- Advertisement -

ඔබ දරුවන් හදා වඩා ගැනීමේදි පුනාරක්ෂණය හා ආත්ම විෂ්වාසය කෙරෙහි සැලකිලිමත්වනවාද?

-

මීට සති කිහිපයකට ඉහතදී මම මහනුවර ශ්‍රී දළඳා මාලිගය අසල ඇති වැල් බෝධිය වෙත ගියෙමි. බොහෝ දෙනා විශ්වාස කරන අන්දමට අනුව මෙම බෝධියෙහි විවිධ බලවේගවලින් ඔබව ආරක්ෂා කල හැකි හාස්කම් බලයක් ඇත.
මෙම ගස පිහිටා ඇත්තේ භූමියෙන් අඩි 10ක් පමණ උසින් පිහිටා ඇති ශෛලමය පවුරක් වටාය. බෝ මළුව වෙත යාම සඳහා පිය ගැට පෙලක් ඇති අතර මෙම බෝධිය වසර 300 ක හෝ 400කට වඩා පැරණි යැයි විදවතුන්ගේ මතයයි.  දෙපසින් මැනවින් විසිරී ඇති බෝධියේ සම්හරක් අතු අඩි 4 පමන උසින් වූ කෘතිම ආකෘතියකින් ආරක්ෂා වේ. මෙය පිහිටා ඇත්තේ බෝධිය වටාය.

මා පෙර සඳහන් කල ආකාරයට, බොහෝ වන්දනාකරුවන් රෝග වලට සුවය පතා හෝ ග්‍රහ දෝෂ වලින් ආරක්ෂා වීම සඳහා ඇස් වහ කට වහ දුරු කරවීමට ඇති සෙත් කවි කියමින් සමහර උදවිය මෙම බෝධියේ ආශිර්වාදය පතයි. බෝධිය වටා ඇති දහස් ගණන් පඬුරු හා වතුර මුට්ටි මෙහි ඇති හාස්කම් බලය කෙරෙහි මිනිසුන් දක්වන විශ්වාසය පිළිබඳ සාක්ෂි දරයි.

- Advertisement -

මා එහි ගිය අවස්ථාවේදි බෝධිය අසල බොහෝ පිරිසක් රැස්ව සිටි අතර මගේ අවධානය එක් විශේෂ මවක් හා දරුවකු වෙත ඇදී ගියේය. අන් වන්දනාකරුවන් මෙන් මෙම මා දරු දෙපල සෙත් පතා සියලු වතාවත් සිදු කර තිබුණි. එක් මොහොතකදී මව, අවුරුදු 4ක් හෝ 5ක වයසේ පසුවුණු තම පුතණුවන් ව වඩාගෙන බෝධියේ භාර වූ කොඩි වැලක් ගැට ගස්වා එම අත්ත හිසෙන් ස්පර්ෂ කිරීමට සලස්වන දසුනක් මාගේ ඇස් ගැටිනි. එම මව තම දරුවාගේ පාලනය කල නොහැකි දඩබ්බර බව සමනය කිරීම සඳහා එම පූජාව සිදු කර ඇති බව කොඩියේ ලියා තිබූ දෙයින් හා මව තම දරුවාට කතා බස් කල ආකාරයෙන් හැඟී ගියේය.

එම අත්ත බෝධිය වටා ඇති පවුරේ මායිම අසල පිහිටා තිබූ අතර මව එතන රැඳී සිටියාය. තම පුතණුවන් එම අත්ත ඇල්ලීමට තරම් උසක පසු නොවූ හෙයින් මව දරුවාව වඩාගෙන එම කර්තව්‍ය කිරීමට උත්සාහ ගත්තාය. නමුත් දරුවා අදි මදි කරමින්, තමාව බිමින් තබන ලෙස මවගෙන් කන්නලව් කලේය. කිහිප වේලාවකින් මව හා කුඩා දරුවා අතර ඇති වූ අරගලය දරුණු වචන හුවමාරුවක් බවට පත් වුණි. කුඩා දරුවාගේ අඳොනාව පූජා අඩවිය දෙවනත් කලේය. මින් කෝපයට පත් මව දරුවාට බැන වැදිමින් බලෙන් එම වතාවත් සිදු කරවීමට තැත් කල අතර එය සාර්ථක ප්‍රයත්නයක් නොවුණි. පියා කිසිදු දෙයක් නොකර අසලට වී බලා සිටියේය.

