ගැබිණිවියේ මානසික අසහනය දරුවාට බලපානවා…

unhappy-pregnant-mother

ගැබිණි මවකට කොත්තුරොටී පිළියෙල කරන විට නැගෙන හඩ පවා නුසුදුසුයැයි වෛද්‍යවරුන් විසින් පවසද්දී පසුගිය දිනයන්හි මහනුවර ප්‍රදේශයේ සිදුවුන අවාසනාවන්ත සිදුවීම් ගැබිණි මව්වරුන්ට මහත් සේ තැතිගැන්මක්, පසුතැවිල්ලක් ඇති කළ බව නොරහසක්. හදිසියේ ඇඳිරිනීතිය පනවන විට හැල්මේ යන්නට සිදුවීම වැනි අනපේක්ෂිත සිදුවීම් ඉදිරියේ ඔවුන් බෙහෙවින් අසරණ වූහ. මේ නිසා ගැබිණිමවකට පරිසරයේ මුහුණදීමට සිදු වෙන සිදුවීම් ඉදිරියේ දරු කලලය අනාගතයේදී ප්‍රතිචාර දක්වන බව අමතක කළ යුතු නැහැ.

දරුවෙක් ලැබෙන්න සිටින අම්මා කෙනෙක් සතුටින් තබන්න පවුලේ උදවියගෙන් ලැබෙන්නේ විශාල පිටුවහලක්. ඉස්සරකාලයේ පටන්ම මේ පුරුද්ද අප අතරේ පැවැතුනා. අසුබ දේ දකින්න, ඇසෙන්න නොදී මවගේ ගැබ ආරක්ෂා කර ගැනීම එදා පටන්ම පැවැතුන සහයෝගයේ ඇති විද්‍යාත්මක පැත්ත අපි නොදන්නවා වෙන්න පුලුවන්. මහාචාර්ය ඩී.එච්. ස්වොට් විසින් එංගලන්තයේ සිදු කරන ලද අධ්‍යනයක් මගින් පෙන්වා දෙන්නේ මානසික අසහනයට ගොදුරුවුන මව්වරුන්ගේ දරුවන් ශාරිරික හා මානසිකත් පසුගාමී තත්වයෙන් පසුවුන බවයි.

ගැබිණිමවට පීඩාදායක පරිසරයක් බලපාන්නේ කෙසේදැයි මුල් කර ගෙන එස්. ‍පෝල් නැමැති විද්‍යාඥයා විසින් 1935 වසරේ අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. (පරණගම, ඩී. ඇම්.පරණගම ජීවිතය හා විද්‍යාව පි. 45) එහිදී ගැබිණි මීයන් තෝරා ගෙන ඔවුන් වෙනුවෙන් පරිසර තත්වයන් දෙකක් තෝරා ගත්තා. එක් මීයන් පිරිසක් ඉතා නිදහසේ හැසිරෙන සේ කූඩුවක ඉඩ වපසරිය ඇතුවත් අනෙක් මීයන් කිසිදු ඉඩක් නොමැතිව හිතකර පරිසරයක් නොමැති සේ තවත් කූඩුවකටත් ඇතුලත් කළා. මෙම මීයන් පැටව් ලද පසුව ඒ පිළිබඳව යෙදුන අධ්‍යනයෙන් පෙනී ගියේ හිතකර පරිසර තත්වයක සිටි මීයන්ගේ පැටවුන් මෙන් නොව පීඩාකාරී පරිසරයේ සිටි මීයන්ගේ පැටවුන්ගේ ඇඩ්රිනල් ග්‍රන්ථිය විශාල වී තිබුන අතර එයින් සෙසු අවයවයන්ටත් බලපෑම් ඇති වුන බව පෙනී ගොස් තිබුණි. ඩබ්ලිව්. ඇෆ් ගේබර් සහ ටී. ඒ ඇන්ඩර්සන් යන විද්‍යාඥයින් විසින් සුදු කරන ලද අද්‍යනයන් මගින්ද පෙනී ගියේ අධික ලෙස බියට සහ පීඩනයට පත් කරන ලද හාවුන්ගේ හෘදයවස්තුව , වකුගඩු, සහ ඩිම්බකෝෂවල ක්‍රියාකාරිත්වයට බලපෑම් ඇති වී තිබුන බවයි. මෙම අධ්‍යනයන් පාදක කර ගෙන විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගැබිණිකාලයේ මවට ඇති වෙන මානසික තත්වයන් දරු කලලයට බලපෑම් ඇති කරන බවයි. එහෙම නම් අපි ගැබිණිමවක් සතුටින් තබා ගන්නේ කොහොමද…?

අඹුසැමියන්ගේ සමගිය

දරුවෙක් ගැබ් ගත් පුවත සතුටින් අත්විදින්නා සේම මෙම කාලය පුරාවටම සැමියා විසින් ගැබ් ගත් බිරිය වෙනුවෙන් වඩාත් ආදරය, සෙනෙහස හා ආරක්ෂාව ලබා දීම ඉතාම වැදගත්ය. අද දරු ප්‍රසුතිය සිදු වෙන විට පියවරුන් වෙනුවෙනුත් නිවාඩු පවා අනුමත වී ඇත්තේ මේ අවස්තාවේදී සැමියාගේ ආරක්ෂාව බිරිඳට ලැබීමේ මානසික සුවතාවය නිසාය. ඒ නිසා අඹුසැමියන් අතර වූ සමගිය, සමාදානය හා සතුට දරු කලලයට බලපාන ප්‍රධාන සාධකයක් බවට පත්ව ඇත.

