- Advertisement -

ළදරුවන් හා කුඩා දරුවන්ට යකඩ අතිරේකයක් (MMN)

-

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ යකඩ ඌනතාවය හා ඒ හේතු කොටගෙන වන රක්ත හීනතාවය වැලැක්වීමේ පියවරක් ලෙස ළදරුවන් හා කුඩා දරුවන් සඳහා යකඩ අතිරේකයක් 2017.01.01 දින සිට ලබාදීමට අවශ්‍ය කටයුතු කර ඇත. මෙතෙක් උතුරු හා නැගෙනහිර හා ඌව පළාත්වල, නුවර එළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වසර කිහිපයක් තුළ ක්‍රියාත්මකව තිබූ මෙම වැඩ සටහන මේ වසරේ සිට ලංකාව පුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

දරුවන්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන මාස 6-12 හා අවුරුදු 1-2 අතර වයස් කාණ්ඩවල දරුවන් තුළ රක්තහීනතාවය ඉහළ මට්ටමක පැවතීම හේතු කොටගෙන බුද්ධි ඵලය අඩුවීම, වර්ධනය බාල වීම හා ආසාදන තත්වයන්ට ගොදුරුවීම සිදුවීම නිසා දරුවන්ගේ සංවර්ධනයට බාධා ඇති කරයි. MRJ  2012 වාර්තාව අනුව මාස 6-12 දරුවන් 34% ක් හා අවුරුදු 1-2 අතර දරුවන් 24% ලෙස රක්ත හීනතාවය හඳුනාගෙන ඇත. මේ හේතු කොටගෙන රක්තහීනතාවය වැළැක්වීමේ කෙටි කාලීන පියවරක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ WHO  නිර්දේශ මත නව ජන්ම හා ළමා සෞඛ්‍ය පිළිබඳ තාක‍ෂණික උපදේශක කමිටුව හා මාතෘ හා ළමා පෝෂණය පිළිබඳ අනු කමිටුව විසින් මෙම මැදිහත් වීම නිර්දේශ කර ඇත.

- Advertisement -

දින සම්පූර්ණ වී ඉපදුණු හා උපත් බර 2500ට හෝ ඊට වැඩි දරුවන් සඳහා වයස මාස 6, මාස 12 හා මාස 18 සම්පූර්ණ කරන දරුවන් සඳහා දිනකට එක් ක‍ෂුද්‍ර පෝෂක පැකැට්ටුවක් බැගින් දිනකට වරක් දින 60 ක කාලයක් සඳහා මෙය ලබාදීම ක්‍රියාත්මක කරනු ඇත. ක‍ෂුද්‍ර පෝෂක නොමැති කාවලදී යකඩ මූලද්‍රව්‍ය 10mg -12.5mg  අතර ප්‍රමාණයක් දිනකට වරක් ආහාර වේලකට පැයකට පෙර හෝ පැය 2 කට පසු මාස 3 ක් ලබාදීමට නිර්දේශ කර ඇත.

සති 37 ට පෙර ඉපදුණු (ප්‍රාග් පරිණත) හා අඩු උපත් බර (උපත් බර 2500 ට අඩු) දරුවන් සඳහා ක‍ෂුද්‍ර පෝෂක ලබාදීම ළමා රෝග වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත ඉපදී සති 2 දී පටන් වයස අවුරුදු 2 දක්වා යකඩ මූලද්‍රව්‍ය 1Kg  කට 3mg බැගින් දිනකට වරක් හා උපතේ සිට මල්ටි විටමින් 1mg  ට 0.3ml දිනකට වරක් හා ෆෝලික් අම්ලය මයික්‍රෝ ග්‍රෑම් 500 සතියකට වරක් හා වයස අවුරුද්ද සිට අවුරුදු 2 දක්වා ෆෝලික් අම්ලය 1mg ක් සතියකට වරක් ලෙස ලබාදීමට කටයුතු කර ඇත.

