- Advertisement -

මව්වරුනි…ඔබ​, ඔබේ රැකියාව අත් හැරියත්, ඔබ තුල ඇති ශක්තිය අත් නොහරින්න​

-

මාව වරදවා වටහා නොගන්න​. මෙම ලිපිය ලිවීමේ මූලික අරමුණ, දැනට රැකියාවේ නියැලෙන මව්වරුන්ට රැකියාව අත් හැරයාම සඳහා අනුබල දීමකට නොවේ. මෙය මා ලියන්නේ දැනටමත් තම දරුවන් වෙනුවෙන් රැකියාව අත්හැර දැමූ මව්වරු සහ තම රැකියාව අත්හැරීම පිළිඹඳ දෙගිඩියාවෙන් ළතවෙන මව්වරුන් උදෙසායි. ඔවුන් ගේ සිත් ධෛර්‍යමත් කිරීම උදෙසායි.

මේ මාතෘකාව, අද නූතන සමාජයේ  ධනාත්මක මෙන්ම සෘණාත්මක අදහස් මතු කිරීමට මගපාදනු ලබන ආන්දෝලනාත්මක මාතෘකාවක් බව අපි හොඳාකාරවම දන්නෙමු. මෙම මාතෘකාව හා සම්බන්ධ වූ මගේ අත්දැකීම් අලලා මෑතකදී සිංහල කවියක් රචනා කර​, මගේ ෆේස්බුක් ගිණුමේ පළ  කළෙමි. මා පුදුමයට පත් කරමින් , එය දින කිහිපයක් ඇතුලත 1000 කට වඩා ෆේස්බුක් පරිශීලකයන් අතර හුවමාරු වුනි. එයට හේතුව නම්, ශ්‍රී ලාංකික දෙමාපියන් විශේෂයෙන් මව්වරුන්ගේ සිත් සතන් එය විසින් සියුම් ලෙස ස්පර්ශ වූ බැවිනි. මම දන්නා සහ නොදන්නා  මව්වරුන්ගෙන් ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර මෙම ලිපිය ලිවීමට මා පෙළඹවීය.

- Advertisement -

මම අවුරුදු 6 කට වඩා වැඩි කාලයක් බහුජාතික සමාගම් 2 ක් වැඩ කල ඉංජිනේරු උපාධි ධාරිනියක් වූ නමුත් අවසානයේදී මවකට ලැබෙන හොඳම සහ සාධාරණම හේතුව නිසා  මගේ වෘත්තිය නතර කල අයෙක්මි. ඒ හේතුව​, මාගේ දරුවන් ය​. තම දරුවන් වෙත ඇති ප්‍රේමය නිසා වෘත්තීය අත්හළ වෛද්‍යවරු පවා සිටිනා බව ඔබ දන්නවාද? මෙහිදී මම විශ්ව විද්‍යාල උපාධි හිමියන් ගැන පමණක් අවධාරණය නොකරමි. මම තදින්ම විශ්වාස කරනා පරිදි, මෙම සමාජයේ පිළිගත් රැකියාවක් කරන යම් කාන්තාවක් වේද , ඇය හොඳ අධ්‍යාපන මට්ටමක් ලත් තැනැත්තියකි. උගත් මවක් වීම හා තම රැකියාව සදහටම අත්හැරීම, කාන්තාවකට ඇයගේ දිවි ගමනේදී ගත හැකි අමාරුම තීරණය වේ. ඔබ කවදා හෝ සිතා ඇතිද , එය පසුපස ඇති සැබෑ හේතුව කුමක්ද යන වග​?