අඹුසැමියන් වෙන් වීම

විවාහ වී දරු මල්ලන් ලද විට පවා පවුල් කඩා ඉහිරුවා ගන්නා අඹුසැමියන් අප අතර නැතුවාම නොවේ. කුස සිටින දරුවා ගැන පවා නොතකා ඇතැම් සැමියන් බිරිදගෙන් වෙන්වීමේ තීන්දු තීරණ ගන්නා අවසුතාවන් ඇත. මෙය ගැබිණියක ලෙසින් දරා ගැනීම ඉතාම අසීරු තත්වයකි. අද දරුවාගේ  තාත්තා නොමැතිව රෝහලකින් පිටවීම පවා අසීරුය. දරු උපත ලියාපදිංචියට විවාහ සහතිකය ඉල්ලා සිටින පරිසරයකදී සැමියාගේ වෙන්වීම ගැබ්දරණ මවට දැඩි පීඩනයක් වෙනු ඇත. ඒ සියල්ල දරු කලලලයට බලපාන්නේ ඉතාම අවාසනාවන්ත ලෙසින්ය.

පවුලේ සාමාජිකන්ගේ ප්‍රශ්න

විවාහයකින් පසුව බිරිදක් ලෙසින් ඇය ආගන්තුක පරිසරය සමග යහපත් සම්බන්ධතාවයන් ගොඩ නගා ගත යුතුය. එහෙත් නැන්දම්මා, නෑනාවරුන් සමග ගෙවන මේ ජීවිතය තුළ අසීරුවට පත් වෙන කාන්තාවන්ද සිටින බැව් නොරහසකි. ඇතැම් නැන්දම්මලා, නෑනලා කිසිදු වෙනසක් නොමැතිව අලුත් ලේලිය එසේ නැත්නම් නෑනා සමග සම්බන්ධතාවයන් ගොඩ නගා ගත්තද තවත් තැනක ඇත්තේ ඉතාම ශෝචනීය පරිසරයකි. එවන් වූ පරිසරයකදී මුහුණ දෙන අප්‍රසන්න සිදුවීම් නිසා ඇති වෙන මානසික පීඩනය සෘජු ලෙසින්ම දරු කලලයට බලපානු ඇත. ඒ නිසාම උපත ලබන දරුවාගේ විවිධ අඩුපාඩුකම් ප්‍රදර්ශනය වෙනු ඇත.

අන්තර් පුද්ගල සම්බන්ධතාවයන් නොමැති වීම

ආදරයකින් ඇති වෙන බැඳීම විවාහයකින් ඉෂ්ට සිද්ධ වේ නම් එතැන ඇතත්ටම ගැටළුවක් නැත එහෙත් ඇතැම් ආදර සම්බන්ධතාවයන් වෙනුවෙන් ඇති වෙන විරුද්ධතාවයන් නිසා මහත් අපහසුතාවයන්ට පත් වෙන පෙම්වතුන් අප අතර බොහෝය. “චේතනා පරිශුද්ධ වේ නම් පෙම් සටන් පරදින්නේ නැහැ…” යි යන සිතුවිල්ල මතම රැඳී ඔවුන් කෙසේ හෝ විවාහය සිදු කර ගත්තද සනුහරේ විසින්ම ඔවුන් ප්‍රතික්ෂෙප කරනු ඇත. එහෙත් මේ ආදරවන්තයින් තමන්ගේ ජීවිතයට මුහුණ දෙමින් ඉදිරියට යන ශක්තිය ගොඩ නගා ගත්තද දරුවෙක් ගැබ් ගැනීම වැනි තීරනාත්මක අවස්ථාවන්හිදී වැඩිහිටියන්ගේ එසේත් නැත්නම් තමාට ආදරය සෙනෙහස දක්වන පවුලේ සම්බන්ධතාවයන් වඩාත් සමීප වීම වැදගත් වේ.

එහෙත් අද බොහෝ විවාහ හිතුවක්කාර විවාහ ලෙසින් සලකා තම පවුලෙන් පිටමං කරන ලදැයි වූ ස්ථාවරයේ සිටියත් දරුවෙක් ලද තැන මේ පවුල් අතර විරසකය මග හැරී යනු ඇත. එහෙත් තමාගේ දියණිය, ලේලිය වෙනුවෙන් අන්තර් පුද්ගල සම්බන්ධතාවයන්ගේ අවශ්‍යතාවය දැඩිව දැනෙනුයේ මේ කාලයේදීය. ඒ නිසා කිසිදු ලෙසකින් ඇය හුදෙකලා කළ යුතු නැත නමුත් අද බොහෝ පවුල්වලදී විවාහය මුල් කර ගෙන ඇති වෙන මතගැටුම් නිසා ගැබිණිවියේදී තමා අසරණය යන ආත්මානුකම්පාව දරු කලලයට බලපෑමක් ඇති කරන බව අමතක කළ යුතු නැත.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here