- Advertisement -

ඔබේ බිරිඳ ගැබ් ගෙනද? එසේනම් ඔබ මේ දේවල් දැන සිටිය යුතුමයි!

-

මම දෙවරක් දරු ගැබකට උරුමකම් ලද වාසනාවන්ත මවක් වෙමි.

දරු ගැබක් පිහිටීම​, ස්වභාව ධර්මයට අනුව, කාන්තාවකගේ දිවියේ ඇය අත්දකින ඉතාමත් සාමාන්‍ය එමෙන්ම සුන්දර තත්වයකි. යම් යම් සංකීර්ණතා හමුවේ, විටෙක එය, යම් කාන්තාවකට කියනා තරම් මිහිරි අත්දැකීමක් ලබා නොදෙන බව මම පිළිගනිමි. නමුත් තම ලෙයින් පිහිටූ දරුවා කුසින් බිහිවන තෙක් ගතකරනා මාස කිහිපය සෑම මවකගේම ජීවිතයේ අමතක නොවන අත්දැකීම් සහ මතකයන් එක්‍ රැස් කරනවාට සැකයක් නම් නැත​.

- Advertisement -

ගැබිනි මව් සමයේ , අපට ඇත්තෙන්ම දැනෙන්නේ සහ අප විඳින්නේ කුමක්ද​? ඔක්කාරය​, වමනය කාන්තාවන් අත්දැකීමට අකමැති, නමුත් බොහෝවිට අත් දකින්නට සිදුවන තත්වයක්. අලස ගතිය​, සිරුර පණනැති ස්වභාවය​, ආහාර අරුචිය  තවත් පොදු ලක්‍ෂණ වේ. මා, මේ ලිපියෙන් කතා කිරීමට සැරෙසෙන්නේ එවන්, අප සියලු දෙනා දන්නා කාරනාවන් ගැන නොවේ. නමුත් ගැබිනි සමයේ බොහෝ කාන්තාවන්ට නොලැබෙන​, කවුරුත් නොසිතන, ඉතා මානුෂීය කාරණාවක් සම්බන්ඳයෙන් මගේ හදවතට දැනෙන දේ ඔබත් සමඟ සුහදව බෙදා ගැනීම මගේ අරමුණයි.

ගර්භණී කාන්තාව​…ඔව්… ඇය රෝගියෙකු නොවේ….ගර්භණී තත්වය, රෝගී තත්වයක් ද නොවේ…

නමුත්, “ඔයාට අැති අසනීපයක් නෑ”,  “ඕක ලෙඩක් නෙමෙයි ​”..යන වැකි කිහිපය​, ගැබිනි සමයේ  මට අසන්නට සිදුවු, මාගේ සිත ලෙඩ කරවූ අසහනකාරී ම වැකි කිහිපයයි. මෙය බොහෝවිට මා ඇසූයේ පිරිමි පාර්ශව යෙන්‍ ය​.

ගර්භණී සමය යනු කාන්තාවක් ශාරීරිකව මෙන්ම මානසිකව විශාල සකස් කිරීමකට භාජනය වන සමයකි. එම වෙනස, කාන්තාවකගේ කුස තුල තවත් එක ජීවයක් වැඩීමට,  ස්වභාව ධර්මයා විසින් කරන්නාවූ විශිෂ්ඨ වෙනසකි. සරළව පැවසුවහොත්, මෙවන් සමයක අැය තුල පවත්නාවූ හෝමෝන විසින් අැයව ගැහැණියකුත් නොවන​, පිරිමියකුත් නොවන නමුත් ඒ අතරමැදි තත්වතේ අමුතුම පුද්ගලෙයෙක් බවට පත් කරයි. යම් කිසි කෙනෙක්, මෙවන් වූ වෙනසක් කාන්තාවකට කරනා බලපෑම ඉතා සුලු යැයි සිතනවානම්.. එවන් අයට විශ්වාසයෙන් යුතුව පවසමි, එය එසේ නොවනා වග​…අැය රෝගියකු නොවූවද​, ඇයට සාමාන්‍ය ලෙස දිවි ගෙවිය නොහැක​. ඇය​, සමහරවිට මුලු දිනය පුරාම​, අපහසුතාවයෙන් කල් ගෙවා දමනවා විය හැක​.  වෙනදා කාර්‍ය ශූර ලෙස එදිනෙදා වැඩෙහි නිරත වූ ඇය​, අද ඉතා අපහසුතාවයෙන් , මගහැරෙනා සියලු වගකීම් ගැන ලතැවෙමින් පසුතැවෙනවා විය හැක. නමුත්​, කාන්තාව ඉතා ශක්තිමත්‍ ය​; ඇයට තම නොදුටු දරුවන් වෙනුවෙන් පවා ඕනෑම වේදනාවක්, අපහසුතාවයක් විඳ දරා ගත හැකියි.

