- Advertisement -

අකලට මිලින මල්කැකුලු පිටුපස

-

දෙමව්පියන්ට තමන්ගේ දරුවන් තරම් විශ්වාසවන්ත වෙනත් කිසිවෙකුත් නොමැත. දරු සෙනෙහස ඇට, ලේ , මස් නහර වැද ගමන් කරන නිසා මේ තත්වය ගොඩ නැගෙන බව සැබෑය. එහෙත් ඔබ දරුවන්ට සැබෑ ආදරය කරන්නා සේම ඔවුන් කියන හැම දෙයම විශ්වාස නොකරන්න. එය දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා වැදගත් පියවරකි.

පසුගිය දිනක මහවැලි ගං දියේ සැඟවුනේ අවුරුදු දහතුනක් වූ කෙලිලොල් වයසේ පිරිමි දරුවන් තිදෙනෙකි. ගෙවුන කාලය තුළ නිතරම අසන්නට ලැබුන ඉතා ශෝචනීය පුවත් අතරට අකාලයේ මිලින වුන මෙවන් මල්කැකුළු ගැන වාර්තාවන් බොහෝය. ඒ සියල්ල පිටුපස ඇත්තේ දෙමව්පියන්ගේ නොසැලකිල්ලයි.

- Advertisement -

මුලින් කී දරුවන් තිදෙනාම මේ අන්දමින් අනතුරට පත් වූයේ මව්පියන්ට බොරු කියමින් පාසලේ අවශ්‍යතාවයට යන බව කියා මහවැලි ගං දිය නෑමට ගිය නිසාය. මව්පියන්ද මේ දරුවන් ගැන උපරිම විශ්වාසය තැබූ නිසාම නැවත මේ ගැන පසුවිපරම් කළේද නැත. දරුවන් යනු අනතුරු සමගම උපත ලද කොටසකි. ඔවුන්ගේ නොතේරුම් කම නිසාම අනතුරක් වෙන තෙක්ම ඒ ගැන අවබෝධයක්ද නැත. මේ නිසා නිතරම දෙමව්පියන් වශයෙන් ඔබ දරුවන් කියන දෙය මතම නොරැඳී  ඔවුන් කරන කියන දේ ගැන විපරමින් සිටින්න.

දරුවන් පාසලේ උවමනාවකට යන බව කියා දෙමව්පියන් නොමග යවා ඇත. එහෙත් ඔබ දරුවන්ගේ වචන ගැන පූර්ණ විශ්වාසය තබා කටයුතු නොකරන්නේ නම් ඔවුන්ද වැරදි කටයුතු වෙනුවෙන් යොමු වීමට කිසියම් බියක් දක්වනු ඇත. මෙවන් අවස්ථාවන්හිදී දරුවන්ට නොදැනෙන පරිදි ඒ ගැන පසුවිපරම් කිරීම අවශ්‍ය වේ. පාසලේ ගුරුමණ්ඩලය සමග මව්පියන් සමීප සම්බන්ධතාවයක් තබා ගැනීම ඉතා වැදගත්ය.

අද සන්නිවේදනය ඉතා වැදගත්ය. මේ නිසා පංතිභාර ගුරුමහත්මියගේ දුරකථන අංකය සමග දෙමව්පියන් සම්බන්ධතාවය ගොඩ නගා ගැනීම ඉතා වැදගත්ය. ඇතැම් අවස්ථාවන්හිදී දුරකථන අංකය ලබා දීමෙන් ගුරු මණ්ඩලයට අනවශ්‍ය කරදරකාරී බවක් ඇති වෙන අවස්ථාවන්ද ඇත. ඒ නිසාම විටෙක ඔවුන් දුරකථන අංක පංතියේ දරුවන්ට ලබා දීමට මැලි වෙනු ඇත. මේ නිසා මව්පියන් ලෙසින් ඔබ ගුරුවරුන්ට අනවශ්‍ය හිරිහැරයක් නොවන ලෙසින් දරුවා පිලිබඳ තොරතුරු දැන ගැනීමට පමණක් මෙය අවස්ථාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. දරුවා ගෙනෙන පනිවිඩ මුල් කර ගෙන ගුරුවරයාගෙන් විමසීමක් නොකළද, මම ටීචගෙන් කෝල් කරල අහනවා…යන තැනදි දරුවා මෙල්ල වන්නේ ඔවුන්ද නොදැනුවත්වමය. අවුරුදු දහතුනක් යනු මව්පියන්ට ඉතාම හොදින් මට්ටු කළ හැකි වයසකි. යම්හෙයකින් දරුවන්ගේම වචනය මත නොපිහිටා මෙම දරුවන්ගේ මව්පියන් අතර හෝ අදහස් හුවමාරු වුවා නම් මේ තත්වය ඊට වෙනස් වෙනු ඇත.

