එක් වසරකදී මා හට ශිෂ්‍යත්වයකින් ජපානයට යන්න අවස්ථාවක් ලැබුනා.ඒ දකුණු ආසියාතික උසස් පාසල් සිසුන් අතර පැවති පාරිසරික,කළමනාකරණ සහ සුනිත්‍ය බලශක්තිය පිලිබඳ සමුළුවකටයි.එහිදී අපට දින ගණනාවක් ජපානයේ විවිධ ප්‍රදේශවල සහ පාසල්වල ගවේෂණ චාරිකා සඳහා අවස්ථාව ලැබුනා.විශේෂයෙන්ම එහි අධ්‍යාපන ක්‍රමය තුල අප දුටු විවිධ ක්‍රම නිසා අවසානයේ සිතුනේ ජපන්නු හපන්නු වෙන එකේ පුදුමෙකුත් නැහැ කියලයි.
අපට ලැබුණු අත්දැකීම් සහ අසන්නට ලැබුණු කාරණා අනුව සාමාන්‍යයෙන් හැම පාසලකම වගේ මූලික වශයෙන් මෙන්න මේ සමානතා දකින්න ලැබෙනවා…
පාසලේ මුල් අවුරුදු තුනේ කිසිදු ආකාරයකින් විභාග හෝ පරීක්ෂණ නොපැවැත්වීම
මේකට ප්‍රධානම හේතුව මුල් අවුරුදු තුනේදී දරුවාට ඔවුන් ලබාදෙන්නේ ගුණධර්ම පමණක් වීමයි.අපේ රටේ නම් ඉල්ලන්නේම අකුරුනේ.ඒත් ජපානයේ එහෙම නැහැ.ගුරුවරුන් සහ දෙමාපියන් පවසන අන්දමට කුඩා කල සිටම දරුවෙක් වෙලාවට වැඩ කරන විධිය,අන් අයට ගෞරවයෙන් යුතුව කතා කිරීම,ආචාරශීලි බව,වැඩිහිටියන්ට ගරු කිරීම,පරිසරයට ආදරය කිරීම,තම වැඩ කටයුතු තමන්ගේම අතින් සිදු කරගැනීම ආදී ගුණධර්ම වගා කරගත යුතුයි.පුංචි දරුවෙකුගේ හසුරු කුසලතා වර්ධනය වීම,මාංශ පේශි ක්‍රියාකාරිත්වය ආදී වර්ධනයන් මෙතුලින් ලැබෙන අතරේම ඒ දරුවාගේ ගුණධර්ම සංවර්ධනය තුල දරුවා කෙදිනක හෝ වැඩිහිටියෙක් වූ විට යහපත් පුරවැසියෙකු වන බව ඔවුන් විශ්වාස කරනවා.ඉතින් ඒක ඇත්ත බව එරටින්ම අපට පෙනෙනවා නේද?
පාසලේ සේවකයන් නොව පිරිසිදු කිරීමේ කටයුතු කරන්නේ ළමුන් පමණයි
මෙතුලින් දරුවන්ගේ අවධානය යොමු කරන්නේ තමන්ගේ පන්තිය,අවට පරිසරය රැකගැනීම සහ කළමනාකරණය කිරීම සම්බන්ධවයි.කොහේ ගියත් පිළිවෙල කියන එක තියෙන්න ඕනේ කියන හැඟීම ළමයාගේ ඔලුවට ඉබේම යනවා මේ නිසා.ජපානයේ වන ගහණය අපේ රටට වඩා සාපේක්ෂව අඩුයි.ඔවුන්ගේ කර්මාන්ත සහ කාර්මික ජනපද අපේ රටට වඩා වැඩියි.නමුත් ඔවුන් හුදෙක් සිතන්නේ තිබෙන පරිසරය රැකගෙන,ඵලදායිතාවයේ උපරිමයට ළඟාවෙන්නේ කෙසේද යන්න ගැනයි.පරිසරය පිරිසිදු කිරීම තුලින් බලාපොරොත්තු වන්නේ පරිසර කළමනාකරණය සහ ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලවල් දරුවන් ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න සොයාබැලීමයි.ඒ සඳහා දරුවන් 5S සංකල්පය මූලික වශයෙන් අඛණ්ඩව,හරියටම ක්‍රියාත්මක කරනවා…..
