“ළමයෝ ඕක කරන්න එපා”
“අයියෝ ඕකත් කරන්න එපා”
“අනේ මන්දා එපා කියන දේමයි කරන්නේ ”
ඔබේ දරුවන්ට ඔබ ඔහොම කෑගහනවද? පිළිතුර “ඔව් ”නම් මේ ලිපිය ඔබ කියවිය යුතුමයි. දැන් මසකට පමණ කලින් අපේ නිවස පුරාම රැව්දුන්නේ දරුවන්ගේ හඬත් එක්ක එයාලටත් වඩා හයියෙන් ගෝරනාඩු කරන මගේ හඬයි. ඇත්තටම නිවසින් පිටත ඉන්න පිටස්තරයන් අහගෙන සිටිය නම්
“අපෝ අර ගෑණී නම් මහ යක්ෂ ගෑනියෙක් ”
කියලා හිතන එක නම් නොඅනුමානයි. පහුගිය දවසක පොතක් නැති කරගත්ත මගේ ලොකු පුතාට මම මහ හඬින් සැර කරලා ගුටියක් දුන්නා. කේන්තිය විසින් මා යටපත් කරගෙන තිබුන නිසා මම තරහින් රවාගෙන පුතා දිහා බැලුවා. අහම්බෙන් මගේ නෙත් පුතාගෙ නෙත් මත නතර වුණා. දෙවියනේ… ඒ ඇස් වල තියෙන දුක, බය, අනේ අම්මේ… කියන, ඇස් දුටුව මට අකුණු සැරයක් වැදුනා වගේ හිත හිරිවැටිලා ගියා. ළඟට ආව පොඩ්ඩටත් මම නොරිදෙන්න ගුටියක් දුන්නෙ ලොක්කට පේන්න. මට විරිත්තා පොඩ්ඩා අයියා ළඟට ගියා. තවම කතා කරන්න වචන ඇහිඳින පොඩ්ඩා
“අයියේ… ගුති දෙනවා, පොච කෝ…? ”
මාව අනුකරණය කරමින් ලොකු පුතුට පහරක් ගැසුවා. හිතේ තද කරගෙ තිබ්බ ලොක්කගෙ දුක වාන් දැම්මා. පුංචි ඇස් වලින් කඳුළු සට සට ගාලා කඩා වැටෙද්දි මම පුතාව තුරුලට ගත්තා.
“අයියා අඬා එපා…”
පොඩ්ඩත් අයියා සනසද්දි මගේ හිත මහා බරකින් පිරුණා. අවුරුදු හතක් වුන මගේ ලොකු පුතාට එකම කාරණය මට හතර පස් පාරක් කියන්නම සිද්ද වෙනවා. පාඩම් කරන්න ගියොත් නාහෙන් අඬනවා, හැම වැඩේම ඉබ්බා වගේ කරන්නේ, කිසිම දෙයක් ගණනට නොගෙන ඉන්න නිසා බොහෝ වෙලාවට මගෙන් බැණුම් නම් කෙළවරක් නැතිව ඔහුට ලැබෙනවා. ඒත් මේ තරම් හැඟීම් ගොඩක් මම ලොක්කගෙ ඇස් වලින් මීට කලින් දැක්කෙ නැහැ, නැත්තනම් දැක්කත් ගණනකට ගත්තෙ නැහැ.
ජීවිත රඟ මඩලෙ චරිතාංග නිළියන් වන අපට පැවරිලා තියෙන වගකීම් බොහෝමයි. ඉර අවදිවන්නට පෙර දවස අරඹන අපට ඉර අවරට ගොස් හෝරා හතරක් පහක් පමණ වනතුරුම විවේකයක් නම් නැහැ. ගෙදර දොරේ වැඩ, දරුවන්ගෙ ඉගෙනීම් කටයුතු,දරුවනගේ පෝෂණය, සැමියාගේ කටයුතු, දෙමාපියන්ගෙ යුතුකම් එකී මෙකී නොකී කාර්යයන් රාශියක් ආවරණය කල යුතුය. ඔය අතර දරුවො දඟ කරන කොට ඒ දඟකාරකම් අපව තවත් වෙහෙසට පත් කරද්දි මගේ නම් ඉවසීම පැත්ත පලාතකවත් ඉතිරි වන්නෙ නැහැ. එදා රාත්‍රියේ නින්දට යන්න මගේ උණුහුම සොයන මගේ ලොක්කව මම ළඟට ගත්තා.
“පුතේ ඔයා අම්මට ආදරෙයිද?”
“ හුම් ”
“එහෙනම් ඇයි මම කියන දේ අහන්නේ නැත්තේ ? ”
පිළතුරක් නොලැබෙන විට මම ආයෙමත් ඒ ප්‍රශ්නයම දෙතුන් වතාවක්ම ඇහුව්වා.
