ජීවිතය අතීතය වර්තමානය හා අනාගතය නම් කාල පරාසයන් පසු කරමින් ,මුහුණ දෙමින් ,මුහුණ දෙන්නට සූදානමින් රිද්මයානූකූලව ගලා යයි. වර්තමානය ගෙවී යමින් අතීතයට එක්කාසු වන විට එයින් ලද අත්දැකීම් අනාගතයට බෙහෙවින්ම වැදගත්ය. ඒ ජිවිතය පෝෂණය වන්නේ අත්දැකීම් තුලින් නිසාවෙන්මය. කාලය යනු ආශ්චර්යකි.අතීතයේ දිනකදී මා අම්මාගේ අකැයෙහි උණුහුම විඳිමින් නැළවුන අම්මාගේ සුරතල් දඟකාර දෝණියයි. අද මා අකැයෙහි උණුහුම විඳිමින් සුරතල් වන පුතු පැටවුන්ගේ අම්මා මමය. එළඹෙන අනාගතයේදී මා ආදරණිය මිත්තණියක් වනු ඇත. ඉදින් මේ කාලය මවන වෙනසෙහි අරුමයය. දරුවන් නමින් සෙනෙහස දෝර ගලා යන සෑම මව් හදවතකම නැගෙන සිතුවිලි වල සමානාත්මකතාවයක් මා දකිමි.
විටෙක මා වික්ෂිප්ත වෙමි. මේ මමමද… ඔව් මේ මමමය. කාලය ගෙවී ගොස් අප වයසින් මුහුකුරා ගොස්ය.ළදැරිය, යුවතිය ,පතිනිය, මව ,මිත්තණිය ලෙස කාන්තාවක් ජිවිතයේ විවිධ අදියරයන් පසු කරන විට එහි සුවිශේෂීම සංධිස්ථානය මවක් වීම යැයි මට සිතේ. අම්මා මිහිපිට ඇති ජීවයේ මැවුම්කාරිය ඇයයි. අම්මා අහසක් සේය. අම්මා පොළවක් සේය.අම්මා මෙන් අහස සේ දරා ගන්නා පොළව සේ උසුලා සිටින්නියක් මට කෙදිනකවත් හමුවී නැත. නව ජීවයකට උපත සදන සොඳුරු නවා තැන අම්මාගේ කුසය. කුළුඳුලේම මවක් වීම ඉමහත් බැරෑරුම් කාරියකි. මා කුස තුල නව ජීවයක් නවාතැන් ගත් බව දැනගත් නිමේෂය අදද මට සිහිනයක සේයාවක් මෙන් හදවතේ ඇඳී යයි. අම්මාගේ විසේකාර දඟකාරිය, බඩ පිස්සී “අම්මා” යන සොඳුරු ආමන්ත්‍රණයට හිමිකාරියක් විය.ඉතින් එයින් මා කෙතරම් වික්ශිප්ත වූවාද? හිස් මුදුනෙන් ඇරඹුන විදුලි සැරයක් පාදාන්තය දක්වාම විහිද ගියා සේ දැනුනි. සතුට ,බිය මුසුව හදවත ස්පන්ධනය වන වේගය පවා වේගවත් විය. කෙසේ මම මේ අවස්ථාවට මුහුණ දෙන්නද උ? මම මගෙන් ඇසූවෙමි.
ගැබිණියක් වන විට තම සිතුම් පැතුම්, ඇවතුම් පැවතුම් ,ඇඳුම් පැළඳුම්, ගමන බිමන ආදී දෛනික ජීවිතයම වෙනසකට ලක් වන්නේ නිරායාසයෙන්මය. දසමසක්ම මේ නුදුටු අමුත්තා වෙනුවෙන් පේවෙන්නීය. අඩුම වශයෙන් උණක් හෙම්බිරිස්සාවක්වත් නොසෑදී ඉන්නට මාද වගබලා ගත්තා මට මතකය. ඒතරමටම මා මගේ සෞඛ්‍යය පිළිබඳ මා සැලකිලිමත් වූයේ මගේ අසනීප තත්ත්වයන් මගේ නූපන් දරු පැටියාට ගැටලුවක් වේ යැයි සිතූ නිසාවෙන්මය.
