- Advertisement -

නිවාඩුව ඇවිත්

-

පාසල් නිවාඩුව සමග දෙමව්පියන්ගේ ජීවන රාටාව උඩු යටිකුරු තත්වයට පත්වෙනවා කිව්වොත් ඇත්තටම නිවරැදියි.උදේට දරුවා පාසලට ඇරලලා , හවසට බාහිර පංතියෙන් නැවතත් එකතු කර ගෙන නිවසට යන රටාව නිවාඩු කාලයේදී මුළුමනින්ම වෙනස් අතකට පෙරලෙනවා.

ඒත්…දුවා  දරුවන්ට නිවාඩු ලැබෙන්නේ අනපේක්ෂිත විදිහට නොවෙයි. වසරක් ආරම්භ වෙත්ම පාසල් ලිත මගින් පාසල් නිවාඩුවත් නිවේදනය කරනවා. මේ නිසා අපි හැම කෙනක් ළඟම පාසල් නිවාඩුව ගැන දළ අදහසක් තිබෙනවා. ඒ නිසා මව්දෙමව්පියන් පාසල් නිවාඩුව වෙනුවෙන් පූර්ව සැලසුම් ගොඩ නගා ගත යුතුයි.

- Advertisement -

නිවාඩුවත් සමගම දරුවාට මානසික වෙනසක් අවශ්‍යයි. පාසල් අධ්‍යාපනය සමග බොහොම හෙම්බත්ව සිටින දරුවාට මානසිකව වෙනසක් අවශ්‍ය බව අද මනෝවිද්‍යාඥයන් පවා පිළිගත් සත්‍යක් බවට පත්ව තිබෙනවා.ඒ හින්දා දෙමව්පියන්ද පාසල් නිවාඩුව ගැන නම්‍යශීලිව බලනවා නම් බොහොම අගෙයි.

වාරාවසානය සමග ලැබෙන නිවාඩුව ගෙවලා, නැවතත් පාසල නම් වූ රන්දෙවොලට දරුවා පිය නැගිය යුත්තේ අළුත් මානසිකත්වයකින්. අලුත් අරමුණකින්. ගෙවුන වාරයේ අඩුපාඩු හා ප්‍රමාදයන් වෙනස්කර ගෙන අලුත් වාරයට නවතාවයෙන් ගමන් කිරීම අවශ්‍යයි. ඒ නිසා ලැබෙන විවේකය ඵලදායී විදිහට ගත කළ යුතුයි. ඉතාම අපිළිවෙලට පොත් පත් පරිහරනය කරන දරුවෙකුට තමන්ගේ පොත් පත් පිළිවෙළට තබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් වගේම උදව් දෙමව්පියන්ගෙන් මේ කාලයේ ලබා දෙන්න පුළුවන්. දරුවන් උපදෙස් වලට වඩා කැමැත්තක් දක්වන්නේ උදව් වලටයි.පොත් පත් කවර දමා මේ විදිහට ඉදිරියේදී පාවිච්චි කරන්නය…යන අවවාදය දරුවාට ඒත්තු ගැනෙන විදිහට කටයුතු කළ යුතුයි.

අධ්‍යාපනයේදී දරුවාට ඇති දුර්වලතාවයන්ට ඉතා සරලව පිළියම් ලබා දීමටත් නිවාඩු කාලයේදී පුළුවන්.දෛනිකව කර ගත නොහැකි විදිහට මග හැරුන කටයුතු සඳහා මේ කාලයේදී උදව් කිරීමට පුළුවන්. විශේෂයෙන් අත්අකුරු ගැන උනන්දු කරන්න.ගණිතයේ චක්කරය හෝ වෙනත් සුත්‍ර පාඩම් කිරීමට මග කියා දෙන්න.

දරුවන්ගේ ඇල්බ බැල්ම ඇත්තටම ‍තියෙන්නේ සෙල්ලමටයි. ඒ දරුවන්ගේ ස්වභාවය. නිවාඩු කාලය තුළත් දරුවා අධ්‍යාපනයටම කොටු නොකොට සෙල්ලම වෙනුවෙනුත් අවශ්‍ය කාලය ලබා දෙන්න. පොත පත මතම රැඳෙන්නට අවශ්‍ය නැතුවා වගේම පොතෙන් මුළුමනින්ම දුරස්ථ වීමත් එතරම් හොඳ කටයුත්තක් නොවෙයි. ඇයි කිව්වොත් නැවත දරුවා පොතට සමීප කිරීමටත් කාලයක් අවශ්‍යයි.මේ කටයුත්ත ඇඟට පතට නොදැනෙන විදිහට බොහොම උපක්‍රමයෙන් කළ යුත්තක්.

