- Advertisement -

අපේ කාලයේ අවුරුදු අද දරුවන්ට නැතැත්….

-

අද බොහෝ දෙමව්පියන් සිංහල අලුත් අවුරුද්ද මුල් කර ගෙන කතා බහ කරන්නේ බොහොම පශ්චත්තාපයෙන්. ඊට හේතුව එදා ඔවුන් වගේම ඔවුන්ගේ මව් දෙමව්පියන් විසින් වින්දනීය කරනු ලබන සිංහල අලුත් අවුරුද්ද අද ඔවුන්ගේ දරුවන්ට නොමැති වීමේ පසුතැවිල්ල හිතේ කොනක තිබෙනවා.සිංහල අලුත් අවුරුද්ද කිව්වාම අපිට අදින දශක තුනකට පමණ පෙරාතුව තිබුන අවුරුදු සිරිය අද ලබා ගන්න බැහැ. පරිසරයේ වගේම මිනිසුන්ගේ ජීවන රටාව වෙනස් වුන නිසා ඒ අතීතය අද නැති වුනත් පවතින තත්වයේ වුනත් අපි අලුත් අවුරුද්දක ආශ්වාදය ඒ අයුරින්ම වින්දනය කිරීමට පුලුවන් වෙන විදිහට පරිසරය සකස් කර ගැනීම අවශ්‍ය වෙනවා. එහෙම නැතුව එදා අවුරුදු මෙහෙමයි… කිව්වාටම අපිට මේ නැවුම් අත්දැකීම වින්දනය කරන්න බැහැ.

නිවස පිරිසිදු කිරීම

එදා අවුරුදු කාලයට ගොම මැටි ගාලා , බිත්ති හුනු ආලේප කරල සූදානම් කරනවා.  අපි වගේම එදා උදවියත් නිරන්තරව තමන්ගේ නිවස හොදින් පිරිසිදුව තබා ගත්තා. ඒත් අලුත් අවුරුදු උණුසුම ඉදිරියේ ඔවුන් තම තමන්ගේ නිවෙස් සුද්ද පවිත්‍ර කර ගත්තේ මානසිකව අලුත් බවක් ලැබීමටයි.අද දවසේ මේ තත්වයක් නැහැ. ඔබ මෙහෙම කියාවි..අපේ ගෙවල් ඉතින් හැමදාම මොප් කරනවා. සතිපතා මකුළුදැල් කඩනවා…ඒ වුනත් අපි අවුරුද්දට ගෙවල් පිරිසිදු කර ගැනීම  අවශ්‍යද..? මේ පිරිසිදු කිරීම් රටාව ඇත්ත වුනත් අපි මේ සූදානම් වෙන්නේ අලුත් අවුරුද්දක් අලුත් විදිහට පිලිගන්න. ඒ  මානසික සතුට ඇති වෙන්නේ ඒ වෙනුවෙන්ම වූ සූදානම නිසයි.

- Advertisement -
කැවිලි පිලියෙල කිරීම

අවුරුදු ලං වෙත්ම හැම ගෙදරකම තෙල් තාච්චිය ලිප තිබ්බේ කැවුම්, කොකිස් පිළියෙල කරන්නයි. අවුරුදු කැවිලි අතර මේවා ප්‍රධාන වුණා. ඒත් අද අවුරුද්ද වෙනුවෙන් කැවිලි පිළියෙල කරන්නත් බොහෝ දෙනක් දැන් කම්මැලියි. එක් අතකට සීනි, කොලස්ටරෝල් නිසා කැවුම්, කොකිස් අගුණයි. ඒ එක පැත්තක්. තවත් පැත්තකින් ගින්දර කාගෙන කැවිලි පිළිලෙ කිරීමත් එතරම් පහසුව වැඩක් නොවෙයි. ඒ නිසා කේක්, බිස්කට් ටිකක් ගෙනත් අවුරුදු මේසය සකස් කලාම අවුරුදු වෙනුවෙන් අපේ සූදානම සිද්ධ වුණාය යන සහනය ඇති කර ගන්නවා. ඉස්සර නම් අවුරුද්ද වෙනුවෙන් තෙල් තාච්චියක් ලිප නොතිබීම අඩුපාඩුවක් විදිට සැලකුනා. හැම නිවසකම තෙල් තාච්චිය අලුත් අවුරුද්ද වෙනුවෙන් ලිප තිබ්බා. අදට වුනත් අපේ දරුවන්ට සිංහල කැවිලි ගැන අවබෝධයක් ලබා ගැනීමට නම් මේ කැවලි නිවසේ පිලියෙල විය යුතුමයි.

