සෑම මවකගේම ඒකායන පැතුම වන්නේ නිරෝගී දරුවෙකු මෙලොවට බිහිකිරීමයි. නමුත් සමාන්‍ය තත්ත්වයේ දරුවන් මෙන්ම කායික ක්‍රියාකාරකම්වල නොයෙකුත් අඩුපාඩු ඇති දරුවන් ද සමාජයේ අනන්තවත් දක්නට ලැබේ. ඇතැම් මව්වරුන් දරුවන්ගේ නොයෙකුත් අසාමාන්‍යතා හමුවේ වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමු වුවත් ඇතැමුන් නොදැනුවත්කම, ලැජ්ජාව යන හේතු මත එසේ යොමු වන්නේ නැත. මෙවැනි කායික දුර්වලතා වෙනුවෙන් පූර්ණ සුවය ලබාදිය නොහැකි වුවත් භෞත චිකිත්සක ප‍්‍රතිකාර කරම හරහා ඒවා පාලනය කළ හැකිය.
තාක්‍ෂණයේ දියුණුවත් සමගින් වෛද්‍ය විද්‍යාව ද ඉතා ඉදිරියට පැමිණ ඇති හෙයින් අතීතයේ දරුවන්ට වඩා අද වන විට මෙවැනි දරුවන් ඉතා වාසනාවන්තය. මන්ද අතීතයේදී කායික ක‍්‍රියාකාරකම් ප‍්‍රමාදයට හේතුව වූ මස්තිෂ්ක ආඝාතය (නොමේරු මොළයට වන හානියකි) ඇති දරුවන් බිහි වී ටික කාලයකින් මිය ගියද ඉතා දියුණු වෛද්‍ය තාක්ෂණය නිසා අද වන විට එවැනි දරුවන්ට ද ජීවත් වීමට වාසනාව ඇත.
දරුවෙකු මේ තත්ත්වයට පත් විය හැකි අවස්ථා :
- පූර්ව ප‍්‍රසව අවධියේදී ඇති වන හානි
උදාඃ කළල අවධියේදී මවට මවට ජර්මන් සරම්ප වැනි වෛරස් රෝග වැලඳීම වැනි අවස්ථාවන් - ප‍්‍රසූතියේදී ඇති වන හානි
ප්රසූතිය ප්රමාද වීම, ප්රසූතියට පෙර දරුවාගේ හිස පහත හැරී නොතිබීම, ප්රසූතිය සඳහා අඬු භාවිතය යන තත්ත්වයන්හිදී දරුවාගේ මොළයට නියමිත ඔක්සිජන් ප්රමාණය නොලැබීමෙන් මොළයට හානි සිදු විය හැකිය. - දරුවා බිහි වූ පසු ඇති වන හේතු
බිලිරුබින් වර්ණකය වැඩි වී කහ පැහැ ගැන්වීමෙන් ද දරුවාගේ මොළයට හානි සිදු වේ. දරුවාගේ මොළයට යන විෂබීජ නිසාද (Encephalitis) වැටීමෙන් හිසට වෙන අනතුරු නිසාද මේ තත්ත්වය ඇති විය හැක. මේවාට අමතරව ජානමය හේතු නිසාද තයිරොක්සින් වැනි හෝමෝනවල අසමතුලිතතා නිසාද දරුවන්ගේ කි්රයාකාරකම් ප්රමාද විය හැක.
පහත ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් එම දරුවා කායික කි‍්‍රයාකාරකම් ප‍්‍රමාද දරුවෙක් ලෙස සැලකිය හැකිය.
- වයස මාස 4-5ක් ඉක්ම වූ දරුවාට හිස කෙළින් තබාගත නොහැකි නම්
- වයස මාස 6-7 ඉක්ම ගියද දරුවාට තනිවම පෙරළීමේ හැකියාව නොමැති නම්,
- වයස මාස 9-12 ඉක්ම ගියද දරුවාට තනිවම වාඩි වීමේ හැකියාව නොමැති නම්,
- වයස මාස 12 ඉක්මවා ගියද ආධාරකයක් සහිතව හෝ සිටගෙන සිටීමට නොහැකි නම්,
- වයස මාස 16-18 ඉක්ම වුවද ආධාරකයක් රහිතව ඇවිදීමට නොහැකි නම්,
මෙවන් දරුවන් පෙන්නුම් කරන වෙනත් ලක්‍ෂණ ලෙස :
- අත් පා දරදඬු කරගෙන සිටීම
- පේශීන් වඩා මෘදුබවින් යුක්ත වීම
- අත් පා වෙව්ලීම
- පාලනයකින් තොරව අත් කකුල් චලනය වීම
- මන්ද බුද්ධික වීම
- බිහිරි භාවය
- අන්ධ භාවය
- කතා කිරීමට ප‍්‍රමාද වීම
- නිතර ඇඞීම
- කෙළ ශ‍්‍රාවය වැඩි වීම හා කායික කි‍්‍රයාකාරකම් ප‍්‍රමාද වීම පෙන්වා දිය හැක.
