උපතේදී ඇති වන අනතුරු සහ වැරදි ඉරියව් නිසා දරුවන්ට ඇති වන ටෝටිකෝලීස් හෙවත් බෙල්ලේ ඇදය

child-with-torticollis

ස්ථිර වශයෙන් හෝ තාවකාලිකව බෙල්ලේ ඇති වන ඇඹරීම හෝ ඇදය වක‍්‍රගලස්ථම්ත්වය හෙවත් ටෝටිකෝලිස් යනුවෙන් හැඳින්වේ. මෙය හටගන්නා ස්ථානය අනුව ප‍්‍රධාන වශයෙන් වර්ග කීපයකට බෙදා දැක්විය හැකි වේ. හිස උරහිස දෙසට ඇලවීම (Laterocollis)” හිස අක්‍ෂිස්ථිය දිගේ හැරීම (Rotational torticollis)” හිස හා ගෙල නැමීම (Antero Collis)” හිස උරහිස පිටුපසට නැමීම (Retro Colli) ලෙසයි.

ගෙල ඇදට තබා ගැනීම හෙවත් ”ටෝටිකෝලීස් ”

‘ටෝටිකෝලීස්’ යන ලතින් වදනේ තේරුම ගෙල ඇදයට තබාගැනීමයි. ටෝටිකෝලීස් යන රෝගී තත්ත්වයේදී හිස එක් පැත්තකට හරවාගෙන ඊට විරුද්ධ දෙසට ගෙල ඇදට තබා ගෙන සිටියි. දකුණු උරහිස දෙසට හිස ඇල කරගෙන සිටින දරුවෙකුගේ මුහුණ යොමුවී ඇත්තේ වම් පැත්තටයි. වම් උරහිස දෙසට හිස ඇල කරගෙන සිටින කෙනෙකුගේ මුහුණ යොමුවී ඇත්තේ දකුණු පැත්තටයි.

දරුවා බිහි වීමේදී ඇති වන අනතුරු ටෝටිකෝලීස් තත්ත්වයට ප‍්‍රධාන වශයෙන් හේතු වේ. එනම්, දරුවන් බිහි වීමේදී ප‍්‍රථමයෙන් තට්ටම් ප‍්‍රදේශය පිටතට පැමිණෙන අවස්ථාවලදී දරුවාගේ ගෙලෙහි ඇති ‘ස්ටර්නොමැස්ටොයිඞ්’ (Stern mastoid) නම් පේශිය අනතුරට පත් වේ. තවද සමහර අවස්ථාවලදී දරු ප‍්‍රසුතියේදී අඬුු භාවිත කරන විටද මෙම පේශිය අනතුරට පත් වේ. අනතුරට පත්වූ පේශියට එහි කාර්යය කිරීමට නොහැකි වේ. එනම්, හිස හැරවීමට නොහැකි වේ.

මෙම අනතුරින් මාංශ පේශියේ තන්තු බිඳීමකට ලක් වේ. මෙම තන්තු බිඳීම නිසා බන්ධනී පටක ගුණනය වැඩිවී මෙම පේශිය අර්බුදයක් හෙවත් ගෙඩියක් ලෙස දිස්වෙයි. වැඩිහිටි අයට මෙම මාංශ පේශිවල තාවකාලිකව ඇති වන තද ගතියක් (muscle spasm) නිසාද ටෝටිකොලීස් තත්ත්වය ඇති විය හැකිය. මේ සඳහා තාප ප‍්‍රතිකාර දී පේශී ඉහිල් වීමට ව්‍යායාම දෙනු ලැබේ.

වැරදි ඉරියව් නිසා ටෝටිකෝලීස් තත්ත්වය ඇති වීමටද පුළුවන. බොහෝ අවස්ථාවලදී දෙමාපියන් විසින් දරුවන් එකම අතට තබාගෙන මව්කිරි දීම, නිදි කරවීම ආදී වැරදි ඉරියව් නිසා මාංශ පේශීන් කෙටි වීමෙන් මේ තත්ත්වය ඇති විය හැක. එබැවින් දරුවන්ට කිරි දීමේදී දරුවා එකම පැත්තකට නොව දෙපසටම හරවමින් කිරි දීම ඉතා වැදගත්ය. තවද නිදිකර වීමේදී මොහොතක් හිස දකුණු පැත්තට ද තවත් මොහොතකදී හිස වම් පැත්තකට ද හරවා තැබිය යුතුය.

දරුවන් අතර දක්නට ලැබෙන ටෝටිකෝලීස් තත්ත්වයට තවත් හේතුවක් වනුයේ උත්පත්තියෙන්ම ඇති වන වර්ධනයේ විකෘතියයි.  උදාහරණ  ලෙස  අර්ධ  කශේරුකා  තත්ත්වය (Congenital Hemi Vertebra) දැක්විය හැකිය. සමහර විට ගෙල අවට ග‍්‍රන්ථීන් වේදනා දෙන විටද මේ ටෝටිකෝලීස් තත්ත්වය ඇති වේ.