ගහකොළ , ඇල දොළ සමග සාමාන්‍ය සම්බන්ධතාවයන් නොමැති නිසා අද දරුවන් මේ අන්දමින් දිය නෑමට යොමු වන්නේ විනෝදය මුල් කර ගෙනය. එහෙත් දිය ගැඹුරුය…ප්‍රවේසමෙන් යන අදහස දරුවන්ට ලබා දීම ඉතා වැදගත්ය.දියනෑම වෙනුවෙන් ආරක්ෂිත ස්ථාන ඇත. අනාරක්ෂිත ස්ථානද ඇත. මේ ගැන දරුවන්ට පණිවිඩ ලබා දෙන අතරම අදාල ස්ථාන සමාජයට සන්නිවේදන කිරීම ඉතා වැදගත් වේ.

අද බොහෝ දරුවන් විභාග අවසානයේදී මානසික වෙහෙස නිදහස් කිරීමට විනෝදචාරිකාවන් සංවිධානය කරන අතර එහිදී අනිවාර්යෙන්ම දියනෑමත් එක් අංගයක් ලෙසින් එක්ව ඇත.විභාග මානසිකත්වයෙන් පසු යම්කිසි නිදහස් බවක් අවශ්‍ය බව සැබෑය. ඒ අතරම තමාගේ ආත්මාරක්ෂාවත් සලසා ගැනීම ඉතා වැදගත්ය. දරුවන් යනු රෝගීන් නොවේ. ඔවුන් බෙහෙවින් ක්‍රියාශීලීය. ක්‍රියාශීලි නොවන දරුවන් ඇත්තටම රෝගීන්ය. එබැවින් දරුවන්ගේ කෙළිලොල් බව පිටුපසින් ඇති අනතුරු ඉව ගැන ඔවුන්ට පෙන්වා දීම ඉතා වැදගත්ය.

පිරිමි දරුවන්ගේ දියනෑම පිටුපස දිවෙන තවත් අතුරු කතාන්දර ඇත. අද දරුවන් බොහෝ සෙයින් මත්පැන් මත්ද්‍රව්‍ය සදහා යොමු වීමේ ප්‍රවනතාවයක් ඇත. මත නිසා ඇති වෙන මත් ගතිය නිදහස් කර ගැනීමට දිය නෑමට යොමු වීම එහි එක් අවස්ථාවකි.එවන් අවස්ථාවන්හිදි දැනෙන මත් ගතිය නිසාම ඔවුන්ද නොදැනම අනතුරු සිදු වෙන බවටත් මව්පියන්ගේ අවධානය යොමු වීම වැදගත් වේ.

ජීවිතය යනු විඳවන නොව වින්දනය කළ යුතු බවට අද තිබෙන පිලිගැනීම නිසාම දරුවන්ගේ මානසිකත්වය තුළ අනාගතයේ ආරක්ෂාව යන සංකල්පය නැත. වින්දනය සමගම ජීවිතේ ආරක්ෂාවත් බද්ධ විය යුතුය.විනෝද චාරිකාවන් වෙනුවෙන් සහබාගි වන්නේද සම වයසේම පිරිසකි. ඔවුන් වෙනුවෙන් අතීතයේ සිටි අත්දැකීම් සහිත නඩේගුරෙක් අද නැත. ලෝකය පුංචි නිසා අද පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වාම කිසිම අපහසුවක් නැතුව ගමනේ යා හැකි වුනත් තරුණ ජවය තුළ දිගු ගමනක් වෙනුවෙන් ආරක්ෂාව පිලිබඳ සංකල්පය එතරම් පහසු නැත. චාරිකාවේ එක් කොටසක් ලෙසින් මත්පැන්ද ඇත. එතැන් පටන් සිහිබුද්ධිය මත පිහිටා කටයුතු කිරීම අපහසුය.