ඇයට පිටස්තර ලෝකයේ කුමක් සිදු වුවද කම් නැත​. මෙවන් කලක ඇය බලා පොරොත්තු වන්නේ ඇය ගේ ආදරබර සැමියාවයි; ඔහුගේ ආදරයයි.

පියවරුන් වීමට ඇඟිලි ගනිමින් සිටින වාසනාවන්ත සැමියන් වෙත මෙම සටහන ලියමි. මෙවන් කලක ඔබගේ බිරිඳට වුවමනා කරන්නේ ඔබගේ අනුකම්පාව නොවේ; ඔබ ඇය බවට පත්වන්න; ඇය මෙන් සිතන්න​. ඇය ඔබට මුවින් නොපැවසුවාට​, ඇයට අවශ‍්‍ය වන්නේ විශේෂ සැලකීමක්, වෙනදාට වඩා විශේෂ වූ ආදරයක්, නිරන්තර දිරිමත් කිරීමක්.. සෑම බිරිඳක්ම තම සැමියාගෙන් පතන්නේ මේ දේවල් බව සැබෑ නමුත්, ගර්භණී සමයේ එය විශේෂ වශයෙන් බලා පොරොත්තු වේ.

ඇය, තමාට හිමිදිරියේ වමනය නිසා ඇතිවන අපහසු අවස්තාවේ ඔබ ඇයව අල්ලාගෙන සහයෝගයක් දේ නම් කෙතරම් අගනේදැයි නිරතුරුවම සිතයි. ඔබ​ ඇයගේ දවස පුරා පැවති කෑම අරුචිය ගැන විමසන තෙක් බලා සිටියි. ඔබත් සමඟ  ආඩම්බරයෙන් ,ඇයගේ වෛද්‍ය සායනයට යාම සඳහා අැය නිරන්තරවම බලාපොරොත්තු වෙයි. ඔබ ඇයගෙන් ඉවත්ව සිටිනා සෑම මොහොතකම​, ඔබ දවසට කිහිප විටක් දුරකතනයෙන් අමතා ඇයගේ සුවදුක් විමසීම බලාපොරොත්තුවෙන් සිටියි. ඔබට ඇය සතුටින් කල් ගෙවනු දැකීමට රිසිනම්, ඔබ ඇය සමඟ නිරතුරුවම සිටිනා බව ඇයට ඒත්තු ගන්වන්න​. එය ඔබ තුල පමණක් තබා නොගන්න​. ඇය ට එය ප්‍රකාශ කරන්න​.

මෑත දිනකදී මා ආදර සැමියා, මා පුදුම කරවූ දුරකතන සංවාදයක නියැලෙනු මට ඇසුනි. ඔහු, පියකු වීමට බලාපොරොත්තුවෙන් ඉන්නා ඔහුගේ මිතුරෙකුට මෙසේ අවවාද කරනු ඇසී මා සතුටට පත්වීමි. “මේ දවස්වල නෝනා අප්සට වෙයි පොඩි දේටත්..ළඟින්ම ඉන්න බලන්න​” මේ ඔහුගේ වචනයි. ඔහු ඔහුගේ අත්දැකීමක් බෙදාගත් වග මා හොඳාකාරවම දනිමි.

පියවරුන් වීමට සිටින වාසනාවන්ත සැමියනි… මේ ඔබේ වාරයයි. දරු උපතින් අවුරුදු ගනණාවක් ගතවන තැන​, ආපසු ඔබ හැරී බලන කල, පසුතැවෙන්නට කාරණා ඉතුරු කර නොයන්න​. පියෙකු ලෙස​, ඔබ ඔබේ දරුවන්ට තම පණටත් වඩා ආදරය කරන බව ඒකාන්තයි. අද දවසේ ඔබට එම වාසනාව ගෙනඑන ඔබගේ ආදරබර සුරංගනාව අමතක නොකරන්න​. ඇය ට නිසිසේ සලකන්න​.

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article