- Advertisement -

පූර්ණ කාලීණ මව්වරුන්, නිර්මාණශීලී මුදල් උපයන්නියන් වන්නේ කෙසේද​?

-

මගේ මුල් ලිපිය එනම් “මව්වරුනි…ඔබ, ඔබේ රැකියාව අත් හැරියත්, ඔබ තුල ඇති ශක්තිය අත් නොහරින්න” ලිපිය කියවා, ඒ සදහා ප්‍රතිචාර ලබා දුන් මව්වරුන් එහි දෙවෙනි ලිපියක් ලෙස මෙය ලිවීමට මා පෙලබවීය. රැකියාව අතහැර නිවසේ නැවතුන මවකට නිවසේදීම කල හැකි දේ බොහෝය. දරුවන් ගේ, සැමියාගේ සහ නිවසේ වැඩ කටයුතු වලට පමණක් තම හැකියාව හා දැනුම සීමා නොකොට ඉන් තමන්ට මෙන්ම අනුන්ටද වැඩදායි කටයුත්තක නියැලෙන්නේ නම් ඉතා අගනේය. නිකම්ම නිකම් ගෘහනියක් පමණ්ක් නොවී ඉන් ඔබ්බට සිතා බැලීමට ඔබට දැන් කාලය එළබ ඇත.

පූර්ණ කාලීන මවක් හා ගෘහණියක් වූ ඔබ, නිවසේ සියලු වැඩ කටයුතු වලට සමගාමීව කිරීමට යන මෙම අමතර කටයුත්ත ඔබට ගතට මෙන්ම සිතටද සැනසීමක් සතුටක් ලබා දීමට සමත් විය යුතුය. එනිසා මේ සදහා ඔබ තෝරාගත යුත්තේ තමන් තෘප්තිමත් වන අයුරින් කළ හැකි දෙයක් වන බව මාගේ අදහසයි.

- Advertisement -

ඔබ සැමගේ අධ්‍යාපන මට්ටම සාමාන්‍ය පෙළ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා එකිනෙකාට වෙනස් වේ. පෙරදී ඔබ කල රැකියාව ඒ සුදුසුකම් මත ලබා ගත් ඒකකි. එවන් වටිනා රැකියාව ඔබ මේ වන විට අත්හැර අවසන් ය. එනිසා පළමුව ඔබ විසින් කළ යුත්තේ ඔබ කළ රැකියාව සහ ඔබගේ ඉහත කී සුදුසුකම් මුලු හිතින්ම අමතක කර දැමීමයි. මක් නිසාද යත්,ඉහත කී කාරණා ඔබ නොදැනුවත්වම ඔබ තුල පුහු මානයක් ඇතිකරලන බැවිනි. ලජ්ජාවක් ඇතිකරලන බැවිනි. එම මානය, ලජ්ජාව නිසා ඔබට ඔබේ ඉදිරිය නිසියාකාරව නොපෙනේ. එය ඔබට ඔබෙ ඉදිරිය පිළිබද පැහැදිලි තීරණයක් ගැනීමට ඉඩ නොදෙයි. ඔබට, ඔබේ සිතට නිදහස්ව සවන් දීමට ඉඩ නොදෙයි. (මතක තබා ගන්න. මෙය තාවකාලික අමතක කිරීමක් බව. ඔබ උගත් දෑ, ඔබ ගන්නා කවර හෝ තීරනයක් ඉදිරියට ගෙන යාමට සහ එය අන් අයට රැකියාවන් ජනනය කරවීම දක්වා දියුනු වූ කර්මාන්තයක් බවට පත් කර ගැනීමට ඔබට අනිවාර්යයෙන් අනාගතයේදී උපකාරී වේවි.)

මේ වෙබ් අඩවියට සමගාමීව දිවෙන www.womanly.lk වෙබ් අඩවියේ පළවී තිබෙන එක ළිපියක් මට අහම්බෙන් මෙන් මුණගැසුනි. එය කියවීමෙන් ඔබට නිවසේදී කල හැකි, අමතර ආදායමක් ද ලබා ගත් හැකි විනෝදාංශ කීපයක් සදහන් කර තිබේ. එනම් සුබ පැතුම් පත් නිර්මාණය, ආභරණ නිර්මණය, ඇදුම් මැසීම, ඡායාරූපකරණය, කේක් සහ ආහාර වර්ග සැකසීම. මීට අමතරව තවත් බොහෝ විනෝදාංශ ද සහජ හැකියාවන්ද ඔබට තිබේ. රූපලාවන්ය, ලිවීමේ හැකියාව, භාණ්ඩ ගැනුම් සහ විකිණිම්, ස්ව නිර්මාණ(DIY Crafts), සේවා සැපයීම යනාදිය ඉන් කිහිපයක් වේ. එමෙන්ම ඔබගේ අධ්‍යාපන මට්ටම පසුබිම් කරගනිමින් නිවසේදී කල හැකි යමක් ඔබට ආරම්භ ක්ල හැකියි. උදා:- වෛද්‍ය සේවාවන්, උපදේශන සේවාවන්, ගිනුම් කටයුතු, ජනමාධ්ය ලිපිලේඛන, උපකාරක පන්ති මින් සමහරක් ය.

