අලුත උපන් ඔබේ දරුවාගේ ක්‍රියාකාරකම් වඩා හොඳින් නිරික්සන්න

newly-born-baby

නිරෝගිමත් දරුවකු සෑම දෙමාපියෙකු තුළම ඇතිවන සුන්දර බලාපොරොත්තුවයි. දරුවකු කළලයක් සේ මව් කුසට සපැමිණි දිනයේ සිට මවත් ඇය සමග සිටින සියලුම දෙනාත් විමසිලිමත් වන්නේ දරුවාගේ උපත සිදුවන මොහොත දක්වාය. නිවැරදි වෛද්‍ය උපදෙස් මත, පෝෂණීය ආහාර, විවේකය සහ මනා ව්‍යායාම් රටාවන්හි නියැලෙන මවකට දරු උපත ගැන කිසිදු අනවරත බියක් ඇතිවිය යුතු නොවේ.

දරුවාගේ උපත සිදුවන මොහොතේ සිට දරුවා මාස 10 ක් දිවි ගෙවූ පූර්ණ සංවෘත ලෝකයට සමුදෙයි. ඉන්පසු පවතින්නේ විවෘත ලෝකයකි. මේ කාලයේ සිට දරුවාට මුහුණ පෑමට සිදුවන අභියෝගතා බහුලය. කලල අවධිය, උපත සිදුවූ මොහොත හා ඉන්පසු කාලය ගත් විට මේ අවධි තුනෙහිදීම දරුවාට විවිධ රෝග මෙන්ම ආබාධ ද හටගැනීමේ ප්‍රවණතාවයන් ඇත. ඉතා සුළු වූ අතපසු වීමක් ඇති කරනුයේ විශාල හානිදායක ප්‍රතිඵලයකි.

අවාසනාවන්ත අන්දමින් යම් කිසි හෝ ගැටලුවකට මුහුණපාන බිලින්දා ආබාධ සහිත දරුවකු වීමේ ප්‍රවණතාවයක් පැවතිය හැකිය. මෙම තත්ත්වය ඉහත කී මනා සෞඛ්‍ය පුරුදු සමග යම්තාක් දුරට වළක්වාගත හැකි වුවත් අනපේක්‍ෂිත තත්ත්ව සහ නොවැලැක්විය හැකි හේතු මත දරුවා විශේෂ අවශ්‍යතා ඇති දරුවකු බවට පත්වීම සිදුවිය හැක.

මූලිකවම දරුවෙකු මනාව නිරීක්‍ෂණය කළ යුත්තේ මවය. ඒ, බිලිඳා සමග වැඩි වේලාවක් ගත කරන්නේ ඈ හෙයිනි. දරුවා උපතේදී යම් ගැටලුවකට මුහුණපෑව හොත් අදාළ කාර්යමණ්ඩලය ඒ සම්බන්ධව මනා දැනුවත් කිරීමක් ඔබට ලබාදෙනු ඇත. උපතේ ඇතිවන සංකූලතා සමග දරුවා ඉදිරි ජීවිතයේ මුහුණපාන ගැටලු ගැන දෙමාපියෝ දැනුවත්විය යුතුය.

දරුවකු උපතේදී මුහුණපාන ගැටලු හේතුවෙන් වලිප්පුව (Fits) ඇතුළු විවිධ සංකූලතා ඇතිවිය හැකි අතර ඒවාට නිසි කලදී වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුය.