මස්තිෂ්ක ආඝාතය වර්ග 4කි.
- ස්පෑස්ටික් වර්ගය – මෙහිදී පේශින්වල තානය වැඩිය.
- ෆ්ලැසිඞ් වර්ගය – මෙහිදී පේශිවල තානය අඩුය.
- ඇතිටොයිඞ් වර්ගය – පාලයකින් තොර වූ චලන බහුල වර්ගයකි.
- මිශ‍්‍ර වර්ග – සියලූ වර්ග මිශ‍්‍රව ඇත.
රෝග ලක්ෂණ :
- අනුදැනුම මත කරන චලන අඩු වීම
- සංවේදන දුර්වලතා
- විකෘතිතා
- මන්ද බුද්ධික බව
- මානසික අසමබරතාව
- වලිප්පුව
මෙහිදී විශාල වශයෙන් දැක ගත හැකි වන ලක්‍ෂණය වන්නේ අනුදැනුමින් තොරව චලනයන් සිදුවීමයි. එනම් දරුවාගේ පාලනයක් ඇතිව සිදු කෙරෙන චලන අඩු වීමයි. එයට බලපාන ප‍්‍රධාන හේතුවක් වනුයේ දරුවාගේ පේශින්වල තානය වැඩි වීමයි. (Hypertonia) මෙම තත්ත්වය ස්පැස්ටිසිටි (Spasticity) ලෙස හඳුන්වයි. මෙම ස්පැස්ටිසිටි තත්ත්වය සමහර පේශීන්වල වැඩි වශයෙන් ඇති අතර සමහර විට විරුද්ධ පේශියේ තානය අඩු වීමක්ද දක්නට ලැබේ.
ස්පැස්ටිසිටි තත්ත්වය අඩු වැඩි වීමට බලපාන සාධක කීපයකි.
- දරුවා නොසන්සුන් හෝ බය වීම
- දරුවාව හසුරුවන වැරදි ඉරියව්
- නිසි උපදෙස්වලින් තොරව උපකරණ භාවිතය හා නුසුදුසු ව්‍යායාම
සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයකු රෝගියා ඇගයීමකට ලක්කළ යුතුය. ඔහු භෞතචිකිත්සක ප‍්‍රතිකාර සහ ව්‍යායාම තීරණය කරයි. මෙම ව්‍යායාම ප‍්‍රතිකාරමය ව්‍යායාම (Therapeutic exercises) වේ.
රෝගියා ද සන්ධි චලනය කළ යුතු දිශාව, පේශියට දිය යුතු බලය, පේශියේ ස්පර්ශ කළ යුතු ස්ථානය, සන්ධි නැවිය යුතු කෝණය, ව්‍යායාමය කරන වේගය, ව්‍යායාමය එක් වරකදී කළ යුතු වාර ගණන, දිනකට කළ යුතු වාර ගණන භෞතචිකිත්සකවරයා තීරණය කරයි. රෝගියාගෙන් රෝගියාට එය වෙනස් වේ. රෝගියාගේ ධාරිතාව සහ රෝගී තත්ත්වය අනුව එය වෙනස් වේ. එකම රෝගී තත්ත්වයේ එනම් මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන් 100ක් ගතහොත් එම 100 දෙනාට කරන ක‍්‍රම වෙනස් වේ. ඒ මොළයට වී ඇති හානිය විවිධ වීමත් රෝග ලක්ෂණ විවිධ වීමත් නිසාය. මෙම ස්පැස්ටිසිටි තත්ත්වය පාලනය නොකළොත් සාමාන්‍ය නිවැරදි චලන රටාවලට බාධා ඇති වේ. එමෙන්ම සාමාන්‍ය රටාවට චලනය නොවන නිසා එසේ කිරීමට අවශ්‍ය පෙශීන් හරියාකාරව කි‍්‍රයා නොකිරීමෙන් එම පේශීන් සිහින් වී දුර්වල වී යා හැකිය. එවිට නියම චලනය ලබාගැනීමට තව තවත් අපහසු වේ.