රැකියාව කරන සහ නොකරන සියලුම මව්වරුනි! අප, පුහුදුන් මනසකින් යුතුව ” අපව අගය කල යුතුයි, අපි තමා වඩාත් කැපකිරීම් කල  උදවිය, අපි තමයි කාල කලමනාකාරීත්වයෙන්  උසස්ම” යැයි එකිනෙකාට කියා නොගෙන ඉන් ඔබ්බට  පියවර කීපයක් ඉදිරියට තබමින් ඒකිනෙකාට උදව් දී ඔවුනොවුන් ගේ තත්වය ඉහලට දැමීම වඩා කාලෝචිතයැයි මම පිලිගනිමි. මේ පුංචි පනිවිඩය, දැනට රැකියාවේ නියලෙන දක්‍ෂ මව්වරුන්ටයි. නිවසේ වසන මව්වරුන් රැකියාව කරන මව්වරුන් මෙන් ආර්ථිකය අතින් ශක්තිමත් කරගැනීමට ඔවුන්ව දිරිමත් කරමු. ඔවුන්ද අන් අයට රැකියා මවන්නියන් බවට පත්කරමු. මේ සමාජයේ සියලුම කාන්තාවන් කෙසේ වෙතත්, බහුතරයක්වත්  තවෙකෙකුගෙන් පූර්ණකාලීනව යැපෙන්නේ නැති තත්වයට පත් කරමු.

අපේ කාන්තාවන් හරිම දක්‍ෂයි; හරිම නිර්මාණශිලීයි. නිදහසේ ඔවුන්ට සිතීමට ඉඩකඩක් ලැබුනොත් ඔවුන්ට ඉතා අලංකාර අදහස් පහල වේ. මම ද පූර්ණකාලීණ මවක් ව හිඳිමින් ඉතා සාර්ථකව Facebook හරහා මගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යමි. මේ කටයුත්ත කරගෙන යාම සඳහා මම දවසේ වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලය හා සම්බන්ධව සිටිමි. එවිට Facebok පසුබිම් කරගනිමින් දිවෙන ඉතා රසවත් පිටු මට මුනගැසෙයි. ඉන් කිහිපයක් මම මෙසේ සඳහන් කරමි. එක් මවක්, අද කාලයේ දෙමාපියන් ගේ කාර්‍ය බහුලත්වය හේතුවෙන් කර ගැනීමට ඉඩ නොලැබෙන  දරුවන් ගේ පාසල් පොත් වලට පිටකවර දැමීම සුලු කටයුත්තක් ලෙස කරගෙන යනු ලබයි; ඉන් ආදායමක් ද අැය උපයා ගනී . තවත් මවක් , අද පෙර පාසල් වලට සහ කුඩා ලමුන් ගේ ප්‍රීති උත්සව වලදී නිතරම භාවිතා කරගන්නා Play dough (පිටි වලින් සාදා ගන්න , දරුවන් ට සෙල්ලම් කිරීමට උපකාරී වන ගුලියක්) සෑදීම තමාගේ සුලු ව්‍යාපාරයක් ලෙස කරගෙන යයි. තවත් මවක් ඉතා අලංකාර සුභ පැතුම් පත් නිර්මාණයෙන් අරඹා දැන් සාර්ථක ලෙස අලංකාර උත්සව සැරසිලි නිර්මාණය දක්වා තම ව්‍යාපාරයක් දියුනු කරගෙන සිටී.

මෙවන් වූ උදාහරණ මා ඔබට ගෙන හැර දැක්වූවේ, මේ කියවන ගෙදර ඉන්න අම්මලාව දිරිමත් කිරීමටයි. නිකමට හිතන්න, ඔබත් කෙසේ හෝ කීයක් හරි උපයා ගන්නේ නම්, ඔබේ එදිනෙදා මෙන්ම අනෙකුත් විශේෂ අවශ්‍යතා සපුරා ගැනීම ඔබටම කරගත හැකිනේද? ඒ වගේම ඔබේ ස්වාමි පුරුශයාට ආර්ථිකමය වශයෙන් සුලු හෝ සහයෝගයක් ලබාදෙන වටිනා,ආදර්ශමත් බිරිඳක් විය හැකි නේද? මා හැම විටම පවසන පරිදි ඔබ, ඔබ තුල අැති ශක්තිය හඳුනා ගෙන එය ඉහලට ගෙන එන්න. ඔබ, ඔබේ හා දරුවන් ගේ, සිය පවුලේ අනාගතය හා අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා කිසිඳු තීරණයක් පිළිඹඳව පසු නොතැවෙන්න. ඉදිරියටම යන්න.

තවත් මෙවන් වූ ලිපියකින් නැවත ඔබ හා ඉක්මනින්ම සමීප වෙමි! ආයුබෝවන්!

 කතුවරිය ගැන


Umandaඋමන්දා මුතුකුඩආරච්චි
මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරිනියක්. බහුජාතික සමාගම් දෙකකම ඉහල රැකියාවන් වල නිරතව අත්දැකීම් පරිපූර්ණව සිටි ඈ, ඊටත් වඩා උතුම් වූ රාජකාරියක් සඳහා ඇගේ වෘතියෙන් සමුගත්තා. ඒ නම්, පූර්ණකාලීන මවක් වීමේ අරමුණෙන්. දැන් ඇය පුතුන් දෙදෙනෙකුගේ මවක්. ඊට අමතරව ඇය නිවසේ සිට පවත්වාගෙන යන ඇගේම ව්‍යාපාරයක හිමිකාරිනියක්. ඇගේ ව්‍යාපාරයේ Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න www.facebook.com/aumjewellery .


LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article