දරුවකු මෙලෙස ගැටලු සහගත තත්ත්වයන්ට පත්වීමේදී ඔවුන්ගේ ශාරීරික, මානසික, චර්යාමය හා අවබෝධය යන විවිධ අංශවල ගැටලු සහ සංකූලතා ඇතිවේ. දරුවකු වර්ධනය වන විට එම දරුවාට ගැටලු පවතීද යන්න අවබෝධ කරගැනීමට නම්, සාමාන්‍ය දරුවකු එම වර්ධනය පියවරෙහිදී ඉටු කරන කාර්යයන් ගැන ඔබ දැනුවත් විය යුතුය. මෙය ඔබට ළදරු සායන කාඞ්පත සමග පිරිනැමෙන අතර ඊට අමතරව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය, ළමා රෝග විශේෂඥ වෛද්‍යරයා, ඔබගේ වෘත්තීය/භෞත/කථන හා භාෂා චිකිත්සක නිලධාරින් මෙන්ම පළපුරුද්ද මත වැඩිහිටියෙකුගෙන් වුව දැනගත හැක.

උපතේ සිට වසර දක්වා ගතවන කාලය තුළ දරුවකු චාලක ක්‍රියාකාරකම් පැහැදිලි ලෙස දියුණුවේ. ප්‍රධාන චාලක ක්‍රියාවන් ලෙස :

  • පැත්තෙන් පැත්තට පෙරළීම
  • මුනින් අතට පෙරළීම
  • හිස කෙළින් කර සිටීම
  • බඩගෑම, දණගෑම, හිඳ ගැනීම
  • ආධාරක සහිතව සිට ගැනීම
  • සමහර දරුවන් ඇවිදීම

බොහෝ දරුවන්ගේ මෙම ක්‍රියාවන්ගේ ආරම්භය සිදුකරන්නේ පළමු වසර තුළය. සාමාන්‍ය දරුවෙකු මෙම වර්ධන පියවරවලට එළඹෙන අවධිය ගත් කළ විශේෂ අවශ්‍යතා ඇති දරුවකු එයින් පසුගාමී වන අන්දම ඔබට නිරීක්‍ෂණය වේ. උදාහරණයක් ලෙස විශේෂ අවශ්‍යතා ඇති දරුවා මාස හත අටක් යනතුරු හිස සෘජුව තබානොගනී. නමුත් සාමාන්‍ය දරුවකු එය මාස 3-4 වන විට සිදු කරයි. සෙසු චාලක ක්‍රියාවන් ද මේ ආකාරයටම පැහැදිලිව පසුගාමී වේ නම් ඔබ ක්‍රියාත්මක විය යුතුය.

එමෙන්ම දරුවෙකුගේ ශරීරය නිරීක්‍ෂණය කිරීමේදී දරුවාගේ ඇස්වල චලන, මුඛයේ පිහිටීමේ අසාමාන්‍යතා, අත් පා සන්ධි අස්ථිවල විකෘතිතා මෙන්ම මාංශ පේශිවල තද ගතිය හෝ බුරුල් බව දරුවාගේ වෙනස් ගති සම්බන්ධව ඉඟි ලබා දෙයි. මෙබඳු තත්ත්ව යටතේ දරුවකු සාමාන්‍ය චාලක ක්‍රියා සිදු කිරීම ප්‍රමාද වේ නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවිය යුතු වේ.

මේ අන්දමින් දරුවාගේ සංවේදනයන් ඔබ විසින් අවබෝධ කරගත යුතුය. සංවේදන ඉන්ද්‍රියයන් මගින් පරිසරය, පුද්ගලයන් හා තමා අතර අන්තර් සම්බන්ධතා පවත්වන දරුවා ඉන් ඈත්වීම ගැටලු රාශියක ආරම්භය වේ. මේ සම්බන්ධව ගත් විටද ඔබ සාමාන්‍ය දරුවකු සංවේදනයන්ට විශේෂයෙන්ම ස්පර්ශ සවේදනයට, එනම් අත් පා ශරීරයේ සම හරහා වන දැනීමට ප්‍රතිචාර දක්වන අන්දම අවබෝධ කරගත යුතුය. ස්පර්ශය සම්බන්ධව ගත් කළ දරුවා එයට අධිකව හෝ අවමම ප්‍රතිචාර දක්වනු ඇත. එවිට ඒ නිරීක්‍ෂණයන් වෛද්‍යවරයා හෝ චිකිත්සකවරයා වෙත සෙල්ලම් බඩුවක් අත්වලින් ග්‍රහණය කර නොගනී නම් එය ගැටලුවකි. ඇතැම් දරුවන් මව, පියා පවා ඔවුන්ගේ හිස, අත් අල්ලනවාට දැඩි සේ ප්‍රතිරෝධී වෙනු දැකිය හැක. එයද ගැටලුවකි.