-
සෙයිරි( sort) – මෙයින් කියන්නේ අනවශ්‍ය දේවල් ඉවත් කර අවශ්‍ය දේවල් තෝරගන්න කියල
-
සෙයිතෝන්(set in order) – මේ තුලින් පැහැදිලි කරන්නේ කලින් තෝරගත්ත අවශ්‍ය දේවල් ටික ටික පිළිවෙලට තියන්න කියලයි
-
සෙයිසෝ (shine) – පිළිවෙලකට වගේම ඒ දේවල් පැහැදිලි,පිරිසිදු තත්වයෙන් තබන්න ඕනේ
-
සෙයිකෙත්සු(standerdize) – පාවිච්චි කරන එක උසස් තත්වයෙන් සිදුකරන්න ඕනේ
-
ෂිත්සුකේ (sustain) – මේවා කරාටම මදියි දිගටම පවත්වගන්නත් ඕනේ
මෙන්න මේ නිසයි මම මුලදී ඔබට කිව්වේ ජපන් ළමයි පුංචි කාලේ ඉඳලම මේ පිළිවෙල අඛණ්ඩව හරියටම පවත්වාගෙන යනවා කියල.එය වැඩිහිටියෙක් වූ පසුව වුනත් ඔවුන් පුරුද්දක් ලෙසම පවත්වාගෙන යනවා.අපි නම් පටන්ගතතත් එය දිගටම පවත්වාගන්නේ නම් නැහැ….නේද?
දිනකදී හැම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම ලබාගන්නේ සමාන පෝෂණය සහිත සමාන ආහාරයි. (දින පහටම විවිධ ආහාර වට්ටෝරු ලැබෙනවා )
යම් යම් අසාත්මිකතාවන්ගෙන් පෙලෙන ළමුන් හැරුනුකොට සාමාන්‍යයෙන් එක් එක් පන්තියක හෝ එක් එක් සෙක්ෂන් වල එදිනෙදා ආහාරවේල ළමුන් විසින්ම පිළියෙළ කර ළමුන්ට ලබාදෙනවා.එකම විධියට එකම වට්ටෝරුවකට අනුව පෝෂ්‍යදායි ආහාරවේලක් ලැබීම තුල දරුවන්ගේ සෞඛ්‍යය සහ පිරිසිදුකම ශක්තිමත් කිරීමයි මෙහි අරමුණ වෙන්නේ.සමානත්වය,කෑම ගැනීමේ පුරුදු වගේ ගති ලක්ෂණ ළමයා මෙහිදී පුරුදු වෙනවා.මා ලද අත්දැකීම් කිහිපයක් මම කියන්නම්…
- කිසිම ළමයෙක් අනික් සියල්ලන්ම ආහාර බෙදාගෙන අවසන් වන තෙක් ආහාර ගන්න පටන්ගන්නේ නැහැ
- සියලුම ළමුන් ආහාරය ගන්න පෙර දෙවියන්ටත්,ආහාරය ලබාදුන් සියල්ලන්ටත් ස්තුති කර ආහාර ගන්නවා
- සියල්ලන්ම ආහාර ගෙන අවසන් වෙනතුරුම කිසිම දරුවෙක් කතාකරන්නේ නැහැ
- ආහාරයට ගෞරව කිරීම පිණිස පිඟාන එක අතකින් මුවට ලංකරගෙන ආහාරය ගන්නවා
- දරුවන් සමඟ ගුරුවරයාද එකට හිඳ ආහාර ගන්නවා
- තමා ආහාරගෙන අවසන් කල පසු සියල්ලන්ම එකතු වී තම තමන් ආහාර ගත් ස්ථානය පිරිසිදු කරනවා…එය තම තමන්ගේම වගකීමක් කොට ඔවුන් සලකනවා
- මේ පුරුදු කොච්චර ලොකු අය වුනත් එයාල ගාව තියෙනවා…ඒකයි විශේෂම දේ
සංස්කෘතිකමය වටිනාකම් සහ කලාවන් ගැන ඉගෙනගැනීම
ජපානයේ පාසල් සිසුන් කලාව,සාහිත්‍යය ආදී සමාජමය වටිනාකම් සහිත විවිධ විෂයන් ඉගෙනීමට කැමැත්තක් දක්වනවා.එය ඔවුන්ට ඉතිහාසය,කලාව,සෞන්දර්යය ආරක්ෂා කරගැනීමට ඉගෙනීමට ලැබෙන අවස්ථාවක් යයි ඔවුන් සලකනවා.ශෝදෝ (書道 ) නැතිනම් ජපන් අක්ෂර කලාව ඉගෙනීම එක් අවස්ථාවක්.එහිදී කන්ජි අක්ෂර ආශ්‍රයෙන් විවිධ අක්ෂර කලාවන් ඉගෙන ගන්න පුළුවන්.කන්ජි කියන්නේ චීන අකුරු.මුල් කාලයේ ජපන් බස තුල සම්පුර්ණයෙන් වගේ තිබුනේ මේ චීන අකුරුයි.පසුව ජපන් ජාතිකයන් ඔවුන්ගේ පහසුව වෙනුවෙන් හිරඟන සහ කතකන යන අක්ෂර හෝඩි නිර්මාණය කළා.
