- Advertisement -

අපේ දරුවා කන්නෙ නැහැ

-

අපේ දරුවන්ට ආහාර කැවීම කියන්නේ නම් හරිම යුද්ධයක්. දරුවා හොඳට බඩපිරෙන්නට නොකෑවොත් එදාට  අම්මලටත් හරි හැටි කෑමක් නම් නැහැ. අනේ මේ ළමයා කන්නෙ නැහැනෙ කියලා අහල පහළ අයගෙන් යෙහෙළියන්නේ නෑදෑයන්ගෙන් දන්න කියන හැමෝගෙන්ම උපදෙස් පතන්නත් අම්මලා දෙවරක් හිතන්නෙ නැහැ. මගෙ පුතාටත් වසරක් පිරුණට පස්සෙ කෑම කැවීම බරපතල කාරණයක් වුණා. මට මතකයි තුන්වේලම පුතාවත් වඩාගෙන් මම බත් ටිකක් කවා ගන්න කලේ පුදුම සටනක්. ඉතින් මමත් වෙන අම්මලා වගේ උපදෙස් නොගත්ත කෙනෙක් නැහැ. විවිධ කෑම හැදුවත් සමහර දවසට කටේ තියන්නෙ නැහැ.

“අනේ බලන්නකො මිස් පුතාට මේ දවස් වල කවන්න හරිම අමාරුයි”

- Advertisement -

බැරිම තැන අපේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියට මම මගේ ගැටලුව කිව්වා.

“බබාගෙ උපත් බරත් එක්ක නියමිත බර සම්පූර්ණ නම් දරුවාගේ ආහාර ගැන ඒ තරම් බය වෙන්න ඕනී නැහැ. කිරන දවසට එක්ක එන්නකො අපි බලමු බබාගේ බර”

ඉතින් බර කිරන දවස වෙනකල් මම බලා හිටියා.

“අයියො කන්නෙ නැහැ කිව්වට මේ බර වැඩි වෙලා තියෙන්නේ. තවම පොඩි  නිසා එකපාරම ගොඩක් කන්න අමාරුයි. අපේ අම්මලා අම්මලගේ හිතේ තරමට මිසක්  බබාගේ බඬේ තරමට නෙමෙයිනෙ කෑම කවන්නේ. මේ වයසෙදි ආහාර වල විවිධත්වයක් දරුවො අපේක්ෂා කරනවා. ඒක නිසා දවසින් දවස දෙන අහාර වෙනස් කරන්න ඕනී. වැඩෙන දරුවන්ගේ පෝෂණය ඉතාමත් වැදගත්. දරුවන්ට අසනීපයක් හැදුනම කොහොමත් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන නිසා නිරෝගිව ඉන්න කොට නිසි පෝෂණය නොලැබුණොත්  දරුවා සනීප වෙන කොට  ශරීර ශක්තිය අතින් දරුවා දුර්වල වෙනවා. ඒ නිසා දරුවගේ බඩ මොනවම හරි දෙයකින් පුරවනවට  වඩ නීරෝගීව සිටින කාලයේ පෝෂණයෙන් යුතු ආහාර වේලක් ලබා දීම ඉතා වැදගත්. එවිට ආහාර ස්වල්පයකින් හෝ දරුවාගේ පෝෂණ අවශ්‍යතාවට සපුරා ගැනීමට රුකුලක් වෙනවා.”

දරුවන්ගේ ආහාර ගැන අපේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණිය කියද්දි අහල පහළ හිටිය හැම අම්මා කෙනෙක්ම වට වුණේ හැමෝටම මේ කාරණා පොදු නිසාමයි. මගේ අත්දැකීම් ඔබටත් වැදගත් වේවී. ප්‍රධාන ආහාර වේල් තුනටම අමතරව අතරමැදි ආහාරවේල් දෙකකුත් මම දරුවන්ට ලබා දෙනවා. ඒ අමතර ආහාර පෝෂණ ගුණයෙන් යුතුවම ලබා දෙන්න මම උත්සහ කරනවා. පුතාගේ බර අඩු නොවන්නට කාරණාව පොඩ්ඩක් කැව්වත් දරුවට අවශ්‍ය පෝෂණය මම ලබා දුන්න ස්වලප ආහාර තුල තිබීම නිසාය.

“ප්‍රධාන ආහාර වේල් තුනට පෙර පැය තුනකට පමණ පෙර දියර කිරි හෝ පිටිකිරි ලබා දෙන්න එපා. අපේ මව්වරු බොහෝ දෙනෙක් කරන්නේ දරුවා උදෑසන අවදිවූ සැනින්ම කිරි වීදුරුවක් දරුවට පිරි නැමීමයි. දැන් දරුවගේ පුංචි බණ්ඩියට උදෑසන ආහාරය ගන්නට ඉඩක් නැහැ. ඉතින් දරුවත් අවදි වූ සැනින් බලා පොරොත්තු වෙන්නේ කිරි වීදුරුව. දරුවා පෙර පාසල් හෝ පාසල් යන කාලයේදී දරුවව පිටත් කරන්න සිදු වෙන්නෙත් කිරි වීදුරුවෙන් බඩ පුරවලා. දරුවකුගේ සම්පූර්ණ පෝෂණ අවශ්‍යතාව පිටි කිරි වලින් නම් ආවරණය කරන්න බැහැ. කිරි කියන්නේ ප්‍රධාන ආහාර වේලක් නොමේ. ”

මෙන්න මේ කතාව කිව්වෙත් අපේ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිණියම තමයි.

ඇත්තටම ඒ කතාවට මමත් එකඟයි. කුඩා කල සිටම උදෑසන ආහාර වේල දරුවාට හුරුකරවන්නට කියා මා පවසන්නේ අත්දැකීමෙන්මයි. මගේ දරුවන් අවදි වුණාම මම එයාලට දෙන්නෙ වතුර. උදෑසන පිරිසිඳු වීම් වුණාට පස්සෙන් ප්‍රථමයෙන්ම එයාලගේ උදෑසන ආහාර වේල තමයි දෙන්නේ. බොහෝ විට අපේ නිවසේ ප්‍රධාන ආහාර වේල් තුනම බත්. ලොකු පුතාට පාසල් යන්නට පෙර බඩ පිරෙන්නම බත් කවලා තමයි පාසලට පිටත් කරන්නේ. දරුවන්ටත් දැන් බත් නැතිවම බැහැ.

දරුවො ගන්න ආහාර ප්‍රමාණය පිළිබඳ තීරණය කිරීමට දරුවාට අවස්ථාව ලබා දෙන්න. ඒ වගේම මේසයට කෑම ඇරලා දරුවන්ට ආහාර බෙදා ගැනීමට අවස්ථාව ලබා දීම තුලින් නිවැරැදි ආහාර පුරුදු ඇතිකර ගැනීමට මෙය ඉවහල් වෙනවා.ඒ වගේම දරුවො එවැනි අවස්ථා වලට හරිම කැමතියි. දරුවා ආහාර ගන්නා විට ප්‍රශංසා කරන්න. ඒ වගේම දරුවට සිත් ඇද ගන්නා පිඟානක් කෝප්පයක් දෙන්නත් අමතක කරන්න එපා.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article