“අම්මා මල්ලිටනෙ ආදරේ ”
“ඇයි ඔයා එහෙම කියන්නනේ ”
“කොයි වෙලේ බැලුවත් අම්මා මල්ලිත් එක්ක, එයාට කුක්කු දෙනවා, රෑට නිදියන්නේ එයාගෙ පැත්ත හැරිලා…”
“ ඔයා කියපු සේරම ඇත්ත තමයි , හැබැයි ඔයා කියපු එකක් වැරදියි, අම්මා මල්ලිට විතරක් නෙමේ ඔයාටත් ආදරෙයි හුඟාාාාක් , මල්ලි තාම පොඩියි එයාට එයාගෙ වැඩ තනියම කරගන්න බැහැනේ ඒකයි මල්ලි ළඟ හුඟක් වෙලා ඉන්නනේ ”
“එහෙනම් මට බනින්නේ”
“ඒ ඔයා කියන් දේ අහන්නෙ නැති නිසා, ඔයාට විතරක් නෙමේ මල්ලිටත් අම්මා බනිනවනේ ,හරි අපි අද ඉඳලා වෙනස් වෙමු මම ඔයාට බනිනනෙ නැහැ හැබැයි ඔයත් බැනුම් අහන්න බැහැ ”
“හරි ”
අපි අතර වාචික ගිවිසුමක් ඇති වුනා.
අපි නොහිතන පැතිකඩවල් බොහෝමයක් දරුවො දකිනවා. මගෙ පැටවුන්ට මම එක වගේ ආදරේ වුනත් එයාල ඒක දකිනනෙ වෙනත් විදිහකට. පුංචි කාරණයකින් තීරණ ගන්නවා. පොරොන්දු වුනා වගෙ නෙමෙයි මට
හුඟක් මහන්සි වෙන්න වුනා. දරුවො කරන දඟ වැඩ දකිද්දි ගිවිසුම අමතක වෙලා බනින්න දිව නැමෙන කොටම මට ගිවිසුම මතක් කරගන්න සිදුවුණා. උදේ පාසලට යන්න සූදානම් කරන්න අලුත් උපක්‍රමයක් සොයා ගත්තා.
“හරී ඉක්මණටම ඇඳ ගත්තොත් ලකුණු දෙනවා, හවස් වෙනකොට ලකුණු 15 ක් ගත්තොත් හවසට ක්‍රිකටි ගහන්න එනවා ”
මෙන්න ලොක්කා ඇඳුම් ඇඳගෙන
“ නියමයි ලකුණු 1යි ”
සපත්තු දාලා බත් කාලා සේරම ඉවර වුනාම ප්‍රසාද ලකුණුත් සමඟ ලකුණු 5 ක් හිමි කරගත්තා.
දවසින් දවස දෙන වරප්‍රසාදය වෙනස් වුණ නිසා ලකුණු ක්‍රමය සාර්ථක වෙන්න පටන් ගත්තා. පාඩම් කටයුතු නම් ලකුණු වලින්ම සාර්ථක කරගන්න බැරි බව පෙනුන නිසා ඒකට වෙනත් ක්‍රමයක් සොයා ගන්න මට සිදු වුණා.
ඇත්තටම ලොක්කා ටිකක් මගෙන් ඈත් වෙලයි හිටියෙ. ඒ මම තරවට්ටු කරන නිසත් මල්ලිට වැඩි සැලකිලි දක්වනවා කියලා හිතන නිසත් වෙන්න ඇති. මල්ලිව වෙනත් වැඩකට යොදවලා අයියව ටිකක් හුරතල් කරන්නත්, දැනෙන්නම ආදරේ කරන්නත්, ලොක්කව මම කරන වැඩ වලට හවුල් කරගන්නත් පුරුදු වුණා. විශ්වාස කරන්නත් අමාරුයි දැන් මගේ පුතාට මම ඉස්සර වගේ කෑ ගහන්න ඕන නැහැ. දැන් දැන් එයා තනියම මම කියන්නත් කලින් එයාගේ වැඩ කරගන්නවා. උදේට පාසල් යන්න තනියම ලෑස්ති වෙනවා.බොහෝ වෙලාවට මව්වරුන්ට දරුවන් පිළිබඳ තියෙන්නේ එකම ගැටළුය. එක් මවක් පැවසුවෙ ඇගේ වැඩිමල් දියණිය නංගිට සැලකිලි දක්වන බව කියන බවත් ඇයත් සමඟ අමනාපයෙන් සිටින බවත්ය. එනිසාම ඇය ඉතා අකීකරු බවත් ඇය පැවසුවේ සංවේගයෙන්ය.
අපට දරුවන් සිතුවිලි මගහැරෙන අවස්ථා නැත්තේම නොවේ. නමුත් දිගින් දිගටම ඔවුන්ගේ සිතුවිලි අපට මග හැරෙන විට දරුවන් ජීවිත කාලයටම අපව මගහරිනු ඇත. එහෙයින් දරුවන් කිහිප දෙනෙක් සිටින විට කටයුතු කල යුත්තේ ඉතා පරිස්සමටය. දරුවන්ට අප ආදරේ වුවද ආදරය සිතෙහි තබාගෙන පලක් නැත. ඔවුන්ට දැනෙන්නට ආදරය කලයුතුය. ඒ පුංචි සිත් විනිවිද යනතුරු දැනෙන්නට, පෙනෙන්නට ආදරය කිරීම ඇවසි බව මා වටහා ගතමි. ඉතින් ආදරණි අම්මාවරුනේ මොකද මේ ගැන ඔයාලා හිතන්නේ ?