මෙම සිදුවීම පූජා ස්ථානයේ සාමකාමි පරිසරය බිඳ දැමූ අතර අනෙකුත් වන්දනාකරුවන්ගේ අවදානය වෙනත් දෙයකට යොමු කලේය. මෙය දෙමාපියන්ට ඉතා අවාසනාවන්ත අත්දැකීමක් බවට පත් වූ අතර තම දරුවාට යහපතක් පතා බෝධියේ ආශිර්වාදය ලබා ගැනීමට පැමිණි දෙමාපියන්ට සිදුවූයේ අවසානයේදි දරුවාට බැන වදිමින් ලේ කෝප කරගැනීමයි.

මෙයින් මම එක් පාඩක් උගත්තෙමි. මෙහිදි සිදු වී ඇත්තේ දඩබ්බර, අවිනීත හැසිරීමක් සහිත දරුවකුව පාලනය කිරීම සඳහා ඔහුගේ දෙමාපියන් හට කෙනෙකු මෙසේ ආගමික වතාවත් කරන ලෙස අවවාද කිරීමයි. මා ග්‍රහ අපල හා වෙනත් ආගමික වතාවත් කෙරෙහි විශ්වාසය තබන නමුත් මෙතනදි සිදුව ඇත්තේ මව තම දරුවාගේ හැසිරීම කෙරෙහි කිසිම ලෙස සංවේදි බවක් නොදැක්වීමයි. ඔවුන් පූජා කටයුතු සිදු කිරීමට මූලික වූ හේතුව නොසළකා හරින්න. මෙම කුඩා දරුවා පුන පුනා කියා සිටියේ තමාව බිමින් තබන ලෙසටය. උස් ස්ථාන වලට ඇති බිය නිසා මෙසේ තමාව වඩා ගැනීම දරුවා ප්‍රතික්ෂේප කරන ලදී. දරුවාගේ උස සමඟ මෙම පවුරේ උස සසඳන කල ඔහුට බියක් පහල වීම සාධාරණය.  මට මෙම අවස්ථාවේදි පැහැදිලි වූ කරුණක් වන්නේ දරුවාට තම මව තුල කිසිදු විශ්වාසයක් නොමැති බවයි. වඩා ගන්නට දරුවා ඇයට ඉඩ නොදුන්නේ අම්මා අතින් තමා බිමට වැටෙයි යන බිය නිසාවෙනි. මීට මව ප්‍රතිචාර දුන්නේ අනපේක්ෂිත අන්දමකටය. ආදරයෙන් හා කරුණාවෙන් “බබා බිමට වැටෙන්නෑ, මම ඔයාව තදින් අල්ල ගෙනයි ඉන්නේ” යනුවෙන් පවසනවා වෙනුවට මව සිදු කලේ බලෙන් දරුවාට බැන වදිමින් එම කාර්යය කරන ලෙස අවවාද කිරීමයි. කෙතරම් ආගමික වතාවත් සිදු කලත්, මවක් ලෙස ඔබට තම දරුවා තුල තමා කෙරෙහි විශවාසයක් ගොඩ නගා ගත නොහැකි නම් හෝ තම දරුවාගේ හැඟීම් කෙරෙහි සංවේදි බවක් නොදක්වන්නේ නම් දරුවන් තුල ඇති අයපත් හැසිරීම වළක්වා ගැනීම අසීරු කාර්යයක් විය හැක.

දැන් ඔබ ඉහත සිදුවීම මදකට අමතක කරන්න. ඔබ කවමදාවක “මගේ පුතා හා දුව මා කෙරෙහි විශ්වාසයක් තබා ඇත්තේද” යන ප්‍රශ්නය අසා ඇත්ද? ඔවුන්ව වඩා ගැනීමේදි, ඔංචිල්ලාවේ තබා පැද්දවීමේදි, කර මත තබා විනෝද වීමේදි ඔබගේ දරුවා හැසිරෙන්නේ කෙසේද යන්න සිතා බැලුවේද?
මට තවමත් මතකයි, මා අවුරුදු 3ක් පමණ වූ කුඩා කාලයේදි මා හට ලිස්සෙන බෝට්ටුවේ යාමට බියක් පහල වුණි. එහිදි මාගේ පියා එසේ බිය නොවන ලෙසත් ඔහු මා සමඟ අසලින් සිටින බවටත් පවසා මා ධෛර්‍යමත් කලේය. අපගේ දෙමාපියන් නිරන්තරයෙන්ම කරුණාවන්ත වදනින් අපව ධෛර්යමත් කල අතර අප තුල ඇති බිය පහ කරමින් අප අසලින්ම සිටියහ.

