පරිසරයට සංවේදී දරුවෙක් නිර්මාණය කරමු

punya_ chandanie_de silva_parenting_Apr 008

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටුනට පසුව හැම දෙනාම කුණු ගැන කතා කරන්න පටන් ගත්තා. මීට ඉහතදී අපි කුණු ගැන කතා බහ අවදි කළේ ඩෙංගු රෝගය හිස ඔසවන විට විතරයි.ඇත්තටම තමන්ගේ නිවසේ හතර මායිමේ කුණු ඉතාව අවම විදිහට නිවසේ සහ ගෙවත්තේ වපසරියෙන් ඉවතට දමනවා නම් මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. අතීතයේදී නම් හැම නිවසකම තමන්ගේ නිවසෙන් ඉවත් කරන කුණු කළමනාකාරණයක් ඇතුව ඉවත් කරන ක්‍රමවේද තිබුනා. අද හැම කෙනක්ම කියන්නේ කෝ…අනේ කුණු ටිකක් විසි කරන්නවත් ඉඩක්…යන්නයි. ඒ කතාව නිදහසට කාරනාවක් නෙවෙයි. දරුවන්ද ඉදිරියේ තබා ගෙන වැඩිහිටියන් කරන කියන වැරඅදි කටයුතු නිසා අපිට පරිසර සංවේදී පරම්පරාවක් ගොඩ නගා ගැනීම ඉතාම අපහසුයි.

වටපිට බලලා කවුරුත්ම නැත්තං විතරක් විසි කරන්න

අද අම්මා දරුවා අතට කුණු මල්ල දීල කියන්නේ පුතේ හොඳට වටපිට බලලා කවුරුවත්ම නැත්තං විතරක් විසි කරන්න…දරුවාත් දන්නේ මේ කුණු කාටවත් නොපෙනෙන විදිහට විසි කළොත් වරදක් නැහැ යන අදහසයි. අම්මා කියන විදිහටම දරුවා කුණු මල්ල විසි කලත් එයින් පසුව ඇති වෙන සිද්ධිය බොහොම අනතුරුදායකයි.

අනුන්ගේ කුණු අපිට මොකටද 

ඔබ අසල්වැසියාගේ වත්තේ මායිමට මේ විදිහට කුණු බැහැර කළාම ඔවුන්  විසින් ඔබේ වැට මායිමට කුණු දමා තිබුනොත් එය අසල කාණුවකට තල්ලු කරනවා. මේ කුණු තැන තැන රැඳීම නිසා ඩෙංගු මදුරුවන්ට හොඳ තිඹිරිගෙයක් බිහි කරනවා. ඒ විදිහට සිද්ධ නොවුනත් පළාත් පාලන ආයතන මගින් මේ කුණු වෙනත් තැනක එක්තැන් කරනවා කියන්නේ කුණු කන්දට තවත් අමුද්‍රව්‍ය ලබා දුන්නා කියන එකයි. හදිසියේවත් විනයක් නැති අය වැට මායිමට කුණු දමා තිබුනොත් ඒවා නිසි පරිදි බැහැර කරන්න.

ඔන්න ජනේලය ඇරල විසි කරන්න

ඔබ දරුවන් සමග නගරයේ හෝ වෙනත් ගමනක රථයකින් ගමන් කරන විට විවිධ ආහාරපාන මිළට  ගන්නවා ඇති. විශේෂයෙන්ම සිසිල් බීම, පළතුරු යුෂ කෑන්, වෙනත් රසකැවිලි දැවටුම් මේ වගේ දේ ආහාරයට ගත්තාට පසුව ඔබ දරුවාට කිසිම දිනක ඒවා ජනේලයෙන් පිටතට විසි කිරීමට උපදෙස් සදන්නේ නම් එයින් ඔබ දරුවා සමාජයට අහිතකර  තැනැත්තෙකුලෙසින්  නිර්මානය කරනු ඇත. අඩුම ගනනේ ඔබ දරුවාට උපදෙස් ලබා දිය යුත්තේ බසයේ ටිකට් පත වුනත් බසයෙන් බැස්ස විගස නැවතුමේ ඉවත නොදමන ලෙසයි. පරිසරයට සංවේදී වීම යහපත් ගති ගුණ සහිත දරුවෙකුගේ නිර්මානයට ඉතා වැදගත් හේතුවක් වේ.

දැවටුම් අවම කරන්න

අද අපි මුහුණ දෙන විශාලම ගැටළුව වී ඇත්තේ කසල බැහැර කිරීමේ අපහසුතාවයයි. නිවසේ ඉඳුල් සහ වෙනත් මුලුතැන්ගෙයින් ඉවතලන දෑ කොම්පෝස්ට් බැරලයකට දමන්නට දරුවාද දැණුවත් කරන්න. කාලය සමග මේවා ජීරණය වී ගෙවත්තේ මල් සහ එළවළු වෙනුවෙන් වූ පොහොර වශයෙන් යොදවා ගත හැකියි. නිතරම මේවා බැරලයට දැමීමට දරුවා මෙහෙයවන්න. එවිට ඔවුන් ජීරණය වෙන දේ ‍වටිනා පොහොරක් ලෙසින් භාවිතා කළ හැකි බව හඳුනා ගනු ඇත.

