- Advertisement -

දරුවන්ට අවබෝධ කළ යුත්තේ සමාජයේ කුරුරි බව නොව, ස්වයං ආරකෂාව සළසා ගැනීම පිළිබඳවයි

-

ලොව සුන්දරත්වය නසන්නේ කුරුරි සිත් ඇති මිනිසුන්මය. අද වන විට හයක් හතරක් නොදන්නා සුරතල් දරු දැරියන්ට නිදහසේ තම ජීවිතය විඳින්නට ඉඩක් නැත්තේ ද ඒ කුරිරු සිත් ඇති මිනිසුන් නිසාය. ඔවුන්ගේ සුරක‍ෂිත බව කෙරෙහි ඔබේ අවධානය 200%ක් අවැසි වන්නේ ඒ නිසාමය.

ශ්‍රී ලංකා නීති පද්ධතියට අනුව වයස අවුරුදු 16 අඩු දරුවන් අකමැත්තෙන් පමණක් නොව ඔවුන්ගේ කැමැත්ත ඇතිව වුවද ලිංගික ක්‍රියාකරකම්වල යොදවා ගනීම හැඳින්වෙන්නේ දූෂණයක් ලෙසටයි.

- Advertisement -

කුඩා දරු දැරියන්ට මේ ලෝකය පිළිබඳව අවබෝධයක් නැති වුවද වැඩිහිටි ඔබ තම වටපිටාව පිළිබඳව මනා දැනුවත් බවකින් සිටිය යුතුමය. අද වන විට සමාජයේ සිදුවන, අසන, දකින දේ අනුව ඕනෑම අයෙකු කෙරේ 100% විශ්වාසයක් තැබීම මල් කැකුළු වැනි වූ මේ දරුවන්ගේ ජීවිත අනාරක‍ෂිත තත්ත්වයට පත්වීමට මූලික හේතුවක් විය හැකි බව ඔබ සිතුවාද? සැබවින්ම එය ඔබ විසින් සිදුකරනු ලබන පළමු වරදයි. අද වන විට පියා, සහෝදරයා අතින් සිය නිවසේදීම අතවරයට ලක්වන පුංචි දරුවන් පිළිබඳව ද ඔබ කොතෙකුත් අසා ඇති. අතවරයට ලක් වූ කුඩා දරුවන් 95%ක් පමණ අතවර ලක් වූ ආකාරය පිළිබඳව සොයා බැලීමේදී එය සිදුවූ බවට වාර්තා වී ඇත්තේ දරුවාගේ පවුලට වඩාත් හිතවත්ව සිටින පුද්ගලයන් අතින්මය.

දරුවන්ට අවබෝධ කළ යුත්තේ සමාජයේ කුරුරි බව නොව, ස්වයං ආරක‍ෂාව සළසා ගැනීම පිළිබඳවයි…

ප්‍රථමවරට තම පෞද්ගලිකත්වය පිළිබඳව දරුවෙකු තුළ හැඟීමක් ජනිත වන්නේ මාස හයක් වැනි වයස් සීමාවේදී පමණය. එවැනි වයසේ පසුවන බිළිඳුන් මව/රැකබලාගන්නා නොමැති විට හඬා  වැටේ. මන්ද ළදරු අවධියේ සිටම ඔවුන් තමාගේ දේ හඳුනා ගනි. එතැන් සිට වයස අවුරුදු දෙක පසුවන විට දරුවන්ට යමක් අවබෝධ කරවීමේ හැකියාව ඇති වේ. කුඩා අවධියේ සිටම දරුවෙකුහටත් පෞද්ගලිකත්වයක් තිබිය යුතු අතරම තම බඩු බාහිරාදිය පිළිබඳව පමණක් නොව තම සිරුරේ අයිතිය මෙන්ම එය රැකගැනීමේ වගකීම ද තමා සතු කාර්යයක් බව දරුවාට අවබෝධ කළ යුතුය. එය වැඩිහිටි ඔබ ඉතාම ඥානාන්විතව සිදු කළ යුතු කාර්යයකි.

මේ සඳහා සුදුසුම අවස්ථා ඔබ දන්නවාද ?

