- Advertisement -

හැදෙන ගහ දෙපෙත්තෙන් නොපෙනේ

-

හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ කිව්වත් සමහර ගස් දෙපෙත්ත තුල හැදෙන ගතියක් නොපෙන්නුවත් කාලයකදී ඉතා සරුවට වැඩෙන්න පටන් ගන්නවා. තවත් සමහර ගස් දෙපෙත්ත තුන්පෙත්ත හොඳින් තිබුනත් හදිසියේම වෙනස් තැනකට පත් වෙනවා. දරුවන් ගැන වුනත් අපිට මේ සත්‍යය ආදේශ කරගන්න පුලුවන්.

ඇතැම් දරුවන් බාල කාලයේදී ඉතාම නොහික්මුන ගති පැවැතුම් පෙන්වුවත් කාලයත් සමග මේ දරුවන් ඉතාම හොඳ තත්වයට පත් වෙනවා. මේ නිසා අපිට බාල කාලයේදීම දරුවන් ගැන සහතික දෙන්න අපහසුයි.

- Advertisement -

සාපේක්ෂතාවාදය ලෝකයට හඳුන්වා දුන් ඇල්බට් අයින්ස්ටයින් කුඩා කාලයේ කතා බහ කළේම නැහැ. දෙමව්පියන් හිතුවේ ඔහු උපන් ගෙයි ගොලුවෙක් කියලයි. එහෙත්…අවුරුදු තුනක් වෙද්දී දවසක් කෑම මේසයේදී ඇල්බට් මෙසේ කිව්වා. ” මේ සුප් එකට ලුණු මදි…. ” දෙමව්පියන් පුදුම වුණා.

ඇයි පුතේ මෙච්චර කාලයක් කතා නොකර ගොලුවෙක් වගේ හිටියේ….සතුට ඉවසා ගත නොහැකි දෙමව්පියන් ඔහුගෙන් ඇහුවා.මේ ගෙදර මට මෙච්චර කාලයක් කතා කරන්න අඩු පාඩුවක් තිබුනේ නැහැ. ඔහු කිව්වා.

අසාමාන්‍ය බුද්ධියකින් හෙබි ඔහු පාසල් කාලයේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වුනේ නැහැ. ඔහුගේ වයසේ අනිත් දරුවන්ට සාපේක්ෂව ඔහු බොහොම දුර්වලයි.ලෝකය ගැන නොදන්න මෝඩ කොල්ලා..කම්මැලියෙක් නොවී මිනිහෙක් වෙන්න ඉගෙන ගනින්…ගුරුවරු කිව්වා…

ඔවුන් එදා ඒ විදිහට දැක්කත් ඇල්බට් අයින්ස්ටයින් පසුකාලෙක භෞතික විද්‍යාවට විශිෂ්ට සේවාවක් කළ බුද්ධිමතෙක් වුණා.

අද  ජාත්‍යන්තර තලයේ ප්‍රසිද්ධ චරිතයක් බවට පත්ව සිටින  පූටින් හෙවත් රුසියානු ජනාධිපතිවරයා පාසල් කාලයේ ඉතා දාමරික චරිතයක්. ” වොලද්යා ” ලෙසින් එදා ඔහු හැඳින්වුණා. වයස අවුරුදු දහහයේ පටන් බොක්ෂිං ක්‍රිඩාවට යොමු වෙන ඔහු කිහිප වතාවක්ම තමන්ගේ නාසය මේ ක්‍රීඩාව නිසා බිඳ ගත්තා. ” සම්බෝ” යනුවෙන් හැඳින්වෙන අවි ආයුධ නැති ආත්මාරක්ෂාව පිළිබඳ ක්‍රිඩාවට  සම්බන්ධ වෙනවා. නිරන්තරවම රණ්ඩු සරුවල් වෙනුවෙන් පැටලුන හිතුවක්කාර චරිතයක්.

වොරන් බුෆේ පාසලේ ඉතාම කරදරකාර චරිතයක්.දවසක් පංතියේ ගුරුවරුයා ඔහුට චෝදනා කරමින් කියා සිටියේ තමුසේ කවදා හරි හිරේ යනවා…එහෙම නැත්නම් කෝටිපතියෙක් වෙනවා යන්නයි.

මේ චරිත පිළිබඳ අතීතාවර්ජනයේ යෙදෙන විට පෙනෙන්නේ ඔවුන්ගේ අනාගතය බාල කාලයේදී පෙන්නුම් නොකල බවයි. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ බිය විය යුතු නැත.

දරුවාගේ අද හැසිරීම දෙස බලමින් ඔබ කිසිම විට අනාගතය ගැන තක්සේරු ගොඩ නගා ගත යුතු නැහැ. බාල කාලය අයහපත් වුනොත් ජීවිතය එයින් අවසාන වන්නේ නැහැ. දරුවාගේ ඔබ දකින හැකියාවන් තුලින් ඉදිරියට යෑමට උත්සාහ කරන්න.

බොහෝ දෙමව්පියන් දරුවන්ට චෝදනා නගන්නේද උඹ හැදෙන හැටි ම‍ට පේනවා…පුදුම කාලකණ්ණියෙක්…අනාගතයක්නම් ඇත්තේම නැහැ….ආදි ලෙසින් ඉතාම දරුණු විදිහටයි. දෙමව්පියන් විසින් ඔබ කිසිම දිනක මේ අන්දමින් දරුවාට අසාර්ථක අනාගතයක් ගැන අනාවැකි ඉදිරිපත් කළ යුතු නැහැ.ඇතැම් අවස්ථාවන්හිදී මව්පියන්ගේ මෙම දරුණු අපවාද සහ අපහාස නිසාම දරුවාගේ මානසිකත්වය ඉතා ප්‍රබල අන්දමින් බිඳ වැටෙන්නට ඉඩ තිබෙනවා.