ශ්‍රී ලාංකික සමාජය තුළ මෙවන් වූ මවකට සිතීමට හිදුවී අත්තේ සිය රැකියාව අත්හැරීමෙන් පසු සමාජය තුළ ඇයට ලැබෙන පිළිගැනීම ගැනයි. වෘත්තීකයකු, ගෙදර නැවතුනු අම්මා කෙනෙකු බවට පත්වීම සමාජයේ ජනප්‍රිය සිරස්තලක් බවට පත් වී සාකච්ඡා නිර්මාණය වේ.සමහරු, ඇය මවක් බවට පත් වූ විට ඉගෙනීමට ගත් උත්සාහය ගඟට කැපූ ඉනි බවට පත්වෙතැයි පවසා  කාන්තාවන් උසස් අධ්‍යාපනය ලබා ගැනීමට යොමු නොකල යුතු බව පවසයි. තවත් සමහරු කාන්තාවගේ උගත්කම අවසානයේ කඩදාසි කෑල්ලකට පමණක් සීමා වන බවත්, එය රටට කෙසේ වෙතත්  ඇගේ පවුලේ සාමාජිකයින්ට තම දුවනිය සහ පවුල ගැන උදම් ඇනීමට   භාවිතා කළ හැකි බවටත් පවසයි.  ඇය වටා සිටින මෙම විවේචකයන් හමුවේ ඇය ඇගේ දරුවන් වෙනුවෙන් සිය රැකියාව අතහැර දැමීම ගැන දෙවරක් නොව කිහිප වරක් සිතීමට පෙළඹීම සාධාරණයි.

නමුත්, මා සිතනා පරිදි , එවන් පුස් වූ අදහස් ගැන ඔබ කිසි විටෙකත් නොසිතිය යුතුය​. මවක් රැකියාවක් අත්හැරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී බැරෑරුම් ලෙස සලකා බැලීමට ඇති සාධක මෙසේ හුවා දැක්විය හැකියි.

1. තම පවුලේ ආදායම සහ වියදම

ඔබේ රැකියාව නැතිවීම නිසා ඔබේ පවුලේ මාසික ආදායමෙන් කොටසක් අහිමි කර ගැනීමට  සිදුවන අතර ඔබ ඔබේ වයෝවෘද​ කාලයේදී පිහිටට ඵන සේවක අර්ථ සාධක අරමුදල , සේවක භාරකාර අරමුදල් හෝ විශ්‍රාම වැටුප් වැනි ඔබගේ පෞද්ගලික ප්‍රතිලාභ අහිමි කර ගැනීමට සිදුවේ. මෙහිදී ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ සාකච්ඡා කර සාමූහිකව තීරණයකට එළඹිය යුතුයි.  ඔබ රැකියාවක නිරත වන්නේ ද තම දරුවන් ගේ අභිවෘද්ධි උදෙසා බැවින්, ඔබට ආර්ථික අපහසුතා ඇත්නම් කෙසේ හෝ රැකියාව කරගෙන යා යුතුමය​.

2. ඔබ රැකියාවට ගොස් නැවත පැමිණෙන තෙක් දරුවන් බලා ගන්නා ක්‍රමය සහ වගකීම භාරගන්නා පුද්ගලයන්

ඔබ නැති අතර ඔබේ දරුවන්ව හොඳින් රැක බලා ගන්නා බව තහවුරු කර ගැනීම ඔබේ වගකීමයි. මෙම කාර්‍යය ඔවුන්ගේ ආච්චිලා සීයලා විසින් ඉතා හොඳින් සිදු කරනු  න්ලැබේ. නමුත් සෑම ආච්චිලා සීයලා ගෙන්ම මෙම යුතුකම බලාපොරොත්තු වුය නොහැකි අවස්තාද නැත්තේ නොවේ. (ඔවුන් ගේ වයස්ගත භාවය​, රෝගී තත්ත්වය, දුර පෙදෙසක විසීම හෝ තවත් පුද්ගලික කාරණා මත​). ඊළඟ හොඳම විකල්පය වන්නේ හොඳ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් හෝ ඊට අදාල ආයතනයක් සොයා ගැනීම යි. තෝරාගත් ස්ථානය පිළිබඳ වැඩි තොරතුරු සොයා ගැනීම හා එහි වාසි සහ අවාසි පිළිබඳ වඩා හොඳ විශ්ලේෂණයක් කර බැලීම ඔබේ වගකීමයි.

3. රැකියාවට යාමට පෙර සහ පසු, දිනකට දරුවා සමඟ වැය කළ හැකි පැය ගණන

ඔබට  දිනක් තුළ ඔබගේ දරුවන් සමඟ ගත කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් සොයා ගැනීමට හැකි විය යුතු ය.එම කාලය අනිවාර්‍යයෙන්ම ඔබ සහ ඔබේ දරුවන් අතර ඇති බැඳීම ශක්තිමත් කිරීමට උපකාරී වනු ඇත. කාලයත් සමඟ ඔබ ඔබේ රැකියාවේ ඉතා ඉහළම තලයට ලඟා වීමට පිළිවන. එලෙසින්ම, ආපසු හැරී බලන කල ඔබ මවක් ලෙස අසාර්ථක යයි ඔබට පසු තැවීමට ඉඩ තබා නොගන්න​.

