ඇත්තටම අපි ගෙවූ සුන්දර ළමා කාලය අපේ දරුවන්ට විඳින්නට හැකියාවක් අද මේ නාගරික ජීවිතය තුල නැතැයි විටෙක මට සිතේ. මගේ ළමා විය නගරයේ ගෙවී ගියද මා ජිවිතය විඳින්නට පින් කලෙමි. වරුගානක් පොඩි අක්කාත් මමත් ආකාසේ තරු ගැන්නෙමි. වහින දිනට පොඩි අක්කාටත් මටත් රජ මගුල්ය. අම්මාට හොරෙන් වහලේ පීල්ලෙන් ගලා එන දිය දහරට අපි දෙදෙනා ඔට්ටුවෙන්නේ ඒ ගලන්නේ දිය ඇල්ලක් යැයි කියාය. නිවසේ කෙළවරින් ගලා ගිය කානුවේ වැහි දින වලදී පැහැදිලි ජලය ගලා යයි. ඒ අක්කාගේත් මගේත් දොළ පාරය. කානුවේ අප නටනවා අම්මා හෝ ලොකු අක්කා දුටුවෝතින් සියල්ල එතනින්ම අවසන්ය. අපේ නිවසේ තිබූ පේර ගස මුලු තැන් ගෙයි වහළ වසා ගෙන තිබුණි. අක්කාගේත් මගෙත් රජ දහන පේර ගසින් නැග ගොඩ වන මුලු තැන් ගෙයි වහළය. එදා පාසල් නිම වී නිවසට ආ අපට අසීමිත නිදහසක් තිබුනි. අහල පහළ ළමුන් සමග බට්ටා පනින්නට ,ටීක් ගසන්නට, ටින් කඩන්නට, ගස් මාරු කරන්නට පොඩි අක්කාත් මමත් නිවසට හොරා ගියද ලොකු අක්කාගෙන් අපට බේරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. “ගැහැණු ළමයි හැදෙන්න ඕනී ලැජ්ජ බයට ගෙවල් වලට වෙලා” අම්මා නිතරම පැවසුවත් ඒ නීතී පොඩි අක්කාගෙත් මගේත් මේ කනින් ඇසී අනිත් කනින් පිටව යයි. පාසල් නිවාඩුවට අම්මාගේ බලංගොඩ මහ ගෙදර යන්නට අපි ඇගිලි ගනින්නෙමු. අපට චිත්‍රයක් අඳින්නට රචනාවක් ලියන්නට අමතුවෙන් වචන ගලපන්නට ඇවසි නොවීය. ඒ අප විඳි සොබාදම අපූර්වත්වය තුලින්, සමාජ ඇසුර තුලින් අපේ සිතුවිලි මනාවට පෝෂණය වී තිබූ නිසාවෙන්ය. අප ලද ඒ සමාජය ආශ්‍රයත් පරිසරය විඳ ගැනීමත් ජීවිතයට පන්නරයක් වූ බව මම තරයේම විශ්වාස කරමි.
අද අපෙ දරුවන්ට සොබා දහම විඳින්නට හැකියාවක් නැත. අපේ දරුවන් පාසලෙන් නිවසට ,නිවසින් උපකාරක පන්තියටය. ලැබෙන සුලු විවේකයේදී රූපවාහිනිය ඉදිරි පිට වාඩිවන අපේ දරුවන් එයට සම වැදෙයි. නැතහොත් පරිඝණක, ටැබ් වැනි දෑ හැරෙන්නට ඔවුන්ට වෙන යමක් නැත. ඇත්තෙන්ම දරුවන් සිතන්නට නොහැකි රොබෝවරුන් මෙන්ය. මේ යථාර්තයයි. ඉතින් වෙනස් වන්නට කාලය පැමිණ ඇත. දරුවන්ට ජිවිතය විඳින්නට අවකාශය සැලසිය යුතුය. පොතේ දැනුම පමණක්ම ජීවිතය නොවන බව දැන දැනත් අප දෙමාපියන් වශයෙන් සමාජ රැල්ලට අපේම දරුවන් පා කර හැරීම කෙතරම් සෝචනීය කරුණක්ද? අනාගතයේදී දෙමාපියන්ට හා සමාජයට වැඩදායී පුද්ගලයකු වර්තමානයේ සමාජ දැනුමක් නොමැති අසංවේදී දරුවකු තුලින් බලාපොරොතු විය හැකිද?