පුංචි කාලේ ඉඳන් ළමයි ශෝදෝ ඉගෙනගන්න පෙළඹෙනවා.උණ බටවලින් සෑදු පින්සලක් අරගෙන සහල් වලින් නිර්මාණය කල කඩදාසියක් මත කළු ආදී තද වර්ණ වලින් කන්ජි අක්ෂර හැඩයන් සහ අක්ෂරයන් ලිවිම තුල හසුරු කුසලතා වර්ධනය වීමක් සිදුවෙන බව ගුරුවරුන්ගේ විශ්වාසයයි.ඒක සත්‍යයක්.
ඒවගේම ඔවුන් හයිකු නම් කාව්‍ය වර්ගය ඉගෙනගන්නවා.මෙතුලින් සෞන්දර්යයට ආදරය කරන සංවේදී පුද්ගලයෙකු බවට දරුවාව පුංචි කාලයේ පටන්ම පරිවර්තනය වෙනවා.කලාවට,සෞන්දර්යයට ආදරය කරන්නා ලොවටම ආදරය කරනවා කියලයි ජපානයේදී අපිට මඟ පෙන්වූ ගුරවරුන් පැවසුවේ.
සාමාන්‍යයෙන් හැම පාසලකම සිසුන්ට නිල ඇඳුම අනිවාර්යයි
යුනිෆෝම් එක කියන දේ අපේ රටෙත් දකින්න පුළුවන් නේ.ජපන් ජාතිකයන් තුල මේ නිල ඇඳුම කියන සංකල්පය පිටුපසත් විශේෂ හේතු තියෙනවා.නිල ඇඳුමක් ඇඳීම තුල සමාජය තුල සමානත්වය කියන සංකල්පය,ඉගෙනුම පිලිබඳ අවධානය යොමුකිරීමට දරුවාට පහසුවීම යන කාරණා තමයි මෙයට ප්‍රධානම හේතු ලෙස සැලකෙන්නේ. සමහර පුද්ගලික පාසල් වල පවා කොණ්ඩා මෝස්‌තර,මේක් අප් භාණ්ඩ ගෙන ඒම පිලිබඳ දැඩි නීති පනවා තිබෙනවා.
Hippo club
මෙය බොහෝ විට family club එකක් හැටියටයි පවත්වාගෙන එන්නේ. අසල්වැසියන්,ප්‍රදේශවාසීන් එකතුවෙලා හිප්පෝ ක්ලබ් එකක් පිහිටුවනවා.පාසල් මට්ටමිනුත් මෙය ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මෙය විවිධ භාෂා සම්බන්ධයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ.ඊට අමතරව විවිධ ක්‍රියාකාරකම් සහ විනෝදාස්වාදය සඳහා විශේෂාංග වෙන් කර තිබෙනවා.මෙය social club එකක්. මූලික වශයෙන් ජපානය තුල සියලු ඉගැන්වීම කරන්නේ එරට ජාතික බස වන ජපන් භාෂාවෙන්.ඇත්තටම කිව්වොත් පරිගණක පවා ක්‍රියාත්මක වන්නේත් එහෙමයි.නමුත් ඔවුන් ඉංග්‍රීසි,කොරියානු,රුසියානු,සිංහල ආදී විවිධ භාෂා ඉගෙනගන්න බොහෝ කැමැත්තක් දක්වනවා.හිප්පෝ ක්ලබ් එකකදී ජපන් ජාතිකයන් මා සමඟ කී දේ මොකක්ද දන්නවද? සිංහල භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි කෙනෙක්ට ලොව ඕනෙම භාෂාවක් ඉතා පහසුවෙන් හසුරුවන්න පුළුවන් කියන එකයි.ඔවුන් දවසට විවිධ භාෂා වලින් එක වචනයක් හෝ සිය ශබ්දකෝෂයට එකතු කරගන්න පෙළඹෙනවා.
මේ අනුව මට මෙහිදී ඔබට කියන්න විශේෂ කාරණයක් තියෙනවා.තමන්ගේ උපන් භාෂාව හොඳින් ඉගෙනීම තුල අනික් භාෂා ඉගෙනීම අපහසු වන්නේ නැහැ.එනිසා තම තමන්ගේ අනන්‍ය භාෂා මුලින් හොඳින් ඉගෙනගන්න දරුවාට මඟ පෙන්වන්න….එය ජපනා තුලිනුත් මම දැක්ක දෙයක්.
Article written by Sathya Wijewardena