ස්පර්ශයට අමතරව දෘෂ්ඨිය (පෙනීම) සම්බන්ධව ද වයස අවුරුද්දක් වන තුරු ඔබ සැලකිලිමත් විය යුතු වේ. දරුවා ඉපදී සති 3 ක් පමණ යන විට දීප්තිමත් ආලෝකයට ප්‍රතිචාර දක්වන අතර ක්‍රමානුකූලව මිනිස් මුහුණු, වර්ණවත් සෙල්ලම් බඩු, චලන දෙස නෙත් යොමයි. දරුවාගේ එම පෙනීම නිසියාකාරව ඉටු නොවේ නම් ඔබ දරුවා හැකිතාක් ඉක්මනින් වෛද්‍යවරයෙකු වෙත යොමු කළ යුතු වේ.

ශ්‍රවණය ද (ඇසීම) එබඳුය. දරුවා උපතේ සිටම ශබ්දයට ප්‍රතිචාර දක්වන නිසා වයසින් වැඩෙත්ම දරුවා හඬට, සංගීතය ආදියට කෙතෙක් දුරට අවධානය දේද යන්න සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ. දරුවා ශබ්දයක් එන දෙසට නොහැරේ නම්, හඬට ප්‍රතිචාර නොදක්වයි නම් එය පැහැදිලි ගැටලුවකි.

චාලක සහ සංවේදන ගැටලු මෙන්ම දරුවාගේ අවබෝධය මෙන්ම චර්යාව පිළිබඳවද දෙමව්පියන්, දරුවාගේ මුල් වසර තුළ මනා නිරික්‍ෂණයක් කළ යුතුය. උපතේදී සංකූලතා ඇති දරුවන් මෙන්ම කිසිදු වෙනසක් නොපෙන්වන සාමාන්‍ය දරුවන් ද ඕටිසම් වැනි ගැටලු නිසා මෙම තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. එබඳු දරුවන් සන්නිවේදනය, චර්යා රටා සහ අවබෝධයේ මුල් පියවර සපුරන්නේ නැත. ඔබ දරුවා පිළිබඳ මනා අවධානයකින් මෙන්ම සාමාන්‍ය වර්ධන රටාව ගැන (ඉහත චාලක, සංවේදන, චර්යා, අවබෝධතා, සන්නිවේදන යන හැම අංශයකම) මනා අවබෝධයකින් සිටීමත් මෙහිදී වඩා වැදගත්ය.

දරුවන් එකිනෙකාට වෙනස්ය. සෑම දරුවෙකුගේම වර්ධනය එකම රටාවකට, එකම පියවරකට අනුව සිදු නොවේ. එය එක් එක් දරුවාගෙන් දරුවාට වෙනස් වේ. එබැවින් අනවශ්‍ය ලෙස කලබල වීම, අනෙක් දරුවන් හා සංසන්දනයන් කිරීම උචිත නොවේ. වැදගත් වන්නේ මව්පියන්ගේ ඔබගේ දැනුවත් බවයි. දරුවාගේ වර්ධනයේ යම් ඌනතාවයන් වේ නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් කරා කඩිනමින් යොමු වීම ඉතා වැදගත් වේ.

කිත්මා වාසනා දහනායක B.Sc(OT)
වෘත්තිය චිකිත්සක ආචාර්ය
ජාතික රෝහල
කොළඹ
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here