දරුවා නහවන/ඇඟ සෝදන/ඇඳුම් මාරු කරන අවස්ථාවන්ය

සතියකට වරක්වත් ඉතා සරලව ස්වයං ආරක‍ෂාව පිළිබඳව අදහසක් දරුවාට ලබාදෙන්න.

” මේ පුංචි ඇඟ  මගේ පැටියගේ. නාවද්දි, ඇඟ සෝදද්දි හරි කක්කි/චූ දාද්දි විතරයි ඔන්න පැටියා මේ කලිසම ගලවන්නේ… තේරුණා නේද මගේ පැටියට? ඒ වගේම මගේ චූටි පැටියගේ කලිසම ගලවලා අතගාලා සෝදන්නේ අම්මා/තාත්තා/රැකබලාගන්නා විතරයි. වෙන කාටවත් මේ හරිය අල්ලන් දෙන්න එපා හොඳද? කවුරු හරි එහෙම කළොත් ඉක්මණට අම්මට කියන්න. ”

දෙමාපියනි,

දරුවන් සමග දැඩි බැඳීමක් ඇති කරගන්න

ළදරුවියේ සිටම දරුවන් සමග දැඩි බැඳීමක් ඇති කරගැනීම තුළින් දරුවා වැඩිවියට පැමිණ පසුව වුවද දෙමාපියන් සමග තම අත්දැකීම් සහ සිතුවිලි ඛෙදාහදා ගැනීමට මැලි නොවේ. මාපියන් සමග දැඩි බැඳීමක් ඇති දරුවන් ඔවුන්ට හමුවන පුද්ගලයන්, ඔවුන් සමග කතා බහ කරන දේ, තමාගේ සතුට/වේදනාව වැනි සියලු දේ පිළිබඳව තොරතෝංචියක් නොමැතිව නිවසට ආ විගස මව හෝ පියා සමග කියවන්නට පටන්ගනී. එය දරුවාගේ වටපිටාව පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මාපියන්ට විශාල සහයෝගයක් ලබාදේ. එමගින් ඉදිරියේදී දරුවාට මුහුණ දීමට සිදුවිය හැකි අවධානම් තත්ත්වයන් පිළිබඳව කල්තියා දැනුවත් වීමට වැඩිහිටි ඔබට හැකියාව ලැබෙයි.

දරුවාට හොඳින් සවන් දෙන්න 

කුඩා අවධියේ සිටම ඉස්පාසුවක් නොමැතිව තම අත්දැකීම්, මනඃකල්පිත අදහස් ඇතුළු සියලූ දේ දරුවන් මාපියන් ඉදිරියේ ප්‍රකාශයට පත් කරයි. ඒ සඳහා අවස්ථාව ලබා දීම ඉතාම වැදගත් වන්නේ දරුවාට කුඩා වියේ සිටම සවන් දෙන්නෙකු සිටින බැවින් කිසිවක් නොසඟවා නිවැසියන්ට පැවසීමට හුරුවීමයි. එය වැඩිහිටියන්ගේ වැඩකටයුතු සඳහා බාධාවක් වුවද දරුවාගේ ආරක‍ෂාව සැපයීම උදෙසා අවැසි සෑම තොරතුරක්ම දැනගැනීමට ඔබට අවස්ථාව සැලසේ.

නොකරන ලෙස අණ කළ යමක් සිදු කොට එයින් ලැබුණු අමිහිරි අත්දැකීම විස්තර කිරීමේදී දරුවාට බැන වැදීමෙන් වළකින්න

මන්ද බියට පත්වන දරුවන් ඔබ සමග කිසිවක් නොපවසා සිටීමට තීරණය කරනු ඇත. එබැවින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා තෙක් හෝ ඉතා ඉවසිලිවන්තව දරුවාට සවන් දෙන්න.

