- Advertisement -

විභාගය දැන් දැන් ළගයි

-

විභාග උණුසුම දරුවන්ට වඩා දැනෙන්නේ දෙමව්පියන්ටයි. දරුවා පොතක් පතක් අතේ නැතිව ඉන්නවා දැක්කොත් මව්පියන් යක්ෂාවේශ වෙනවා. තව විභාගයට දවස් කීයද….? මොකද ඔය කරන්නේ….පොතක් පතක් බලාගන්න…මේ අම්මගේ කටේ තියෙන මන්තරයයි.

ඇත්තටම පාඩම් කළ පමනින්ම දරුවන් විභාග සමත් වෙන්නේ නැහැ. ඔවුන් කළ යුත්තේ තමන් කරන පාඩම නිසි විදිහට ධාරනය වෙන අන්දමින් කිරීම මිස ඔරලෝසු පැය ගණනින් නිදි මැරීම නම් නොවේ.අද මව්පියන්ගේ යුගයේ අවශ්‍යතාවය වෙලා තියෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයෙන් නම් විශිෂ්ට සම්මාන නවයක් ලබා ගැනීමයි. ඇයි ඉතිං එහෙම නොගත්තොත් පවුලේ අයට, අසල්වැසියන්ට  සහ කාර්යාලයේ සමාගමට මව්පියන් මුහුණ දෙන්නේ කොහොමද….?

- Advertisement -

ඇත්තටම මේ සිතුවිල්ල ඉතාම වැරැදියි. සමහර විට ඔබ මේ විදිහට විශිෂ්ට සම්මාන හඹා යන්නේ දරුවා දිරිමත් කිරීමට විය හැකියි. ඒත් දරුවා එයින් දිරිමත් වනවාට වඩා මහත් පීඩාවකට පත්වෛනවා. මේ හීනය අල්ලන්න තරම් හැකියාවක් ඔවුන්ට නැහැ. ඒත් මව්පියන්ගේ කන් කරච්චලය අහවර වෙන්නෙත් නැහැ.

දරුවාගේ ඉගෙණුමේ සාර්ථකත්වය මනින මිනුම විදිහට විභාග පත්වී අවසානයි. පැය තුනක් තුළ ගොනු කරන දැනුමෙන් දරුවාගේ අනාගතයම තීරණාත්මකව විස‍ඳෙනවා.මෙතෙක් කල් ගබඩා කර ගත් දැණුම අසන ලද පැනයට වඩාත් සමීප විදිහට ගලපා ඉදිරිපත් කරන්න දරුවා දැන ගත යුතුයි. මෙතැන ඇති එකම ප්‍රශ්නය නම් කොතෙක් පාඩම් කළත් අමතක වීමයි. පය බරවාට පිටි කර බෙහෙත් බඳින්නා වගේ පාඩම් කරපන් පුතේ කියන ගායනාවෙන් හැම දෙයම විසඳා ගන්න බැහැ. වතුර බේසම්වල දෙපා ඔබාගෙන පැය ගණන් නිදි මැරුවට වඩා ක්‍රමානුකූල විදිහට මනස හෙම්බත් නොවන විදිහට පාඩම් කරන්න පුළුවන් ක්‍රමවේදයක් හොයා ගත්තොත් වරදින්නේ නැහැ.

ඉතින් මේ වෙනුවෙන් ක්‍රමවේදයක් ගැන ඔස්ටින්හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙනවා. අපේ දන්නා වචනවලින් කිව්වොත් ගෙදර මහ පොතක් ඇත….එකක්වත් මතක නැත කියන්නා වගේ පොත අතේ තිබුනට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙම නම් ඔවුන්ගේ අදහස ගැන අපි හිත යොමු කළොත්…

මෙම පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මොළයට ලබා දෙන විවේකය සහ ඉගෙනුම් කරුණු කාරණාවන් නිරන්තරව ආවර්ජනය කිරීමෙන් මතක තබා ගැනීමේ ශක්තිය වර්ධනය වෙන බවයි.

මේ හේතුඵල සම්බන්ධතාවය මුල් කර ගෙන ස්නායු විද්‍යාව පිළිබඳ  මහාචාර්ය ඇලිසන් ප්‍රිස්ටන් විසින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. ඔහු ඒ වෙනුවෙන් ඉගෙනුම් කණ්ඩායම් දෙකක් තෝරා ගෙන මෙම පිල් දෙකටම සමාන ඡායාරූප දෙකක් ලබා දුන්නා.

ඒ සමගම මෙම කණ්ඩායම තෝරා ගැනීමේදී ඔහු පාදක කර ගත්තේ ඉගෙනුම වෙනුවෙන් වැය කරන කාලය සහ විවේකය අතර සම්බන්ධතාවයයි.විවේකීව පාඩම් කරන ශෂ්‍ය කණ්ඩායම ඡායාරූපයේ තිබෙන තොරතුරු ඉතා හොඳින් අවශෝෂණය කර ගෙන තිබුණා. මේ නිසා ප්‍රිස්ටන් විසින් උපකල්පනය කළ විදිහටම විවේකය ලබන විට තොරතුරු ඩැහැ ගැනීමට මොළයේ හැකියාව ඉතා ඉහලින් තිබෙන බව සනාථ වුණා.

නැවත නැවත ඉගෙනුම් කරුණු ආවර්ජනය කරන විට ඔබ අලුතෙන් දැනුම ලබනවා විතරක් නොවෙයි, දැනට තිබෙන තොරතුරු සමග සම්බන්ධ කර ගැනීමේ හැකියාවක් තිබෙනවා. අද අපේ දරුවන් අතර තිබෙන ප්‍රධානම ගැටළුව වෙන්නේ තමන් දන්නා දෙයට තොරතුරු සම්බන්ධ කර ගෙන උත්තර පරීක්ෂක වරයා සෑහීමට පත් වෙන විදිහට පිළිතුරක් ඉදිරිපත් කිරීමට තිබෙන නොහැකියාවයි.