4. ඔබට හදිසි / අනපේක්‍ෂිත සිදුවීම් සම්බන්ධයෙන් ගත හැකි වැඩපිළිවෙල

(සහකරු හදිසියේ රෝගාතුර වීම් / ආබාධිත වීම් / මරණ  හෝ දික්කසාද )

මේ ලෝකයේ හැම දෙයක්ම අවිනිශ්චිතය.බලාපොරොත්තු නොවූ දේවල් අපගේ ජීවිත කරා ළඟාවීම නොවැලැක්විය හැකියි. එහෙත්, ඔබගේ දරුවන් ඔබ වටා සිටිනා විට , ඔබට දුක්වීම සඳහා නාස්ති කිරීමට කාලයක් නොමැත​. එවන් අවස්ථාවකදී ඔබ ඔවුන් ගේ ශක්තිමත් මව විය යුතුය. ඔබට ඉදිරියට ඔබගේ පවුල ගමන් කළ යුතු ආකාරය ගැන තීරණය ගත යුතු අතර ඒ සඳහා ක්‍රියාකාරී විය යුතුය​.

ඔබ සහ ඔබේ සහකරු නියත වශයෙන්ම සිතිය යුත්තේ  ඉහත සඳහන් ආකාරයේ බරපතල  කාරණා පිළිඹඳ මිස මේ සමාජයේ කියන කරන දේවල් ගැන නොවන බව දැන් ඔබට වැටහෙනවා යයි මා සිතමි. ඉහත කරුනු මත ඔබට පැහැදිලි විසඳුම් ලැබෙයි නම්, ඔබට ඔබේ රැකියාවේ දිගටම රැඳේ ද නැතිද යන්න ගැන පැහැදිලි නිගමනයකට පැමිණිය හැකිය යනු මගේ විශ්වාසයයි.

ඔබේ අවසන් තීරණය කුමක් වුවද​, එක දෙයක් අමතක නොකරන්න​. මවක ගේ ශක්තියට ලොවක් පුදුම කල හැකියි. ඇයට තම දරුවන් වෙනුවෙන් ඕනෑම දෙයක් කල හැකියි. මවකට ඕනෑම අභියෝගයක් හමුවේ සෘණාත්මක අදහස් දරා ගැනීමට බලය ඇත.ඇයට, තම පවුල දෙසට පැමිණෙන ඕනෑම බාධකයකට ඔරොත්තු දෙමින්, සිය දරුවන් ද සමඟ ඉදිරියටම යාමට ශක්තිය ඇත​.  මවක් සිය දරුවන් විශේෂී පුද්ගලයන් කිරීමට හා අනාගතයේ දී මේ සමාජය, මේ ලෝකය වෙනස් කිරීමට ඔවුන් මෙහෙයවීමට දිරිය ඇත​. සැබෑ මවක්, තම දරුවන් නිසා තමා ලබාගත් දේ ගැන පුන පුනා සතුටු වනවා මිස​, දරුවන් නිසා තමාට අහිමි වූ දේ ගැන පසු තැවෙන්නේ නැත​.

ඒ මව ඔබ වන අතර ඔබ ඉතා බලගතු ය. ඔබ එය කිසිදා අමතක නොකරන්න. නිර්භීත වන්න! ඔබ අද සිටිනා තත්වය ඔබට ඔබේ රැකියාව අතහැර දැමීමට බල කරයි නම්, ඔබගේ හදවත ට ඉඩ දෙන්න. අනාගතයේ එක් දිනක ඔබේ දරුවන් ඔබ විසින් කල පරිත්‍යාගය ගැන ආඩම්බරයෙන් කතා කරනු ඇත. දරුවන් තමාව අගය කරන මොහොත තරම් මව් පදවියේ වෙනත් තෘප්තිමත් මොහොතක් ඔබට කිසි කලෙකත් අපේක්‍ෂා කල හැකිද​?

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article