අපේ දරුවන්ගේ ළමා කාලයම ගෙවෙන්නෙ උපකාරක පන්ති වලය. මදක් සිතා බලන්න එකම කාරණාව තැන් කිහිපයකින්ම දරුවාට ලැබෙන විට දරුවාට ඉගෙනීම එපා වනු ඇත. එනිසාවෙන්ම ප්‍රථමික ශෙු්ණි වල දරුවන්ට කුඩා අවදියේම මෙපමණ උපකාරක පන්ති අවශ්‍ය දැයි මා නැවත වරක් විමසමි.
“ටීචර් තුන වසරට පන්ති පටන් ගන්නවා ළමයි දමන අම්මලා දැන්මම නම් දෙන්න. “
“ඔයා දානවද තරුකගෙ අම්මා”
“නැහැ අකිඳුගෙ අම්මා”
“මමත් දාන්නෙ නැහැ මොකටද නිකන් ළමයි මහන්සි කරවන්නේ මෙයාගේ අක්කත් පන්ති ගියේ නැහැ.”
ඇත්තටම ඇය මට මුණ ගැසුණු දුර්ලභ ගණයේ මවක්ය. බොහෝ මව්වරු දරුවන් ටියුෂන් වෙත දක්කාගෙන යන අතර යථාර්තය සැබැවින්ම තේරුම ගත් මවක් ලෙස මා ඇය හැඳින්වූවාට වරදක් නැත.
“ඔය අම්මලා ටියුෂන් වලට එක්ක යන ළමයි වැඩ කරන්නෙම නැහැ. අපේ පන්තියෙත් බලන්නකො පන්ති යන ළමයින්ට වඩා පන්ති නොයන ළමයි වැඩ කරනවා.”
ඇය පැවසූවේ සත්‍යයකි. උපකාරක පන්ති වෙත යන දරුවන්ට වඩා උපකාරක පන්ති නොයන දරුවන් දක්ෂ බව මටද සිහිපත් විය. එක දෙක වසරවෙනියා ලබා නොදෙන නිසා දරුවන් දිරිමත් කිරීම සඳහා පුතුගෙ පාසලේ සෑම වාර විභාගයකදීම හොඳම දරුවන් දස දෙනාට විදුහල්පතිනිය අතින් ඔවුන්ගේ ඇඟයීම් ලිපි ගොනුව ලබා දෙයි. මෙම වසර දෙක පුරාවටම එසේ ඇඟයීමට ලක් වූ දරුවන් උපකාරක පන්ති වෙත යන දරුවන් නොවීම එයට හොඳම සාක්ෂිය විය.
යමුද පොඩ්ඩක් ජීවිතේ ආපස්සට. ඔබේ ළමා වියට ගොස් මොහොතක් නැවතිල්ලේ සිතන්න, දකින්න. අප අපේ දරුවන් ඉගෙන ගත් උගත් පුද්ගයකු පමණක්ම කිරීම ප්‍රමාණවත්ද? නැත හොඳ ඉගෙන ගත් මනුස්සකම හඳුනන බුද්ධිමත් මනුෂ්‍යයෙක් ලොවට දායාද කිරීම දෙමාපියන් වශයෙන් අපේ යුතුකමය. දරුවන්ට ඉගෙනුමට මෙන්ම සෙල්ලම් කරන්නටත් ඔවුන්ගේ ළමා ලෝකයේ සුන්දරත්වය විඳ ගන්නට අවකාශය ලබා දෙන්න. ජිවිතය විඳින්නට අවසර දෙන්න.