තවත් සමහර දරුවන්ට ඇසේ වපර වීමක් ඇත්නම් ද්විතීයීක ලෙස මෙම ටෝටිකෝලීස් තත්ත්වය වර්ධනය විය හැක. එමෙන්ම ටෝටිකෝලීස් ඇති දරුවන්ට ද්විතීයීක ලෙස ඇස වපර කිරීමක් දක්වා වර්ධනය විය හැක. තවද මෙම රෝගීන්ට වහා ප‍්‍රතිකාර නොකළහොත් මුහුණින් එක් පසක මාංශ පේශි හීන වී යා හැකිය. එවිට මුහුණේ දක්නට ලැබෙන සමමිතිය බිඳී යයි. මෙම විකෘති තත්ත්වය මුහුණේ අසමමිතිය (Facial Asymmetry) යනුවෙන් හැඳින්වේ.

දරුවා ඉපදී සති 2-3 දක්වා කාලය තුළදී ඔබ විමසිලිමත් වුවහොත් මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරගත හැකි වේ. එම කාලයේදී දරුවාගේ ගෙල ප‍්‍රදේශය අතගා බැලීමෙන් යම් ගැටිත්තක් වැනි දෙයක් තිබේ නම් හඳුනාගත හැක. එමෙන්ම දරුවා නිතරම හිස එක් පැත්තකට හරවාගෙන නිදාගනී නම් නිතරම මෙම තත්ත්වය ඇති වීමට හේතු විය හැක. මෙසේ සිටීමට දරුවාට ඉඩ ලබා දීමෙන් දරුවාගේ හිස පැත්තක් ගෙවීමට ද ලක්වේ.

ඔබේ දරුවා මෙම තත්ත්වයේ පසුවේ නම් වහාම දරුවාට ප‍්‍රතිකාර අවශ්‍ය වේ. භෞතචිකිත්සාවේ මේ සඳහා ව්‍යායාම දෙකක් භාවිත වේ.

  • ඇල කරන දිශාවට විරුද්ධව හිස ඇල කරවීම
  • ඇල කරන දිශාවට නිකට ගෙන ඒම

එමෙන්ම දරුවා නිදියන අවස්ථාවලදී හිස වැඩි වේලාවක් අනතුරට පත් පේශිය ඇති පැත්තට හරවා තැබිය යුතුය. දරුවා මව්කිරි බොන අවස්ථාවලදී වැඩි වශයෙන් හිස හැරවීමට අකමැති පැත්තට හැරවීමට දරුවාව යොමු කළ යුතුය.

විශේෂයෙන් දරුවා සමග සිටින විට සියලූ දෙනා දරුවාට කතා කිරීමට පැමිණෙන අවස්ථාවලදී දරුවා වැඩි වශයෙන් හිස හැරවීමට අකමැති පැත්තෙන්ම පැමිණීමට වග බලාගත යුතුය.

මෙම ප‍්‍රතිකාර ලබාදීම පමා වුවහොත් දරුවාගේ පේශිය දිගින් අඩු වේ. එවිට ශල්‍යකර්මවලින් නිවැරදි කිරීමට සිදු වේ.

මේ සඳහා කළ යුතු ව්‍යායාම 2ක් පහත දැක්වේ.

පළමු ව්‍යායාමය,

දරුවා මේසයක් මත දිගා කරවන්න. දරුවාගේ හිස මේසයෙන් එළියට එන සේ තබා අල්ලා ගන්න. තවත් කෙනෙක් විසින් දරුවාගේ උරහිස් නොසෙල්වෙන පරිදි අල්ලාගත යුතු වේ. ඉන් පසු අදාළ ඇල වීම සිදු වී තිබෙන පසට විරුද්ධ දෙසට දරුවාගේ උරහිසේ කන ගෑවෙන පරිදි ළං කිරීම සිදු කරන්න.

දෙවන ව්‍යායාමය,

පළමු ව්‍යායාමයේ විස්තර කළ ඉහත 1, 2, 3, පියවර එලෙසම අදාළ වේ. ඉන්පසු දරුවාගේ නිකට දරුවා ගෙල ඇද කරන දිශාවට එහි උරහිස තෙක් ගෙන එන්න.

සුදුසුකම්ලත් භෞතචිකිත්සකයෙකුගේ උපදෙස් පරිදි නිවසේදීම මෙම ව්‍යායාම දෙවර්ගයම සිදුකළ හැකිය. එය දවසකට සිව්වරක් කිරීම යෝග්‍ය වන අතර එක් වරකදී ව්‍යායාමයක් විසිවරක් පමණ කළ යුතුය. මෙලෙස සති 3ක් සහ සති 6ක් අතර කාලයකදී මෙම ව්‍යායාම කිරීමෙන් දරුවාගේ මෙම තත්ත්වය සුව කළ හැක.

කොළඹ, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප‍්‍රධාන භෞත චිකිත්සක, වරලත් භෞත චිකිත්සක සංගමයේ සභාපති, ආචාර්ය ජාලිය උඩුවැල්ල මහතා සමග සකස්කරන ලද ලිපියකි.
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here