ඔබ කුඩා කාලයේදි නින්දට යාමට පෙර දෙමාපියන් ඔබට පැවසු දේවල් සිහියට නැඟෙනු ඇත. අප වයසින් වැඩෙත්ම මෙසේ දෙමාපියන් අපට පැවසු ඒ පණිවිඩය සත්‍යක් බව අපට කෙමෙන් කෙමෙන් තහවුරු වේ. එනම්, ලෝකයා අපට අනන්තවත් ලෙස කරදර කලත්, අපගේ දෙමාපියන් අපව කිසිම හෙයකින් අත් නොහරින යන දැඩි විශ්වාසයයි. ඔබ පවුලේ අවිනීතම දරුවා විය හැකි වුවත්, ඔබේ දෙමාපියන් ඔබ අසරණ වූ කල ඔබට පිහිට වනු නොඅනුමානයි.

කුඩා කාලයේදි ආත්ම-විශ්වාසයක් හා සුරක්ෂිත හැඟීමකින් හැදුනු වැඩිහිටියකු සහ එවැනි ළමා කාලයක් නොලැබුණු වැඩිහිටියකු අතර විශාල වෙනසක් ඇත. මෙය ජීවිතයේ වැදගත් තීරණ ගැනීමෙහි ලා පුද්ගලයකුට අවශ්‍ය වන ගුණාංගයකි. සමාජයත් සමඟ විශ්වාසවන්ත ලෙස කටයුතු කිරීමටත්, සම්බන්ධතා ගොඩ නැගීමටත්, අසරණ අවස්ථාවලදී ඊට ශක්තිමත් මනසකින් මුහුණ දීමටත් අවශ්‍ය අඩිතාලම පුද්ගලයෙකුට ලැබෙන්නේ ඔහු/ඇය කුඩා කාලයේදි ප්‍රගුණ කරන ලද ආත්ම විශ්වාසයයි.

මෙවන් පුද්ගලයින්ට දිගු කාලින තීරණ ගත හැකි අතර ඔවුන් යහපත් මානසික සෞඛ්‍යයකින් පසුවෙති. කෙසේ වෙතත් මෙහිදි ඔබ දැනගත යුතු වැදගත් කරුණ නම්, “බය වෙන්න එපා, අම්මයි තාත්තයි ඔයත් එක්ක හැමතිස්සෙම ඉන්නව” යනු දරුවාට ඔහු කැමති ඕනැම දෙයක් කොට , නොමනා වැරදි වලින් ඔහුව ගලවා ගැනීමට මග පාදන කියමනක් නොවන බවයි. මෙහිදි ඔබ දරුවාට අවධාරණය කල යුත්තේ දරුවාගේ දුකේදි හා සැපේදි මව්පියන් ඔවුන් සමඟ සිටින බවත් අසාර්ථක වූ අවස්ථාවල එම ප්‍රශ්න විසඳීම සඳහා දෙමාපියන් ඔවුන්ට උපකාරි වන බවත් ය. “ඔයා මගේ පුතා, මං ඔයාට ගොඩක් ආදරෙයි. පුතාට කිසිම කරදරයක් වෙන්න මං ඉඩ තියන්නෑ” යනුවෙන් පැවසීම දරුවා තුල ආත්ම-විශවාසයක් හා සුරක්ෂිත බවක් ගොඩ නැගීමට ඉමහත් ලෙස ඉවහල් වේ.

හැකි පමණින් ඔබ දරුවන් සමඟ කතා බස් කරන්න. ඔවුන්ව ළමා උද්‍යානයකට හෝ මුහුදු වෙරළකට රැගෙන යන්න. ඔවුන් සමඟ පිහිනන්න. ජීවිතයේ අභියෝග ජයගන්නට ඔවුන් සමඟ එකතු වී අත්දැකීම බෙදා හදා ගන්න. දරුවාට තනිකමක් දැනෙන්නට කිසිමදාවකවත් ඉඩ නොතබන්න.

මෙවැනි කුඩා දේවල් වර්තමානයේ දෙමාපියන් නොසළකා හරිති. වගකීමක් සහිත දෙමාපියන් ලෙස දරුවකු හදා වඩා ගැනීම දරුවාට දිවයිනේ හොඳම පාසලයට යවනවා හෝ, මිල අධික ස්මාට් ෆෝන්, සෙල්ලම් බඩු අරන් දෙනවාට වඩා ගැඹුරු කර්තව්‍යයකි.

මව හෝ පිය කිසිමදාක ඔහුව/ඇයව තනි වන්නට ඉඩ නොදෙන බව පවසා දරුවා තුල සුරක්ෂිත හැඟීමක් ගොඩ නංවන්න. මෙවැනි මානසික සත්කාර ගෝලියකරණයට ලක්වූ වේගයෙන් වර්ධනය වන සමාජයේ පුරවැසියන් හට අත්‍යවශ්‍ය අඩිතාලමක් සපයයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article