විභාග සමත් ජීවිත අසමත් අපේ දරුවො

child_study_hard

සත්තකින්ම අපේ ජීවිත කොයි තරම්  යාන්ත්‍රික වෙලාද කියලා හිතෙනවා. උදෑසනම අවදි වෙන අපේ දරුවො නිදි බර දෙනෙතින්ම තවත් දවසක ඇරඹුම සටහන් කරනවා. අනේ ඉතින් උදේ ඉඳන් රාත්‍රිය උදාවෙනතුරුම අපේ දරුවො ඉගෙන ගන්නට දරන්නේ සුලු පටු සටනක්ද? මුලින්ම මම දරුවන්ට වඩා දෙමාපියන්ට වඩා වැදගත් ශිෂ්‍යත්ව විභාගයෙන්ම පටන් ගන්නම්කෝ. මගේ පුතා දෙක වසරේ ඒ කියන්නේ ලබන වසරේ තුනේ පන්තියේ. අම්මෝ ශිෂ්‍යත්වයට පේ කරන වසර. පහවසර ශිෂ්‍යත්ව විභාග  ප්‍රශ්න පත්‍ර කිහිපයක් සොයා ගත්ත මම ඒවා නිරීක්ෂණය කලා.  ශිෂ්‍යත්ව විභාගයෙ ඉහළම ප්‍රතිඵල බැලුවොත් ගම්බද ප්‍රදේශ වල දරුවන් තමයි ඉහළින්ම සිටින්නේ. ශිෂ්‍යත්ව විභායේ 70% – 80% පමණම සැකසෙන්නේ පරිසරය ආශ්‍රිතව ගැටලු වලින්. ඇත්තටම ඇත්තටම අපි දරුවන්ට ජිවිතය විඳින්න අවකාශ සලසනවාද? සියොතුන් ගී ගයමින් නැවුම් දිනකට සැරසෙන අපූරුව, උදේට පිපෙන මලක් එහි පෙති විහිදන අපූරුව, ආකාසේ තරුඅමුණගෙන සඳත් සමග රාත්‍රියේ සිසිල බෙදන අපූරුව, මාවවුලන් ,බකමූණන් සේපාලිකා මල් දෑසමන් පිපී රාත්‍රීයේ තවත් සොඳුරු ලොවක අපූරුව ඇත්තටම අපේ දරුවන්ට විඳින්නට ලැබෙනවද? උපකාරක පන්ති වලට යවලා දෙන දැනුමම ඔබට ඔබේ දරුවට මුලු තැන් ගෙයින් , ගෙවත්තෙන්, එදිනෙදා ජීවිතයෙන් ලබාදිය හැකි බව ඔබ මොහොතකටවත් සිතන්නට නැතිව ඇති.

මෙම අල වර්ග අතුරින් වසා තැම්බීමට සුදුසු නොවන්නේ ? 

  1. අල
  2. බතල
  3. මඤ්ඤොක්කා
  4. කිරි අල

නිවසේ වගා හානියට පමුණුවන සතෙකි ? 

  1. මැස්සා
  2. මදුරුවා
  3. කූඹියා
  4. ගොලුබෙල්ලා

රාත්‍රී කාලයේ දැකිය හැකි පක්ෂීන් ?

  1. වවුලා, බකමූණා
  2. පැණි කුරුල්ලා, පොල් කිච්චා
  3. කපුටා, කොහා
  4. කොකා, පිළිහුඩුවා

ඔබ මොකද්ද සිතන්නෙ? පන්ති කාමරයක වාඩි කරවා කියා දෙන මේ දැනුම අපට බෙහෙවින්ම සාමාන්‍ය දේවල් නොවෙද? ඉතින් ඔබේ දරුවා ඔබ මුලුතැන් ගෙයි වැඩ කටයුතු කරන වෙලාවට ඔබ සමග සිටියා නම්, ඔබ ගෙවත්තේ වැඩකරන විට දරුවා ඔබ සමග සිටියා නම් , රාත්‍රියේ මොහොතකට හෝ දරුවා සමග නිදහසේ අර තරු පිරුණු හඳ පායපු අඳුරු අහසෙහි සොඳුරු බව අත්වින්දා නම් දරුවන්ට මේ ගැටලු සාමාන්‍ය ජිවිතයේම කොටසක් බව වැටහෙනවාද? හැබැයි තව කාරණයක්. ඔය හැම වැඩයටම සම්බන්ධ කරගත්තට ඔබ නිහඬව සිටියෝතින් නම් පලක් නැහැ. දරුවන් සමග දොඩමලු වුනොත් විතරයි මේ දැනුම ඔවුන් වෙත ලැබෙන්නේ. දරුවන්ගේ ජීවිත පොත අත්දැකීම් තුලින් පෝෂණය කල හැකි නම් ඔවුන්ට විභාගය මහ කජ්ජක්ද?