තව ෂොපිං මල්ලක් දෙන්න

නිකම් දෙනවා නම් ඕනෑම දෙයක් වැඏඳ ගැනීමේ මානසිකත්වයෙන් සිටින අපි නිවසට අනවශ්‍ය ලෙසින් කුණු කන්දල් එක් රැස් කරන බව ඔබත් නොදනී. දරුවන්ද අනවශ්‍ය ලෙසින් මෙම පොලිතින් ප්ලාස්ටික් නිවසට ගෙනෙන වාහකයන්ය. ඔවුන්ටත් මේවා බැහැර කිරීමේ ආදීනව පෙන්වා දෙන්න. අද බොහෝ පාසල් ” පොලිතින් තොර කලාපයක් ”බවට පත්ව ඇත. මෙම තත්වය නිවස වෙනුවෙන්ද ආදේශ කිරීමට දරුවා දැණුවත් කරන්න. හැම විටම  අලංකාර රෙදි මල්ලක් වෙළ පොලට රැගෙන යන්න. එයින් ඔබට කිසිම අපහසුවක් නැතුව විශාල බරක් මෙම මල්ලෙන් රැගෙන ආ හැක. එවිට නිවසේ පොලිතින් ඉබේටම අඩු වෙන්නේ ඔබ විකල්ප භාවිතා කළ නිසාය. මේ වෙනුවෙන් දරුවාද දැණුවත් කරන්න. ආහාර දැවටුම් වෙනුවෙන් කෙසෙල් කොළ, කැන්ද කොළ භාවිතයේ වාසි සහ රසය පෙන්වා දෙන්න.

අනතුරක් වෙන විට එයින් ඇති වෙන අපහසුතාවයට සීමා නැත

ඔබ අල්ලපු වත්තේ මායිමට කුණු විසි කොට අපේ වත්තේ කුණු නැහැ…යන ආත්ම තෘප්තියට පත් වුනත් ඩෙංගු මදුරුවා පහර දෙන විට වැරැදිකරුවා , නිවරැදිකරුවා ගැන නොහඳුනයි. මීතොටමුල්ලේ කුණු කන්දට යට වුන අය ඇත්තටම මේ කන්ද වෙනුවෙන් ඔවුන් බැහැර කළ කසල අංශු මාත්‍රයක්වත් නොතබෙන්නනට ඇත. එහෙත් අනතුර ඉදිරියේ එවන් තේරීමක් සිද්ධ වුනේම නැත.

පරිසරය රැකුනොත් අපිත් ආරක්ෂා වෙනවා

පරිසරයට හානි සිදු කළොත් එහි විපාක බෙහෙවින් බරපතලය. කිසිම දිනක එයින් ගැලවිය නොහැකි තරම් දරුණුය. ඒ නිසා ඔබ දරුවාට නිතරම පරිසරය රැකීමේ වැදගත්කම කියා දෙන්න.මලින් පලින් බර වුන කොළ පැහැති පරිසරය ඉතා දර්ශණීය සිතුවමක්. අපේ මුතුන් මිත්තන් ඉතා හොඳ පරිසරවේදීන් වූහ. ඔවුන් ගලන ජලයට කෙළ පිඩක්වත් ගැසුවේ නැත.  කුණු දූවිල ඇලට දොලට විසි කළේ නැහැ. ඒවා සැලකුවේ පාපකාරී කටයුතු ලෙසින්ය. ඒ නිසා පරිසරය වෙනුවෙන් පැවැතුනේ විශාල වටිනාකමකි. මේ නිසාම අද වගේ නාය යෑම්, ගංවතුර, නියං ගැන එදා ඇසුනේවත් නැත. මේ අන්තර් සම්බන්ධතාවය දරුවන්ට කියා දෙන්න. එවිට ඔවුන් කිසිම ලෙසකින් තමා ජීවත් වෙන පරිසරයට අකටයුතුකම් නොකරනු ඇත.

එදා කිරිමුහුද විදිහට හැඳින්වුන ‍මහනුවර බෝගම්බර වැව දැන් අවුරුදු කීපයකට පෙරාතුව ඇල්ගී වලින් අපිරිසිදු වුණා. මේ තත්වය මොනතරම් බරපතල වුනාද කිව්වොත් අවට පාසල් දැරියන් ක්ලාන්ත වෙන්න පටන් ගත්තා. ඉටපස්සේ වැවේ ජල සාම්පල් බලද්දී තේරුම් ගියේ අවට හෙ‍ේටල් මගින් සියළු අපජලය වැවට මුදා හැරපු බවයි.

පරිසරය මානසික ආතතියට ප්‍රතිකාරයක්

අද මානසික ආතතිය හෙවත් ” ස්ට්‍රෙස් ” රෝග තත්වය නැති කෙනෙක් නොමැති තරම්. මේ වෙහෙසකර හෝර්මෝනය නිදහස් වීම ගැන මනෝවිද්‍යාඥයන් බොහොම කතා බහ ගොඩ නගා ගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් වූ අපූරු ප්‍රතිකාරයක් දැන් හඳුනාගෙන තිබෙනවා. මෙහිදී වෛද්‍යවරැ රෝගීන්ට උපදෙස් දෙන්නේ මෙහෙමයි.

භාවනාවට වගේ සිරුර සැැහැල්ලුවෙන් තබා ගෙන වාඩිවී වනාන්තරයක් හිතින් මවා ගෙන ඒ වනානත්රයේ ඇවිදින්න උපදෙස් දෙනවා. ගස්වල පිපුන මල්, පළතුරැ, කුරුළු ගී නාද ඇහෙන විදිහට පරිසරය විඳින්න උපදෙස් දෙනවා. වතුරට දෙපා තිබ්බාම මාලුවන් දැවටෙන අන්දම මේ වගේ විසිතරු මනසින් මැවෙද්දී වෙහෙසකර හෝර්මෝනයේ නිදහස් වීම නොදැනම අඩු වෙන බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දෙනවා.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here