ප්‍රිස්ටන් මහාචාර්යවරයා මෙම කණ්ඩායම් දෙක නැවත සම්බන්ධ කර ගෙන දෙපාර්ශවයටම විද්්‍යුත්ය පිළිබඳව සිතන්න කාලය ලබා දුන්නා. එහිදී වයර් සමග විදුලියේ තිබෙන සම්බන්ධතාවය ගැන මුලින්ම පහදා දුන් අතර දෙවැනි අදියරේදි විද්්‍යුතයේ ලක්ෂණ දේශනයක ස්වරූපයෙන් නැතුව සංවාදයක් වගේ ඉදිරියට ගෙන ගියා. ඊට පසුව ඔහු ස්නායු විද්‍යාව දෙසට යොමු වුනා. මහාචාර්යවරයා ස්නායු සන්නිවේදනය පිළිබලද දේශනය ආරම්භ කරන විට ශිෂ්‍යන් අතර විද්්‍යුතය පිළිබඳව හොඳින් ලබා ගත් දැණුමෙන් ඔවුන් සන්නද්ධව සිටියා. මේ නිසා ඔවුන්ට ස්නායු සන්නිවේදනය පිලිබඳ දේශනය වටහා ගැනීම එතරම් අපහසු කාර්යක වුනේ නැහැ.

ඉගෙණුම් කාර්යේදී ඉගෙනගත් දෙය සහ ඉගෙනුම ලබන දෙය අතර ගැලපීම අවශ්‍යයි. ඒ වෙනුවෙන් දරුවාට විවේක මනසක් අවශ්‍යයි. මොළය යකාගේ කම්මල වගේ වුනොත් දරුවාට යමක් ග්‍රහනය කර ගැනීම එතරම් පහසු කටයුත්තක් නොවෙයි. සන්සුන් මනසකින් හෙබි දරුවන්ට වඩාත් යහපත් ඉගෙනුම් පරිසරයක් ගොඩ නැගෙන බව මහාචාර්ය ප්‍රිස්ටන් විසින් පෙන්වා දෙනවා.

බොහෝ දරුවන් විභාගය ආසන්න වෙත්ම මානසිකව රෝගීන් බවට පත් වෙනවා. එය  ඔවුන් නොදැනම සිද්ධ වෙන්නක්. මනස ලෙඩ වුනාම ඒ සමගම බද්ධව එන ශාරිරික රෝගත් බොහොමයි. අද දරුවන් අතර බහුලව දක්නට ලැබෙන ගැස්ට්‍රයිටිස් රෝගයට බලපාන්නේ මේ වෙහෙසකර හෝර්මෝන කිව්වත් වැරැද්දක් නැහැ. තවත් අවස්ථාවන්හිදි දරුවන් භීතිකාවට පත් වෙනවා.

පාසල සහ නිවස අතර වූ කොටු පවුර පමණක් නොවෙයි, මේ සීමාව තුළත් කිසිදු විවේකයක් හෝ සතුටක් දරුවාට ඇත්තේම නැහැ.දරුවා විවේකයක් , විනෝදයක් ලබනවා කියන්නේ විභාගය ඉදිරියේ නම් මහා විපත්තියක් විදිහට මව්පියන් දකිනවා.මේ විදිහට හැම අතින්ම දරුවා ලබන පීඩනය නිසා ඔහු විභාග භීතිකාවට පත් වෙනවා.

විභාගයක් කියන්නේ දරුවාගේ ජීවිතයේ එක් කඩඉමක්.මේ කඩඉම සාර්ථක නොවුන විට ලැබෙන්නට සහ ලබා ගත හැකි බොහෝ දේ අහිමි වෙනවා.එය ඇත්තක්.මේ නිසා විභාග වෙනුවෙන් දරුවා උනන්දු කළ යුතු බව සැබෑවක්. නමුත් අපි ඒ වෙනුවෙන් අනුගමනය කරනු ලබන ක්‍රමවේදයේ දුර්වලතාවය නිසා දරුවා හෙම්බත් වෙනවා.

ඉතින් එහෙම නම් දරුවාට ඉගෙණුම වෙනුවෙන් ප්‍රසන්න පරිසරයක් ගොඩ නගන්න. එය මහා වෙහෙසක් විය යුතු නැහැ. පුතේ පාඩම් කරන්න යන්නට වඩා දරුවාගේ මනසට සහනයක් ලබා දෙන්න. හැකි අවමයෙන් නොව උපරිමයෙන් ඉදිරියට යා යුතු බව පෙන්වා දෙන්න. එවිට දරුවා යම් තැනක අද නවතිනු ඇත. ඒ නැවතුම සමග තවත් අදියරක් වෙනුවෙන් අවශ්‍ය ජවය දරුවා විසින්ම සලසා ගනු ඇත. ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය බව සැබෑය.ඒ වෙන විට දරුවා නොදරුවෙක්ය…එහෙත් අනාගත විභාග වෙනුවෙන් දරුවා සූදානම් කළ යුතුය.එය විය යුත්තේ පීඩනයක් ලබා දෙන ලෙසින් නොව බොහෝ සහනශීලි පිලිවෙතක් ලෙසින්ය.

මහාචාර්ය ඇලිසන් ප්‍රිස්ටන් විසින් හදුනාගත් තොරතුරු ජාතික ඇතඩමියේ සඟරාවක් මගින් දැන් ප්‍රකාශයට පත් කොට අවසානයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article