- Advertisement -

සුපිරි වෙළඳ සැලේ සෙල්ලම් බඩු ඉල්ලා දරුවා කරදර කරන අවස්ථා සමඟ කටයුතු කරන ආකාරය

-

භාණ්ඩ වලට මිලක් හා වටිනාකමක් ඇති වබ ඔබ දරුවාට කියා දී ඇත්ද?

මුදල් ඉපයීම පිටුපස ඇති වෙහෙස සහ සංකීර්ණ කාර්ය භාරය වැඩිහිටියන් ලෙස අප හොඳාකාරව දනිමු. කුමන දේ මිලදී ගත යුතුද හා මිලදී ගැනීමෙන් වැලකීය යුතු අනවශ්‍ය දේ කුමක්ද යන්න අප අවබෝධ කර ගෙන ඇත. පන්සියේ හා පන්දාහේ නෝට්ටුවේ වෙනස හරි හැටි නොදත් කුඩා දරුවෙකු ඇයට අවශ්‍ය දේ ඉල්ලා සුපිරි වෙලඳසැලක හඬා වැලපෙන්නේ ඇයි යන්න දැන් ඔබට වැටහෙනවා ඇති. කුඩා දැරියක් ලස්සන බෝනික්කෙක් දැක එය ඉල්ලා බැගෑපත් වූ විට ඊට මව හෝ පියා “, නෑ නෑ, ඒක හරි ගණන්” ලෙස පිළිතුරු දුන් විට ඇයට “ගණන්” යනු කුමක්ද කියා හරිහැටි තේරෙන්නේ නැත. දරුවන් ඔබ සතුව මුදල් ඇති බව හොඳින් දනියි. එහෙත් ප්‍රමාණවත් ලෙස මුදල් නැති බව ඔවුන් නොදනියි.

- Advertisement -

පහත දැක්වෙන්නේ මුදල් වල වටිනාකම දරුවන්ට කියා දීම සඳහා ඔබට අනුගමනය කල හැකි හොඳ මාර්ගයකි. විව්ධ වටිනාකමකින් යුත් කාසි මල්ලක් දරුවාට දෙන්න. ඉනපසු ඔවුන්ට එය වර්ගය හා ප්‍රමාණය අනුව අසුරන්න කියන්න. දැන් එම එක් එක් ඇසිරීම් වල වටිනාකම දරුවාට පවසන්න. එකම උස සහිත රුපියල් පහේ කාසි කුලුණ රුපියලේ කාසි කුලුණට වඩා වටිනාකමෙන් වැඩි බව පහදා දෙන්න.

වටිනාකමකි යුත් භාණ්ඩ හා නොමිලේ ලැබෙන දේවල් අතර ඇති වෙනස දරුවන්ට පහදා දෙන්න. කඩයේ ඇති සෙල්ලම් බඩුව වටිනාකමක් ඇති භාණ්ඩයකි.නමුත් තාත්තා සමඟ ක්‍රිකට් ගැසීම නොමිලේ කල හැකි ක්‍රියාවකි. එහෙත් එයින් දරුවාට ප්‍රීතියක් හා විනෝදයක් ලැබේ. අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස දරුවාට කුඩා කාලයේදීම පහදා දෙන්න. ඒ සමඟම සියලුම දේ මුදලින් ඇගයීම කිසිවිටෙකත් නොකිරීමට ඔබ වග බලා ගත යුතුයි. මේ නිසා ඔබ දරුවාට නොමිලේ භුක්ති විඳිය හැකි ප්‍රීතිය හැකි උපරිම අයුරකින් ලබා දිය යුතුයි. මේ මඟින් ඔබේ දරුවා ජීවිතයේ නොමැකෙන වැදගත් මතකයන්, සෙල්ලම් බඩුවලට වඩා වටින බව තේරුම් ගනියි. තවද මෙය අවබෝධ කරගත් කුඩා දරුවා සුපිරි වෙළඳසැලේ අවශ්‍ය සියලුම දේ ඉල්ලා කරදර නොකරනු ඇත.

