- Advertisement -

දරුවන්ගේ ‘කථන ප්‍රමාදය’ (Speech Delay) කුඩා වයසේදීම හදුනා ගන්නේ මෙහෙමයි

-

කුඩා දරුවන් බහ තෝරන අවධිය කියලා කියන්නෙ අම්මලා තාත්තලා ඉතා සතුටින් ඇගිලි ගනිමින් බලා ඉන්න කාලයක්. ඒ වගේම පුංචි දුව හරි පුතා හරි ”අම්මේ… තාත්තේ…. ” කියලා කතා කරනකොට දෙමව්පියන්ට ඇතිවන්නේ නිම් හිම් නැති සතුටක්. මේ වගේ සතුටට පත්වන අපේ බොහෝ මව්පියන් අතරේ…. ” ඇයි අපේ දරුවා තාම හරියට වචනයක් කියන්නෙ නැත්තේ… ” කියන ප්‍රශ්නාර්ථයත් එක්ක ජීවත් වෙන මව්පියනුත් නැතුවා නොවෙයි. ඒ, අද කාලයේ කුඩා දරුවන් අතර ඉස්සරටත් වඩා දකින්න ලැබෙන ”කථන ප්‍රමාදය” එහෙමත් නැත්නම් ” කථන හා භාෂා අපහසුතා” යන ආබාධ තත්වයන් නිසයි.
පුංචි දරුවන් සාමන්‍යයෙන් ඉපදුන දවසෙ ඉදල වයස අවුරුදු 4-5 ක් පමන වනතෙක් එයාලගෙ කථන හා භාෂා කුසලතා ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කරගන්නවා. එයට දරුවා සහ මාපියන් අතර ඇති සම්බන්ධය, දරුවා ජීවත් වන වටපිටාව වගේම ඉන් ලැබෙන විවිධ උත්තේජනයන් ඉතා හොදින් උදව් වෙනවා.
පහතින් දක්නට ලැබෙන්නේ එම කුසලතා වර්ධනය ගැන කෙටියෙන් පැහැදිළි කිරිමක්….

මාස 0-3
බඩගින්න, නිදිමත, වේදනාව හැඩීමෙන් ප්‍රකාශ කරයි. මව දෙස බලා සිනාසෙයි. ආ.. ඊ.. ඕ… වැනි කෙටි ශබ්ද පිටකර ප්‍රතිචාර දක්වයි.

- Advertisement -

මාස3-6
බා.. මා… ඩා.. වැනි තනි ශබ්ද පිටකරයි. බාහිර ශබ්ද වලට අවධානය දී හිස හරවයි. ඒ අනුව ශබ්ද පිටකිරීම නවතයි හෝ වෙනස් කරයි. ශබ්ද නගා සිනාසෙයි.

මාස 6-අවු 1
එකම ශබ්දය නැවත නැවත පිටකරයි (බාබා… මාමා… අප් අප්.. ).
බොහෝ විට නමට ප්‍රතිචාර දක්වයි.
වචන අනුකරණයට උත්සහ කරයි. තේරුමක් ඇති වචන කතා කරයි (අම්මා… තාත්තා).
සරළ උපදෙස් පිළිපදී.

අවු 1-2
අත දිගු කර පෙන්වයි. අලුත් වචන කීමට පටන් ගනී.
වචන 2 ක් එකතු කරන්නට පටන් ගනී (තාත්තා එන්න, අම්මා දෙන්න).

අවු 2-3
නම, වයස පිළිතුරු දෙයි. වචන 3-4 ක් එකතු කර කතා කරයි.දිනපතා අලුත් වචන එකතු කරගනී. උපදෙස් පිළිපැදීම ඉතා හොදයි.

අවු 3-4
සම්පූර්ණ පැහැදිලි වාක්‍ය (වචන 4-6) කතා කරයි. සරළ සිද්ධි විස්තර කරයි. වචන 1000 ක් පමණ කතා කරයි.

අවු 4-5
සංකීරණ වාක්‍ය කතා කරයි. කතන්දර කීමට හැකිය. තමා පිළිබද විස්තර කල හැකිය.
ප්‍රශ්ණ අසයි. වචන 1500-2000 ක් පමණ කතා කරයි

ඉතින් යම් කිසි විදියකින් දරුවා මේ කාළ සීමාවන් පසු කිරිමේදි අදාල කුසලතාවයන් පෙන්වන්නේද නැද්ද යන්න පිළිබදව දෙමව්පියන් හැටියට ඔබ සියුම් නිරීක්ෂනයකින් පසුවිය යුතුයි.