අබ ඇටයක් තරමින් ඇරඹි ජීවය මොහොතින් මොහොත කුස තුල වර්ධනය වන විට දැනෙන ශාරිරික වෙනස්කම් අසීමිතය. හෝමෝන වෙනස්වීම නිසා වමනය, හිසරදය, කරකැවිල්ල, ආහාර අරුචිය වැනි අපහසුතා ඇති වන්නාසේම නොයෙකු සුවඳ පවා ගන්ධයන් සේ දැනෙන්නට විය. ගර්භණීත්වය හා බැඳුනු බොහෝ ගැටළු මටද පොදු විය. සෑම මසකට වරක්ම සායන වලට මා නොවරදවාම ගියෙමි. දරුවා නීරෝගීව වර්ධනය බව වෛද්‍යතුමා පවසන විට මා අපරිමිත සතුටකින් දැඩි ස්නේහයෙන් මගේ කුස පිරිමැද්දෙමි. මා මවක් වූ බව දැන ගත් දිනයට පසු දිනයේම මගේ සැමියා මට “ඔබත් දැනුවත් මවක් වන්න” යන පොත තිළිණ කළේය. සත්තකින්ම එය මට මහා පිටුවහලක් විය. කළලය වර්ධනය වන විට ටිකෙන් ටික කුසද මෝරා වැඩෙන්නට විය. සති 18ක් 19 පමණ වන විට ප්‍රථම වරට මගේ පුංචි දඟයාගේ දැඟලීම මා අත්වින්ඳෙමි. කුස පිරිමදිමින් කවි ,ගී ගැයුවෙමි. පුංචි කතන්දර කියා දුන්නෙමි. කුස තුල සිටින්නේ දුවක්ද පුතෙක්ද යන්න ස්කෑන් පරික්ෂණයකින් දැන ගත හැකි වුවත් එය කලින්ම දැන ගන්නට මට ඇවසි වූයේ නැත. මා පැතුවේ ස්වභාවික දරු උපතක්මය. එහිදී දැනෙන හැඟුමන් සජීවීවම අත්විඳින්නට මා ආශා කළෙමි.
සති 34 ක් පමණ වන විට හිටි හැටියේ මගේ දඟයා රාත්‍රිය පුරාවටම දඟ නොකළාය. අම්මා කෙනෙකුගේ හදවතෙහි දරුවන් වෙනුවෙන් උපදින කප්පරක් සෙනෙහස නිසාවෙන් දරුවන්ට කරදරයක් වු විට දැනෙන හැඟුමන් මා ප්‍රථම වරට අත්වින්දෙමි.නොනවත්වාම දෙනෙතින් කඳුළු ගලා හැලෙන්නට විය. මුව ගොළු වී ඇත. සිත ගිණියම් වී ඇත. ඉතින් මා වෛද්‍යවරයාට කෙසේ පහදන්නද?
“මගේ බබා ඊයේ රෑ ඉඳලා දඟලන්නෙ නැහැ” සිතට වාරු ගත් මා අවසානයේ වදන් එකතු කොට පැවසුවෙමි. මා පරික්ෂා කර බලා අහවර කළ වෛද්‍යවරයි මගේ දෙනෙත් දෙස එක එල්ලේ බලා උන්නාය. මා තවත් බියට පත් වුණෙමි.
“අම්මලා ඔහොමම තමයිනේ… ප්‍රශ්නයක් නැහැ දරුවෝ ඔයාගේ පැටියට දැන් ටිකක් ඉඩ මදි දඟලන්න. එයා හොඳට නිදාගෙන ඊයේ රෑම”
හිස මත තිබූ මහා බරක් නිදහස් විය.
“අනේ මගේ පැටියෝ ඔයා මාව කොච්චර බය කළාද? ” කුස පිරිමදිමින් මා මිමිණීය.
සති 38 වන විට මගේ පැටියා මේ ලෝකයට වඩින්නට සූදානම් විය. ලොව ඇති උපරිම වේදනාව අත්විඳින්නට මා සුදානම් විය. දෑස් තරයේ වසාගත් මගේ සිත අභියසට ආවේ මගේ ආදරණීය අම්මාය. අම්මා අප පස්දෙනෙකු මෙළොවට ජනිත කරන්නට මේ තරමටම වේදනාවක් උහුලන්නට ඇත. අම්මා නමින් මගේ සිත ආදරයෙන් හා භක්තියෙන් පිරීගියේය. අම්මා… මගේ වේදනාව අතරින් මිමිනූ එකම වදන විය. උං ඈ උං ඈ… ඒ මගේ පැටියාගේ ප්‍රථම හැඬුමය. මෙතෙක් මා ලද වේදනාව අතුරුදන් විය. මා හිස ඔසවන්නට තැත් දැරූවෙමි.
“ඔන්න ඔයාට පුතෙක් මෙන්න බලන්න, හරි ඉක්මණට එක්කරන් එන්නම් ” හෙදිය පවසද්දි මා සිනාසුනෙමි
ඔය රෝස කම්මුල් වල
හාදු හුඟක් තවරද්දි
නුඹ උන්නා සුව පහසුව ඔහේ…
සිහිනයෙන් නුඹ හිනැහෙද්දි
සිහිනයෙන් නුඹ හඬද්දි
මං උන්නා නුඹ දිහා බලා ස්නේහයෙන්…
දසමසක් පෙරුමන් පුරා
දෝතට වැඩිය වස්තුවේ
ආදරෙයි නුඹට මං මහා හුඟක්…