සාමාන්‍යයෙන් වයස අවුරුදු 3-4 ත් කාලයේදි දරුවන් මෙසේ සුපිරි වෙළඳසල් වල සෙල්ලම් බඩු ඉල්ලා කෑ මොර දෙයි. මට මතකයි මගේ පුතා අවුරුදු 4 දි පමණ බැටරියකින් ක්‍රියාත්මක වන ධාවනය කල හැකි මෝටර් රථයක් ඉල්ලා බැගෑපත් විය. ඔහු මෙය ඉල්ලීමට හේතුව තම මිතුරකුගේ උපන්දින සාදයකදී මෙවැනි කාරයක් දැක තිබීමයි. නමුත් වගකීමකින් යුක්ත දෙමාපියන් ලෙස අප රු. 20,000 පමණ වටිනා එවන් සෙල්ලම් බඩුවක් මිලදී ගැනීමට තරම් අඥාන නොවීමු. එම මුදල දරුවාගේ අනාගත වියදම් සඳහා ඉතුරුම් ගිණුමක තැන්පත් කිරීම දරුවාට කරන යහපතකි. මෙසේ ඉල්ලන සියලු දේ ලබා දීමෙන් දරුවාව කෑදර බවට පත් නොකරන්න. අප ක්‍රමක්‍රමයෙන් පුතාව විද්‍යාත්මක අත් හදා බැලීම් හා කියවීම සඳහා නැඹුරු කලෙමු. දැන් ඔහු, ඉතිරි කර ගන්නා මුදල සෙල්ලම් බඩු වෙනුවට විද්‍යාත්මක පර්යේෂණ ගැන ලියවුණු පොත් මිලදී ගැනීම සඳහා යොදා ගනියි. අවුරුදු 8ක් වන මගේ පුතණුවන්ට දැන් ඔහුගේ දෙමාපියන්ට මිලදී ගත හැකි හා නොහැකි දේ පිලිබඳ මනා අවබෝධයක් ඇත. අප පුතාගෙන් ඉගෙන ගත් දෑ අපගේ තුන් හැවිරිදි දියණිය සමඟ කටයුතු කිරීම සඳහා මහඟු පිටිවහලක් වී ඇත.

තම දරුවා ඉල්ලන සියලුම දෑ ලබා දීම හොඳ දෙයක් බව බොහෝ දෙමාපියන්ගේ මතයයි. ඔවුන් එසේ කරන්නේ දරුවාට තෘප්තිමත් කිරීමට වඩා ඔවුන් ආර්ථික වශයෙන් ඉහල තත්ත්වයක සිටින බව පෙන්වීමේ පෞද්ගලික ආශාව සනසා ගැනීම සඳහායි. (මගේ දරුවා මගෙන් බලාපොරොත්තු වන සියලුම දෑ ලබා දීමට තරම් මා ආර්ථික වශයෙන් ශක්තිමත් ස්ථානයක සිටින්නෙමි.) මා මෙය දකින්නේ ඉතා නරක පුරුද්දක් ලෙසටයි.ඔබට කෙතරම් මුදල් තිබුණත්, දරුවා ඉල්ලන සියලුම සෙල්ලම් බඩු ලබා දීම ඔහු තුල මුදල් හා බලය පිළිබඳ අයහපත් ආකල්ප ඇති කිරීමට මඟ පාදයි.

ඊලඟ පාර, ඔබගේ දරුවා සමඟ සුපිරි වෙළඳසැලට යන විට භාණ්ඩ වල මිල ගණන් සහ ඔවුන්ගේ ප්‍රියතම සෙල්ලම් බඩුවේ වටිනාකම පවසන්න. ඔබ එයට මුදල් ගෙවීමේදි දරුවාට ඒ දෙස බලා සිටින්නට ඉඩ දෙන්න.ඔබ මුදලින් ගෙවීම් කටයුතු කරනවා නම්, මුදල් භාර දීම හා ඉතුරු ලබා ගැනීමට දරුවන්ට අවකාශය සලසන්න. ඒ අතරම, ඔවුන්ගේ පෞද්ගලික කැටයේ මුදල් ඉතිරි කිරීමට දරුවන්ව දිරිමත් කරන්න.

ArticleBanner01

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article