විනෝදාත්මක කටයුතු වෙනුවෙන් වෙනදාට නැති ඉඩ ප්‍රස්ථාව නිවාඩු කාලයෙන් උපයා ගන්න පුළුවන්.චිත්‍රපටයක් බලන්න, පවුලේ ඥාතීන් සමග එක් වෙන්න, නෑ ගමනක් යන්න මේ කාලයේදි කාලය ලබා දෙන්න.කෝච්චියෙන් ගමට ගිහින් කිරියි පැණියි කාල එන්න වෙලාවක් නැති වුනත් මව්පියන්ගේ උරුමය පවතින ඔවුන්ගේ නෑ පරම්පරාවන් වෙසෙන මුල් ගම් පළාත්වල දරුවන් කැටුව යා යුතුය. අම්මා තාත්තාගේ ලේ සුවඳ ඇති නෑදෑයන් හඳුනා ගත් යුතුයි. දරුවන් අනාගතයේදී සබඳතාවයන් ආරම්භ කරන්නේ මේ සහලේ ඥාතීන් සමග බව අමතක නොකරන්න. ඔවුන් සමග නෑ සබඳතාවයන් අලුත් කිරීමට වඩාත් වැදගත් වන්නේ නිවාඩු කාලයයි.එබැවින් නිවාඩු කාලයේ මෙම අවස්ථාව දරුවන්ට උපරිම ලෙසින් ලබා දීම මව්පියන්ගේ යුතුකමකි.

අද දරුවන් පරිසරයෙන් බොහෝ සෙයින් ඈත්ව ඇත. ඒ නිසාම ඔවුන්ගේ නිර්මානශීලී අදහස්ද බෙහෙවින් පුරන්ව තිබේ. ඇසට නිලක් කොළක් දකින්නටම නැත. මේ නිසා නිවාඩු කාලයේදී පරිසරය විඳින්නට, අපේ ඉතිහාසයේ සාඩම්බර සිහිවටන සේ ගැනෙන පුරාණ රාජධාණී නරඹන්නනට දරුවන් සමග ඔබටත් චාරිකාවක් සංවිධානය කර ගත හැකිය. එය දරුවාගේ දැණුම සහ ලෝකය දැකීම වෙනුවෙන් අද දවසේ මව්පියන් විසින් ලබා දෙන ආයෝජනයකි.

ඉඟුරු දුරු ඈ යුතු මල් ගොමු හා වවා වතු කියන්නා සේ ඔබේ ගෙවත්තේ අලංකාර කටයුතු සඳහා දරුවා සම්බන්ධ කර ගන්න. එළවළු පැලයක් , මල් පැලයක් නඩත්තු කිරීමේ කටයුත්ත දරුවාට පවරන්න. එවිට නිවාඩුව අවසාන වෙත්ම අලංකාර ගෙවත්තක් ඔබ සහ දරුවා ඉදිරියේ ගොඩ නැගේ. එයින් ලැබෙන ජවය නිසා දරුවා මෙම කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමේ උන්නදුව නොදැනීම ඔහුගේ සිතේද පහළ වෙනු ඇත.

නිවසේ පිළිවෙල, පිරිසිදුබව වෙනදාට වඩා නිවාඩුකාලයේදී පවත්වා ගැනීමට දරුවාගෙන් සහයෝගය ලබා ගන්න. අවශ්‍ය දේ පමණක් තබා ගෙන අනවශ දේ ඉවත් කිරීමට ඔහුට ඉඩ දෙන්න. නිවසේ අලුත් සැලසුමක් ඇති වෙන විදිහට කාමරය , පොත් මේසය පිලියෙළ කිරීමේ කටයුතු සඳහා ස්වාධීනත්වය ලබා දුන් විට එයින් දරුවා විශාල වැඩ කොටසක් නිවස වෙනුවෙන් නිවාඩු කාලයේදී ඉටු කරනු ඇත.

ඒ සමග මව්පියන් අනිවාර්යන් මතක තබා ගත යුතු කරුණක් ඇත. දරුවන්ට අනතුරක් වීමට ලොකු කාලයක් අවශ්‍ය නැත. එක් සැනක් තුළ විශාල අනතුරක් වීමට තිබෙන ඉඩ ප්‍රස්ථාව ගැනත් අමතක නොකරන්න. නිවසේ සිටින දරුවාට විදුලිය, ගෑස් වැනි අනතුරු ඉව දැන දන්වා සිටින්න. ගෑස් කාන්දු වීම නිසා සිදුවෙන අනතුරු ගැනත් පවසා තමාගේ ආරක්ෂාව ගැන දැඩි අවධානයෙන් සිටින්නට දරුවා දැණුවත් කරන්න.

දරුවන් හැමදාම නොදරුවන් වන්නේ නැත කවදා හෝ දිනක ඔවුන් වැඩිහිටියන් ලෙස සමාජගත වෙනු ඇත. එබැවින් දරුවන් පසුපසම ඔබ රැඳී සිටිනවාට වඩා තමන්ගේ ආරක්ෂාව තමා විසින්ම සලසා ගැනීමට අවශ්‍ය දැණුවත් බව ලබා දෙන්න.ඒ වෙනුවන් ඇති හොඳම කාලය පාසල් නිවාඩුවයි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article