මව්පියන් විදිහට ඔබ දරුවන්ට ආශිර්වාද ගයනු මිස ඔවුන්ගේ ජීවිත සමග සෙල්ලම් කළ යුතු නැත. දැන්මම පේනවා කවදාවත් හැදෙන එකෙක් නම් නොවෙයි….යනුවෙන් චෝදනා නගන විට දරුවාගේ හිත තුලින් ලබා දෙන මා පරාජිතයෙක්ය යන සංකල්පය නිසා අනාගතය වෙනුවෙන් ඔවුන් තුල කිසිම හීනයක් හෝ ඉලක්කයක් ගොඩ නැගෙන්නේ නැත. අම්මා තාත්තා නිතරම කතා බහ කරන්නේ හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනේ යන සංකල්පය මත පිහිටා ගෙන පමණි.

එහෙත් දෙපෙත්ත හැදෙන වැඩෙන ස්වභාවයක් නොමැත්තේ නම් හැදෙන වැඩෙන අන්දමින් නිසි මගට පත් කර ගැනීමට කටයුතු සලසා ගත යුතුයි. ඒ වෙනුවෙන් අද බොහෝ මාර්ග ඇත. ඉගෙනුමට අසමත් නම් ඒ වෙනුවෙන් අවශ්‍ය මාර්ගයට අවතීරණය වෙනුවෙන් ඉගෙනුම වෙනුවෙන් සහයෝගය ලබා දීම මව්පියන්ගේ යුතුකමකි.

හිතමිතුරන් සමග අනිසි හැසිරීම් රටාවන්ට යොමු වෙන බවට ඉවක් දැනේ නම් වහාම එම ඇසුරෙන් දරුවා මුදවා ගන්න. වැරැදි හැසිරීම් රටාවේ ආදීනව ඔවුන්ට පහදා දෙන්න. සාර්ථක අනාගතයක් ගොඩ නගා ගැනීමට නම් අද දවස කැප කළ යුතු බව ඔවුන්ට දන්වා සිටින්න. මේ නිසා නොවැඩෙන පෙති දෙස බල බලා චෝදනා එල්ල කිරීම වෙනුවට දෙපෙත්තට වින කරන හැදීම බාල කරන කරුණු කාරණාවන් තේරුම් ගන්න. එවිට නියපොත්තෙන් කඩන්නට ඇති දෙය වෙනුවෙන් පොරව අවශ්‍ය නැත.

බාල කාලය අයහපත් ලෙසින් ගෙවා අනාගතය සාර්ථක කරගත් පුද්ගලයන් මෙන්ම බාල කාලයේදී ඉතා හොඳ හැසිරීමකින් යුක්ත වුනත් , අනාගතය විනාශ කර ගත් චරිත නොමැත්තේම නැත ඒ නිසා දෙපෙත්ත හොඳින් හැදෙන වැඩෙනවා දැක දැන් අපේ දරුවාගේ අනාගතය සාර්ථකය යන උපකල්පනයේ සිටින්නට බැහැ. දරුවෙක් නොමග යන්නට ඉතා සුලු ඇසිල්ලක් ප්‍රමාණවත්ය. දරුවා කොතරම් ගුණධර්මයන්ගෙන් යුක්ත වුනත් විෂම සමාජය විසින් ඔහු නොමගට ඇද ගැනීමට ප්‍රයත්න දරනු ඇත. දරුවන් ලෝකය නිසි පරිදි අවබෝධ කර ගෙන නැත එබැවින් දරුවා ගැන පසුවිපරම හිතින් ඉවත් කළ යුතු නැත.

මේ නිසා දරුවා මුල් කර ගෙන පූර්ණ විශ්වාසය හෝ අවිශ්වාසයෙන් කටයුතු නොකරන්න.සෑම දෙමව්පියෙකුගේම ප්‍රාර්ථනය ඉතා යහපත් ලෙසින් දරුවා ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. මව්පියන්ගේ අරමුණු තේරුම් ගැනීමට තරම් දරුවාගේ බුද්ධිය මුහුකුරා නැත දරුවන්ද පුංචි පැලයක් සේය. ඉතා සුලු දෙයින් පවා සහමුලින්ම විනාශ වෙන අවදානමින් යුක්තය . ගෙවත්තේ තිබෙන මල් පැලයක් දෙස බලන්න. දින කිහිපයක් ඒ ගැන සොයා නොබලා සිටින විට නොදැනම විවිධ ආපදාවන්ට පත් වීමේ ඉඩ කඩ බොහෝය. නිරන්තර විමසිල්ලෙන් සිටින විට මල් පැලයට ලැබෙන රැකවරනය නිසාම එහි පැවැත්ම ආරක්ෂා වේ.

මේ නිසා ඔබ කිසිම දිනක හැදෙන ගහේ දෙපෙත්ත මත විශ්වාසය තබන්නට සූදානම් නොවන්න. විටෙක මේ දෙපෙත්ත හොදින් වැඩී ඔබ නොදැනම විනාශ වෙනු ඇත. තවත් විටෙක දෙපෙත්ත ‍ගැන විශ්වාස තැබිය නොහැකි වුනත් ඔබේ ධෛර්යෙන් මල් පිපුන ගසක් නිර්මානය කර ගැනීම අපහසුවක් නොවෙනු ඇත. දරුවන් මුල් කර ගත් සිද්ධාන්තයද එසේම නිසා කිසිදු දිනක වර්තමානය මුල් කර ගෙන ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් තීන්දු තිරණ ලබා දීම බෙහෙවින්ම අසාර්ථක ක්‍රියාවක් වේ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article