වයසත් සමග වැඩෙන දරුවන් ස්වාධීන වීමට දරණ උත්සාහයේදී අනතුරු ගැනත් ඔවුන්ට වටහා දීම ඉතා වැදගත්ය. දින දිනම ඇසෙන පාසල් වයසේ දරුවන්ගේ අනතුරු සමග විමසිය යුතු කරුණක් ඇත. දරුවන්ට දියනෑම වෙනුවෙන්ම මෙතරම් පිපාසයක් ඇති වන්නේ ඇයිද යන්නයි. එහි බැඳුන අතුරු කතා අනතුරට මග පාදන බැව් මව්පියන් දනොදැන සිටීම තවත් අතුරු ප්‍රතිඵලයකි. දරුවාගේ චර්යාවන් ගැන නිරීක්ෂනයේ යෙදෙන්න. මතට , දුමට ඇබ්බැහි වෙන ලකුණු ඇත්දැයි විපරම් කරන්න. දරුවා මුල් අදියරේදීම මෙම වැරැදි ක්‍රියාවන්ගෙන් මුදවා ගැනීම බෙහෙවින් පහසු කටයුත්තකි. ඇත්තටම විනෝද චාරිකාවන්ට සහභාගී විමේ කිසිදු වරදක් නැත එකම වරද ඇත්තේ එවන් අවස්ථාවන් මුල් කර ගෙන දරුවන්ගේ විසින් ගොඩ නගා ගන්නා වැරදි හැසිරීම් රටාවයි.

පාසලට ඇතුල් වූ පසුව දරුවා ආරක්ෂිත යැයි හිතුවද දරුවන්ගේ හිතුවක්කාරකම් නිසාම විවිධ අනතුරු සිදු වෙන අවස්තා ඇත. එයින් පාසලේ පරිපාලනය අපහසුතාවයට පත් වේ. මහනුවර ප්‍රදේශයේ උසස් පිරිමි පාසලක දරුවන් තිදෙනෙක් පාසල් වේලාවේදී ‍ හොර රහසේ දිය නෑමට ගොස් ඇත. නාමලේඛනයටත් ඔවුන් පිලිතුරු දී එයින් අනතුරුව ‍පිටව ගියහ. අවාසනවානකට දරුවන් ගංදියේ ගොදුරක් විය. අවසානයේදී චෝදනාවට වඩා නිත්‍යානුකූල බලපෑම එල්ල වූයේ පාසලටයි. නාමලේඛනයට අනුව දරුවන් සිටිය යුත්තේ පාසලේය. පාසලෙන් දරුවන් පිටවුයේ කෙසේද…ශිෂ්‍යයන් වෙනුවෙන් පාසල විසින් දක්වන ලද අවධානය ආරක්ෂාව ඉතාම දුර්වල යැයි වූ පරිපාලන චෝදනාවන් නිසා පාසලේ කාර්ය මණ්ඩලයම අපහසුතාවයට පත් විය. එබැවින් නාමලේඛනයට අනුව පමණක් නොව දරුවාගේ දවස තුළ ආරක්ෂාව සපයා දීමටත් පාසල සමත් විය යුතුය.

මිතුරු සමාගම් සමග එක්ව හැසිරෙන අතර ඇති වෙන අනතුරු දැන් ඉතා සුලබය. මාධ්‍ය මගින් මේ ගැන නිරන්තර කතා බහ කරන විටදීවත් දරුවන්ගේ ආරක්ෂාව ගැන මව්පියන්ගේ අවධානය දැනට වඩා යොමු වන්නේ නම් අකලට මල් කැකුලු මිලින නොවනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article