එමෙන්ම ස්නායු පද්ධතියට හානි වී ඇති නිසා ප‍්‍රතීක කි‍්‍රයා ද අසාමාන්‍ය වී තිබේ. ස්නායු පද්ධතිය වැඩෙත්ම එක් එක් කාලවලදී අතුරුදහන් විය යුතු ප‍්‍රාථමික ප‍්‍රතීක කි‍්‍රයා පවතී. උදාහරණ ලෙස එසිමෙට්ටි‍්‍රකල් ටෝනික් නෙක් රිෆ්ලෙක්ස් (Asymmetrical tonic neck Reflex) පෙන්වා දිය හැක. මෙය සාමාන්‍ය දරුවෙකුගේ මාස තුනේදී අතුරුදහන් විය යුතු වුවත් මොළයට වන හානිය හේතුවෙන් මොළය සෙමින් වැඩෙන බැවින් මෙම ප‍්‍රතීක කි‍්‍රයාව අතුරුදහන් වීමට විශාල කාලයක් ගත වේ. මොළයට හානි වූ තරම අනුව අතුරුදහන් වීමට ගතවන කාලය වෙනස් වේ. මෙම ප‍්‍රතීක කි‍්‍රයාවේදී දරුවාගේ හිස එක් පැත්තකට හැරවූවොත් නිකට පිහිටා ඇති පැත්තේ අත වැළමිටෙන් දිග හැරී හිස පිටුපසට ඇති අත වැළමිටෙන් නැවේ. මෙම ප‍්‍රතීක කි‍්‍රයාව අතුරුදහන් වන තුරු දරුවාට තම අනුදැනුම ඇතිව අත චලනය කිරීමට අපහසු වේ. මෙම ප‍්‍රාථමික ප‍්‍රතීක කි‍්‍රයා අතුරුදහන් කරවීමට භෞතචිකිත්සකවරු විවිධ ඉරියව් හඳුන්වා දී ඇත. මෙලෙස ප‍්‍රාථමික ප‍්‍රතීක කි‍්‍රයා විශාල ප‍්‍රමාණයක් ඇත. ඒටැක්සියා (Ataxia) යනු ඉන් එක් ප‍්‍රතීක ක‍්‍රියාවකි. අනුමස්තිෂ්කයට වන හානි හේතුවෙන් මෙම තත්ත්වය ඇති වේ. රෝගියාගේ සමබරතාව සහ සමායෝජනය නැති වී යාම මෙහිදී සිදුවේ.
මෙම සියලූ තත්ත්වයන් සඳහා භෞතචිකිත්සක ප‍්‍රතිකාර අත්‍යවශ්‍යය. භෞතචිකිත්සක ප‍්‍රතිකාරවලින් රෝගියා ක‍්‍රමක‍්‍රමයෙන් දියුණුවට පත් වේ. එය සමහර විට ඉතා සෙමින් සිද්ධ වෙන බැවින් දෙමාපියන් එය ඉවසාගෙන එම ප‍්‍රතිකාර හොඳින් ඉගෙනගෙන ගෙදරදී කළ යුතු සියලූ ව්‍යායාම වර්ග, ඉරියව් ගත කරන ක‍්‍රම, වඩාගන්නා හැටි, වැනි සියලූ දේ නිසියාකාරව කළ යුතුය. මේ ස`දහා අවශ්‍ය වන්නේ සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමයි. ප‍්‍රතිකාරවල හරය නම් දරුවාගේ සාමාන්‍ය චලන සහ කි‍්‍රයාකාරකම් පහසු කිරීමේ ක‍්‍රමවේද පිළිබ`දව උනන්දු කිරීමයි. දරුවාගේ හිස කෙළින් තබාගැනීමට, මුණින් පෙරළීමට, බඩගෑමට, ආධාරකයක් රහිතව ඉඳගෙන සිටීමට, දණගෑමට, හිටගැනීමට සහ ඇවිදීමට අදාළ කි‍්‍රයාකාරකම්, ඉරියව් සහ ව්‍යායාම භෞතචිකිත්සකවරු විසින් කරවනු ලබයි. එමෙන්ම අතුරුදහන් කළ යුතු ප‍්‍රාථමික ප‍්‍රතීක කි‍්‍රයාත්, වර්ධනය කළ යුතු ප‍්‍රතිකි‍්‍රයාත් විවිධ ඉරියව් ම`ගින් භෞතචිකිත්සකවරු විසින් කරවනු ලබයි.
එමෙන්ම එක් එක් දරුවාට අදාළ විකෘතිතා, මාංශ පේශි කෙටි වීම්, සන්ධි තද වීම්, ඇද වීම ආදි දේ සඳහා නොයෙකුත් විවිධ ව්‍යායාම වර්ග භෞතචිකිත්සකවරු විසින් හඳුන්වාදෙනු ලබයි. මෙම ව්‍යායාම අතර, සන්ධි චලනය කරවන ව්‍යායාම (Mobilizing exercises) මෘදු පටකවල දිග නියතව පවත්වා ගැනීමට ඇදීමට ලක්කරන ව්‍යායාම (Stretching exercises) සන්ධි අවට මාංශ පේශි ශක්තිමත් කරවන ව්‍යායාම (Strengthening exercises) සමායෝජන ව්‍යයාම (Co-ordination exercises) සහ ස්නායු ග‍්‍රාහක සහ පේශීන් උත්තේජන ව්‍යායාම (Proprio receptive Neuromuscular Facilitation) යන ව්‍යායාම ප‍්‍රධාන තැනක් ගන්නා අතර ප‍්‍රතිකාරමය ව්‍යායාම තව බොහොමයක් ඇත.