” ලොකු එක්කෙනා කතා කලෙත් පරක්කු වෙලා….. මෙයත් ටිකක් පරක්කු වෙලා කතා කරයි… ” වැනි අදහස් දරමින් කිසිදු ප්‍රතිකාරයක් වෙත මව්පියන්, දරුවා යොමු නොකරන අවස්ථා අප දැක තිබෙනවා… එහෙත් මෙහිදී අවබෝධ කර ගත යුතු වැදගත් කරුණක් වන්නේ කථන ප්‍රමාදය, වෙනත් රෝගාබාධ වල ලක්ෂණයක් ලෙසද දකින්නට ලැබෙන නිසයි.
උදාහරණ ලෙස මනෝ වික්ෂිප්තභාවය(Autism), සින්ඩ්‍රෝම තත්ව(Down’s Syndrome, Fragile X Syndrome, DiGeorge Syndrome….), ශ්‍රවණාබාධ, විතලිත තල්ල/තොල(Cleft lip/palate) , Apraxia තත්වය, ඉගෙනීමේ දුර්වලතා(Dyslexia)… වැනි රෝගාබාධ වලදී ද කථන හා භාෂා අපහසුතා ඇතිවේ.
සදහන් කල යුතු තවත් එක් වැදගත් කරුනක් වන්නේ මෙවැනි ප්‍රමාදයක් හදුනා ගත් මුල් අවධියේම ප්‍රතිකාර වලට යොමු වීම සිදුකලයුත්තේ ඇයි ද යන්නයි.

ඔබ දන්නවාද? කුඩා දරුවන්ගේ මොළයේ වර්ධනය ඉතා වේගෙන් සිදුවන කාල පරාසයක් තමයි මුල් ළමාවිය අවධිය කියන්නේ….. (අවුරුදු 3 දක්වා) . මේ කාලයේදී බාහිර උත්තේජනයන් අවශෝෂණය කරගෙන ඒ අනුව හැඩ ගැසීමට මොළයේ ඇති හැකියාව(Brain plasticity) උපරිමයි. එම නිසා මුල් අවධියේදීම හදුනා ගෙන ප්‍රතිකාර වෙත යොමුවීමෙන් වඩා අඩු කාලයකින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

මේ අතර මව්පියන් ලෙස ඔබගෙන් ඉටු විය යුතු කාර්‍යභාර්‍ය ද ඉතා ඉහලයි. ඔබටද නිවසේදි ළදරුවා සමග පහත දෑ සිදුකළ හැක.

*ළදරුවා ට කුතුහලය, සතුට දනවන ක්‍රියාකාරකම් වල නිරත වන්න.
*විවිධ සතුන්ගේ, වාහන වල ශබ්ද නගමින් එවා අනුකරණය කිරීමට ළදරුවා දිරිගන්වන්න.
*සැමවිටම දරුවා සමග කතා කිරීමේදි සරළ භාෂාව හා කෙටි වාක්‍ය පාවිච්චි කරන්න.
*ඔබ කතා කරන වේගයද අඩු කරන්න.
*මුල් ළමාවියේ සිටින දරුවා ව ඔබේ එදිනෙදා ගේ දොර වැඩකටයුතු වලට සම්බන්ධ කරගන්න.
*ඔබ කරන කාර්‍යන් ගැන පවසමින් දරුවාද ඔබ හා සම්බන්ධ කරගන්න.

යම් හෙයකින් ඔබේ දරුවාගේ කථනය, ප්‍රමාද බව දැනුනහොත් ඊලගට කල යුත්තේ කුමක්ද?…… මෙය වැදගත් ප්‍රශ්නයක්.

කථන ප්‍රමාදය මග හරවා ගැනීම හෝ යථා තත්වයට පත් කර ගැනීම සදහා දරුවාව නිවැරදි චිකිත්සක ක්‍රමවේදයකට යොමු කල යුතුයි. ඊට සුදුසුකම් ලත් කථන හා වාග් චිකිත්සක හෝ ව්‍යධිවේදිනියකගේ උපදෙස් පැතීම සුදුසු වේ.
එහිදී පළමුව දරුවා පරික්ෂා කර දරුවාගේ පවතින කථන හා භාෂා කුසලතා මට්ටම නිර්ණය කළ යුතුයි. ඉන්පසුව චිකිත්සක ප්‍රතිකාර ක්‍රම රාශියක් අතුරින් වඩාත්ම උචිත ක්‍රමය භාවිතා කළ හැක.
ඔබේ ළදරුවා සම්බන්දයෙන් සුපරික්ෂාකාරි විය යුතු තවත් බොහෝ දෑ ගැන ඉදිරි ළිපි වලින් සාකච්ඡා කිරිමට අප බළාපොරොත්තු වෙමු.

 කතුවරිය ගැන

Hiruni Fonseka

හිරුනි ෆොන්සේකා ඉන්දියාවේ බැංගලෝර් විශ්ව විද්‍යයාලයේ කථන හා වාග් ව්‍යධිවේදය හා ශ්‍රවණවේදය (Speech Language Pathology & Audiology) සම්බන්ධව විශේෂ උපාධියක් ලබා, ඉන්දියාවේ රෝහල් කිහිපයක, පුනුරුථාපන ආයතන හා ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ද සේවය කර අත්දැකීම් ලබා ඇත. දැනට කථන හා වාග් ව්‍යධිවේදිනියක් ලෙස සායනික කටයුතු කරන අතරම විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ පාසැල් වල දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා වැඩමුළු පවත්වනු ලබයි. තම වෘත්තීය දැනුම හා ලේඛන හැකියාව ඔස්සේ සමාජය දැනුවත් කිරීම ඇයගේ අරමුණයි.


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article