පහුගිය දවස් වල වෛද්‍ය සිසුවෙක් තවත් වෛද්‍ය සිසුවෙක් බැන වැදුන නිසා ජිවිතයෙන් සමු ගත්තා. දෙයියනේ ඒ දරුවව අවුරුදු 20 -22 විතර හදන්න ඒ දෙමාපියන් කල කැපකිරීම් බලාපොරොත්තු පුංචි සිදුවීමක් නිසාවෙන් සදහටම අහිමි වුණා. වෛද්‍ය සිසුවෙක් කියන්නේ උගත් දරුවෙක් ඒත් ඒ දරුවගේ බුද්ධිය මෙහෙයවීම නම්  බින්දුවයි. කුඩා කල සිටම අප දරුවන්ට දුක ,සතුට ,අභියෝග වලට මුහුණ දෙන්නට සූදානම් කල යුතුයි. අපේ දරුවො අද පොතේ පතේ දැනුමට පමණයි සීමා වෙලා ඉන්නේ. දැනුම ඔ`ඵ ගෙඩි වල හොඳට තැන්පත් කරගෙන. ඉතින් විභාග එක පිට එක පාස් කරන දරුවො විභාග අතින් විශිෂ්ඨ ලෙස සමත් වෙනවා. ඒත් ජීවිතයට මුහුණ දෙද්දි ඔවුන් ජීවිත වලින් අසමත් වෙන්නේ ඇයි කියන කාරණාව ගැන දෙමාපියන් වශයෙන් අප සිතිය යුතුයි.

අපේ අසල් වැසි නිවසක දියණියක් සිටිනවා. ඇය ඉගෙන ගන්නෙත් මගේ ලොකු අක්කගෙ දියණිය ඉගෙන ගන්න පාසලේ දහ වන වසරේ ඇයගේ පන්තියේමයි. පහු ගිය දිනක අර දියණියව පෙන්නලා මම අපේ දියණියගෙන් ඇහුව්වා “ඔයාගේ යාළුවෙක් නේද?” කියලා

“අයියෝ පුංචි ඒ ළමයා මෙලෝ රහක්නැහැ ,කොයි වෙලෙත් පොත අතේ සෙල්ලමකටවත් එන්නෙ නැහැ”

“ඉතින් ඔයාලා අඬගහලා බලන්නකෝ”

“එයාට යාළුවොත් නැහැ , තනියම ඉන්නේ වැඩිය කතා කරන්නෙත් නැහැ, හැබැයි පන්තියේ පළවෙනියා ”

බොහෝ විට මට ඒ මවත් දියණියත් මුණ ගැහැණෙවා

“ආ අද දුව ඉස්කොලේ ගියේ නැද්ද?”

“නැහැ කලාඋළෙලට පුහුණු කරනවා”

“ඇයි දුව නැද්ද ?”

“අනේ මම යන්න එපා කිව්වා. සින්දු කියලා නැටුවට මොනවද අනෙ ලැබෙන්නේ, ගෙදර ඉඳන් පාඩම් කරනවා.” වැඩෙන දරුවන් අනාගතයේදී ජීවිතය පෙළ ගස්වා ගන්නට නොහැකිව ජීවිතය අසමත් වනු ඇත.අධ්‍යාපනය මෙන්ම කලාව,  ක්‍රීඩාව ද දරුවන්ට තම ජීවිත නිසියාකාරව පෙළගස්වා ගන්නට මහත් රුකුලක්ය. කලාව තුලින් සංවේදී දරුවකුබිහි කරන අතර ක්‍රීඩාව තුලින්ජය පරාජය විඳ ගැනීම ,සාමුහිකව ක්‍රියා කල හැකි දරා ගැනීමේ ශක්තියෙන් හෙබි දරුවකුබිහි කරනු ඇත. තවකෙකුගේ දුකක් වටහා ගත නොහැකි, තවකෙනෙකු හා සාමුහිකව ජීවත් විය නොහැකි, යමක් විඳ දරා ගැනීමේ ශක්තියක් නැති දරුවකුට පැහැබර අනාගතයක් අපේක්ෂා කල නොහැකිය. අපේ දරුවන් පොත් ගුල්ලන් කොට විභාග සමත් කොට ජිවිත අසමත් කරවනවාද යන්න තීරණය කිරීම ඔබ සතුය.

සියොතුන් ගී ගයමින් නැවුම් දිනකට සැරසෙන අපූරුව, උදේට පිපෙන මලක් එහි පෙති විහිදන අපූරුව, ආකාසේ තරුඅමුණගෙන සඳත් සමග රාත්‍රියේ සිසිල බෙදන අපූරුව, මාවවුලන් ,බකමූණන් සේපාලිකා මල් දෑසමන් පිපී රාත්‍රීයේ තවත් සොඳුරු ලොවක අපූරුව දරුවන්ට විඳගන්නට අවකාශ සලසන්න. කලාව මෙන්ම ක්‍රීඩාවද ඔවුන්ගේ ජීවිත වෙත ලං කරන්න.  දරුවන්ටම ජීවිතය අතපත ගා උගෙන ගන්නට කියා දෙන්න. එවිට ඔවුන් විභාග මෙන්ම ජීවිතයද සමත් වනු ඇත.

 

මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here