කුඩා දරුවෙකු දිගු කාලීනව අපයෝජනයට ලක්විය හැකි අවස්ථා,

  • අපයෝජකයා දරුවා හෝ නිවැසියන් මරා දමන බවට දරුවාට තර්ජනය කොට බියට පත්කරමින් තම අවශ්‍යතා ඉටුකරගැනීම
  • දෙමාපියන් බැන වදී යැයි බියෙන් දරුවා කිසිත් නිවසට නොපැවසීම
  • සිදුවන අතවරය පිළිබඳව ඇති අනවබෝධය නිසා සාමාන්‍ය දෙයක් යැයි සිතා දරුවා එය නොපවසා සිටීම
  • දරුවා ලබන මෙම අත්දැකීම පිළිබඳ ඇති අනවබෝධය නිසා කුඩා දරුවන්ට ඒ කෙරෙහි කැමැත්තක් ඇතිවීම

දරුවාට කියන්න,

  • තමාට කවරෙකුගෙන් හෝ හිංසනයක් සිදු වේ නම් වහාම මව්පියන්ට දැනුම් දෙන ලෙස
  • තොරතුරු සඟවා සිටීමෙන් විශාල කරදරවලට පත්විය හැකි බව
  • නාඳුනන පුද්ගලයන් සමග කතාබහ නොකරන ලෙස
  • මාපියන්ගේ අවසරය නොමැතිව කිසිවෙකු සමග නොයන ලෙස
  • දරුවෙකුට මව්පියන්ට පැවසිය නොහැක්කක් නොමැති බව

දරුවෙකු ලිංගික අපයෝජනයට ලක්විය හැකි ආකාර කිහිපයකි.

  • ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීම
  • දරුවෙකු ලවා අපයෝජකයාගේ සිරුර ස්පර්ශ කරවීම
  • ඇසැබි දර්ශන පට හෝ ජායා රූප පෙන්වීම
  • සිප වැළඳ ගැනීම
  • ලිංගික සංසර්ගය

මාපියනි, අද වන විට දරුවන් දරුවන් අතරද යම් යම් අපයෝජනයන් පිළිබඳව වාර්තා වන බව ඔබ දන්නවාද? දරුවන් අපයෝජනයට ලක්වීම සිදුවන්නේ විරුද්ධ ලිංගිකයන් අතින් පමණක් නොව. ඇතැම් පාසැල්වල සීග්‍ර ලෙස පැතිර යන සමලිංගික ක්‍රියාවන් හේතුවෙන්ද කිසිත් නොදන්නා කුඩා දරුවන් අපයෝජනයට ලක්වීම සිදුවේ. දරුවන්ගේ යහළු, යෙහෙළියන් පිළිබඳවත් ඔවුන් එක්ව යන ස්ථාන පිළිබඳවත් සැළකිලිමත් වීම ඉතා වැදගත් වේ.

වයස අවුරුදු දහය දොළහ වැනි වයස් සීමාවන්වල දරුවන් මෙවැනි අවස්ථාවකදී සූක‍ෂමව එවන් අවස්ථාවන් මඟහැරීමට දැනුවත් කරන්න.

  • කෑ ගසා අවටින් උදව් ඉල්ලීමට ඔවුන් කියා දෙන්න
  • කිසිවෙකුත් නැති ස්ථානයකදී නම් ස්ථානෝචිත ප්‍රඥාව උපයෝගී කරගනිමින් උපක්‍රමශීලීව අවස්ථාව මගහරින්නට කියාදෙන්න

දෙමාපියනි, අද වන විට ඇසේ මුහුණේ තබාගනිමින් රැකගත යුත්තේ ගැහැණු දරුවන් පමණක්ම නොව. පිරිමි දරුවන්ටද ඒ රැකවරණය අවැසිමය. පසුතැවීමට ඉඩ නොතබා දරුවන්ගේ රැකවරණය උදෙසා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම අද සිටම අරඹන්න. ඒ වගේම දරුවන්ට සිදු වන ලිංගික හිංසනයන් සඟවා සිටීම ඔබේ දරුවාගේ මෙන්ම තවත් දරුවන්ගේ අනාරක‍ෂිත බව තව තවත් වැඩිකරවයි.

ළමා අපයෝජනයකදී පහත අංකවලට දැනුම්දෙන්න
– දුරකතන අංක –
ක්‍ෂණික ඇමතුම්         :           1929
ළමා හා කාන්තා කාර්යාංශය       :            0112 44 44 44
ජාතික ළමා රක‍ෂණ අධිකාරිය         :            0112 77 89 11- 4
– කොළඹ, වසංගත රෝග අංශයේ ජේෂ්ඨ ලේඛකාධිකාරී ප්‍රජා වෛද්‍ය සමීර සේනානායක මහතා සමග සකසන ලද ලිපියකි. – 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article