ක‍ෂුද්‍ර පෝෂක අතිරේකය ලබාදෙන අයුරු

දිනකට එක් ක‍ෂුද්‍ර පෝෂක පැකැට්ටුවක් දිනකට වරක් අර්ධ ඝන හෝ ඝන ආහාර, මුල් කෑමකට 2ක/තුනක කලවම් කොට විනාඩි 15 ක පමණ කාලයක් තුළ ලබාදිය යුතුයි. ජලයේ දිය නොවන නිසා දියර ආහාරවලට එක් නොකළ යුතුයි. කාලය ගත වීමත් සමග වාතයට නිරාවරණයව පැහැය වෙනස් වී අප්‍රසන්න රසයක් ඇතිවිය හැකි නිසා හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කළ යුතුයි. එක් දිනක් ලබාදීමට අමතක වුවද දිනකට පැකට් 2 ක් ලබානොදීම කළ යුතු අතර එක දිගට මාස 2 ක කාල සීමාවක් මේ ක‍ෂුද්‍ර පෝෂක ලබාදිය යුතුයි.

අඩංගු දේ

යකඩ (ෆෙරස් පියුමාරේට් මි.ග්‍රෑ 10), සින්ක් (සින්ක් ග්ලූකොනේට් මි.ග්‍රෑ 41), ෆෝලික් අම්ලය මයික්‍රොග්‍රෑම් 150, විටමින් සී (ඇස්කොටික් අම්ලය) මි.ග්‍රෑ 30, කොපර් මි.ග්‍රෑ 0.56, අයඩීන් මයික්‍රො ග්‍රෑම් 90, සෙලේනියම් මයික්‍රො ග්‍රෑම් 17, විටමින් ඒ මයික්‍රො ග්‍රෑම් 400, විටමින් බී1 මි. ග්‍රෑ 0.5, විටමින් බී2 මි. ග්‍රෑ 0.5, විටමින් බී6 මි. ග්‍රෑ 0.5, විටමින් බී12 මයික්‍රො ග්‍රෑම් 0.9, නියැසින් මි. ග්‍රෑ 6, විටමින් ඩී3 මයික්‍රො ග්‍රෑම් 5 සහ විටමින් සහ විටමින් ඊ මි. ග්‍රෑ 5 වශයෙන් ක‍ෂුද්‍ර පෝෂක අතිරේක පැකට්ටුවක් තුළ මෙම කුඩු ලිපිඩමය ස්ථරයකින් ආවරණය වී ඇත.

විටමින් සී මගින් යකඩ අවශෝෂණය වැඩි කරන අතර විටමින් ඒ මගින් යකඩ පරිවෘත්තිය හොඳින් සිදු කරයි.

මෙම පැකට් එන්නත් ලබාදෙන සායනයක් තුළදී මව්වරු වෙත ලබාදෙන අතර සුළං නොවදින සේ වැසෙන භාජනයක අසුරන ඉර එළියෙන් හා උෂ්ණත්වයෙන් ආරක‍ෂා වන ලෙස ගබඩා කර ඇත.

අතුරු ආබාධ

  • මල තද පැහැයක් ගැනීම විය හැකි මුත් එය සාමාන්‍යයයි
  • කලාතුරකින් ඔක්කාරය හා වමනය ද ඇතිවිය හැකියි

අතුරු ආබාධයක් ඇති වුවහොත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත දරුවා රැගෙන යන්න.

මෙතෙක් දරුවා සඳහා ලබාදෙන ත්‍රිපෝෂ, විටමින් ඒ අධි මාත්‍රාව සහ පණු ප්‍රතිකාරය ඒ අයුරින්ම ලබාදිය හැකි අතර අනෙකුත් විටමින් වර්ග ලබාදීමෙන් වළකින්න. ක‍ෂුද්‍ර පෝෂක ලබාදීම සටහන් කිරීමට මව්වරු උනන්දු විය යුතු අතර ඒ සඳහා දින සටහනක් හෝ වෙනත් ක්‍රම වේදයක් යොදා ගැනීම ඔබේ දරුවාට නියමිත පරිදි ක‍ෂුද්‍ර පෝෂක ලබාදුන් බවට හා ඇතිවන ගැටලූ සසඳා ගැනීමට ද පහසුවක් වනු ඇත.

අයිරාංගනි ගගලගමුව
පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනි
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය
බුලත්සිංහල

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article