පේශීන් ඇදීමට ලක්කරන ව්‍යායාම කිරීම ගැන මේ දිනවල වෙනත් මතවාදයක් ඉදිරිපත් වී ඇතත් සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරුන්ට දරුවාගේ ස්පැස්ටිසිටි තත්ත්වය වැඩි නොවෙන සේ එය සිදු කිරීමේ හැකියාව ඇත. රිද්මයානුකූලව, දරුවාට නොරිදෙන ලෙස, විද්‍යානුකූලව කිරීමට භෞතචිකිත්සක පාඨමාලාවන්වලදී ඔවුන් නිසි පුහුණුව ලබා ඇති අතරම ඔවුන්ගේ මග පෙන්වීම අනුව නිවැරදිව එය සිදුකිරීමෙන් දරුවාගේ පේශිවල තිබිය යුතු දිග ඒ ආකාරයෙන්ම පවත්වාගත හැක. පේශී ඇදීමට ලක්නොකරන, ඉරියව් මගින් පමණක් ප‍්‍රතිකාර කිරීමෙන් විශාල රෝගීන් සංඛ්‍යාවක් නොයෙකුත් සංකූලතා ඇතිව එනම්, පේශි කෙටි වීම් (Contractures) සහිතව අපට හමුවී තිබේ. මෙවැනි තත්ත්ව යටතේදී දරුවාගේ ප‍්‍රමාද වී තිබෙන කි‍්‍රයාකාරකම් නැවත ලබාගැනීම අපොහොසත් වනවා පමණක් නොව සදාකාලිකවම දරුවා ඇඳට සීමා කිරීමට ද සිදු විය හැක. සැමවිටම ප‍්‍රතිකාරවලදී භාවිත කරනු ලබන විවිධ උපාංග පිළිබ`ද පූර්ණ දැනුමක් ඇති නිසි පුහුණුවලත් පළපුරුදු භෞතචිකිත්සකවරයෙකු යටතේ තම ප‍්‍රතිකාර ලබාගැනීමට උනන්දු විය යුතු වන්නේ ඒ නිසයි.
දෙමාපිය අවධානය උදෙසා
මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන්ට ප‍්‍රතිකාර කරන කණ්ඩායමේ සාමාජිකයන් විය යුත්තේ,
- ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙක්
- වෛද්‍යවරුන්
- භෞතචිකිත්සකවරුන්
- වෘත්තීය චිකිත්සකවරුන්
- භාෂා හා කථන චිකිත්සකවරුන්
- විකලාංග කාර්මික
- විශේෂ පුහුණු ගුරුවරු
- හෙදිය
- දෙමාපියන් යන අයයි.
මෙම එක් එක් විශේෂ වෘත්තිකයන්ට අයත් කාර්ය ඒ ඒ අය මනාව ඉටු කරන කල්හි රෝගියාට සෙතක් සිදු වෙන අතරම අදාළ කාර්යය පිළිබඳව විශේෂ වෘත්තිකයන් මෙම කණ්ඩායම තුළ සිටිද්දී වෙනත් වෘත්තිකයන් තමන්ට අදාළ නැති කර්යයන්වල නිරත වෙමින් රෝගීන්ට වැරදි උපදෙස් දීම දැන් දැන් ලංකාව තුළ දක්නට ලැබෙන අවාසනාවන්ත තත්ත්වයකි. රෝගීන්ගේ දෙමාපියන් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර තම දරුවාට නිසි උපදෙස්, ඉහත කී කණ්ඩායම තුළ සිටින ඒ පිළිබඳව අදාළ නිලධාරියාගෙන් පමණක් විමසීමට වග බලාගත යුතුය. උදාහරණ ලෙස භෞතචිකිත්සක උපදෙසක් වෘත්තිය චිකිත්සකයන්ගෙන් ද වෘත්තිය චිකිත්සක උපදෙසක් කථන චිකිත්සකයෙකුගෙන් ද බලාපොරොත්තු නොවන්න. තම තමන්ගේ රාජකාරී ලැයිස්තු අනුව තමන්ට අදාළ රාජකාරි හරියට ඉටු කළොත් රෝගියාට ගුණාත්මක ප‍්‍රතිකාරයක් ලැබෙන බව අවුරුදු 25ක වෘත්තිය අත්දැකීම් තුළින් අවධාරණය කිරීමට කැමැත්තෙමි.
– කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි –