ඇසීමට සැලැස්වූ අතර එය බොහෝ අවස්ථාවලදී සාර්ථක වී ඇත. දරුවා එක්තරා සංගීත මාදිලියකට බෙහෙවින් ප්‍රතිචාර දක්වන බව මට ඉතා ඉක්මනින් වැටහිණි. මාගේ පුතා, ඔහු වැඩෙන වයසේ පසුවන සමයේදී, අඩු වේග රිද්මයක් ඇති පැරණි සංගීතයට මැනවින් ප්‍රතිචාර දැක්වූ අතර, විමතියට මෙන් මාගේ දෙවන ගැහැණු දරුවා රූපවාහිනියේ හා ගුවන් විදුලියේ වාදනය වූ වැඩි වේග රිද්මයක් ඇති ගීතවලට ප්‍රීතියෙන් ප්‍රතිචාර දක්වන ලදී. අප නිවසේදි, ළමුන්ගේ මනස එක්තැන් කර ගැනීමේ ක්‍රමයක් ලෙස තවමත් සංගීතය භාවිතා කරනු ලබනවා. මෙය අපට අත්දුටු හා ප්‍රත්‍යක්ෂ වූ ප්‍රතිකාරයක් විය.

මීට සති කිහිපයකට පමණ පෙර මා රූපවාහිනියේ නාලිකාවන් ගවේෂණය කරමින් සිටි විට අහම්බෙන් මෙන් Discovery Science නාලිකාවේ ඉතා සිත්ගන්නා සුලු වැඩ සටහනක් බැලීමට හැකි විය. එහිදී සාකච්ඡා වූ කරුණ අනුව මෑතකදී කරන ලද සමීක්ෂණයකින් හඳුනාගෙන ඇති පරිදි ගර්භණි කාලයේදි, සම්භාවනීය පැරණි සංගීතයට සවන් දුන් මව්වරුන්ගේ දරුවන් බුද්ධිමත් වීමේ ප්‍රවණතාවක් ඇති බවයි. ගර්භාෂය තුල සිටින සමයේදීත් දරුවා සමඟ සන්නිවේදන කටයුතු වල යෙදීම හොඳ යහපත් දරුවෙකු බිහි කිරීමට උපකාරි වන බව ශ්‍රී ලාංකික අප විශ්වාස කරන නිසා එය අපට පුදුමයට කරුණක් නොවීය.

- Advertisement -

මෙය පරම්පරාවෙන් පරම්පරාවට පැවතී ගෙන එන ඥානයකි. මෙම විශ්වාසය ඉහත සඳහන් කෙරුණු සමීක්ෂණයෙන් වැඩි දුරටත් තහවුරු වේ. මා පළමු වරට ගර්භණිභාවයට පත්වූ අවධියේ මාගේ ස්වාමි පුරුෂයා පැරණි රූපවාහිනි වෙළඳ දැන්වීමක (පියකු සිය පුතුට ගායනා කල ) කන්කළු සිංහල ගීතයක් ගායනා කල සැටි මගේ මතකයට නැගේ. ඔහු මෙම ගීතය ගායනා කල සෑම අවස්ථාවකම ගර්භාෂය තුල සිටින දරුවා එයට ප්‍රතිචාර දැක්වූවේය. පුතා ඉපදීමෙන් පසුවත්, අපි මෙම ගීතය දරුවාව නිදි කරවීම සඳහා ගායනා කලෙමු. දරුවා මෙම ගීතයට දක්වන ප්‍රතිචාරය අප විසින් ගායනා කරන ලද හෝ ගායනා කිරීමට සැලැස්වූ අනිකුත් ගීත වලට වඩා වැඩි බට අපට අවබෝධ වුණි. හෙල්සින්කි විශ්ව විද්‍යලයේ පවත්වන ලද සමීක්ෂණයකට අනුව දරුවන්ට ඔවුන් ගර්භාෂය තුල සිටින කාලයේ ඇසීමට සලස්වන ලද සංගීතයේ තාලය එම දරුවා මෙලොව එලිය දැක මාස කිහිපයකට පසුත් ඔවුන්ගේ මතකයේ රැඳෙන බව සොයා ගෙන ඇත. එම සමීක්ෂණයෙන්ම අනාවරණය කර ඇත්තේ, මව්වරුන් වීමට නියමිත කාන්තාවන් තම කුසෙහි වූ දරුවාගේ අභිවෘද්ධිය ප්‍රගුණ කිරීමේ බලාපොරොත්තුවෙන් පැරණි සම්භාවණීය සංගීතයට ඇල්මක් දැක්වීම නිශ්ඵල කාර්යයක් නොවන බවය.
දරුවා ඉපදීමට පෙර දරුවාට නිතර නිතර ගීතය ගායනා කිරීමේ හෝ වාදනය කිරීමට සැලැස්වීමේ තරමට දරුවාට එහි තාලය හඳුනා ගැනීමේ හැකියාව වැඩිවනු ඇත. ගර්භණි කාලය තුල ඔබ සැහැල්ලුවෙන් පසුවීම සඳහා සංගීතයට සවන්දීම, ඔබේ දරුවාටත් උපකාරි විය හැක. ගර්භණී අවධිය තුල ඔබ ආතතියෙන් පසුවන විට ඔබේ කුසෙහි සිටින දරුවාටත් එලෙසම හැඟෙන බැවින් ඔබගේ ප්‍රියතම ගීත වලට සවන් දීමට කාලය වෙන් කර ගන්න.
අමරදේව, නන්දා මාලිනි සහ වික්ටර් රත්නායක විසින් ගායනා කරන ලද සම්භාවනීය ගීත වලට වැඩියෙන් සවන් දීමට මම පුරුදු වී සිටියෙමි. “ආදරයේ උල්පත වූ අම්මා යන ගීතය මව් පදවියට පිය නගන අවස්ථාවේ පසුවන කෙනෙකුට කදිම තාලයකි. දේශීය සම්භාවනීය ගීත හැරුණු කොට මෝට්සාට් (Mozart) සහ බීතෝවන් (Beethoven) වැනි තවත් බොහෝ බටහිර සංගීතඥයින්ගේ සම්භාවනීය නිර්මාණ වලට සවන්දීමට උත්සාහ ගන්න.

ඔබ කුමන මාදිලියේ සංගිතය තෝරා ගත්තද එය ගර්භණි කාලය තුල ඔබගේ මනස සැහැල්ලුවෙන් තබා ගැනීමේ මනා ප්‍රතිකාරයක් ලෙස කටයුතු කරයි. සතුටින් සහ සැහැල්ලුවෙන් පසුවන මවකට සැමවිටම සතුටින් සහ සැහැල්ලුවෙන් සිටින දරුවකු බිහි කල හැක්කේ ඒ නිසාවෙනි. සමහර බටහිර සම්භාවනීය සංගීත BeeMp3 හෝ 4Shared වැනි වෙබ් අඩවි ඔස්සේ ඔබට නොමිලේ ලබා ගත හැක. 60, 70 සහ 80 දශකයේ සිටි ජනප්‍රිය ගායකයන්ගේ පැරණි සම්භාවනීය ගීත සමූහයක් Ananmanan.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගැනීමට උත්සාහ කර බලන්න.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article