ඔබ පහසුව තකා වෙළදපොලෙන් මේ කැවලි මිලදී ගැනීම සිදු කලාට එයින් අවුරුදු සිරියක් ඇති වෙන්නේ නැහැ. ඔබේ දරුවා පවා බාල කාලේ අත්දැකීම් උපයා ගන්නේ අම්මා එහෙම නැත්නම් නිවසේ වැඩිහිටියන් විසින් කැවිලි පිළියෙල කිරීම නිසා බව තරයේම සිතට ගන්න.

තෑගි බෝග

අවුරුදු වෙනුවෙන් තෑගි බෝග ගැනීමත් අද බොහෝ දුරට සීමා වෙලා.තැග්ගක් නිසා ලබන්නා සතුටට පත් වෙනවා ‍වගේම දෙන අයටත් සතුටක්.ඒත් අද මේ තෑගි බෝග දීම බෙහෙවින්ම මග ඇරිලා. එක අතකට පුද්ගලයන්ගේ රුචි අරුචිකම් අනුව තෑගි තෝරන්න තිබෙන අපහසුවත් එක් හේතුවක්. ඒ වුනත් දිය යුතු අය වෙනුවෙන් කුමන හෝ යමක් ලබන තැනැත්තාට වැදගත් වන සේ ලබා දිය හැකි නම් එය ඉතාම වැදගත්.

අවුරුදු පිඟන් හුවමාරුව

අවුරුද්ද මුල් කර ගෙන සෑම ගෙදරකම අවුරුදු කැවිලි හදන බව ඇත්ත.හදන කැවිලි එකාකාර බවත් අමුතුවෙන් කිව යුතු නැහැ. දැන් මේ ගැනත් විවිධ අදහස් තිබෙනවා. හැම ගෙදරකම කෑම බීම තිබෙන නිසා මුස්ලිම්, සහ කතෝලික ගෙවල්වලට විතරක් අවුරුදු කැවිලි දුන්නාම ඇති කියන මතයක් අපි ගොඩ නගා ගෙන තිබෙනවා. නමුත් අපි මේ කැවිලි හුවමාරු කර ගන්නේ සුහදතාවයටයි.ඒ නිසා තමන්ගේ වාසියට සීමාවන් පනවා ගැනීම වගේම මේ සිරිත් නොවැදගත් යැයි තර්ක විතර්ක වෙනුවට ගමේ සහජීවනයෙන් ජීවත්විය හැකි පරාසරයක් නිර්මාණය කර ගැනීම ඉතාම වැදගත්.

පරණ කෝන්තර අමතක කිරීම

ඉස්සර කාලයේත් අහල පහල උදවිය අතර පුංචි පුංචි හිත් අමනාපකම් ඇති වුනා. අපි මිනිස්සු නිසා‍ මේ තත්වය අමුතු නැහැ. ඒ වුනත් ඒ හැම තරහ, මරහ, සිත්  අමනාපකම් අවුරුද්දට බුලත් දුංකල දීම හෝ කැවිලි හුවමාරුව සමග අවසාන වුණා. අද මේ තත්වය සම්පූර්නයෙන්ම වෙනස් වෙලා. පුංචි අමනාපය වුනත් මනාපයක් බවට පත් කර ගැනීමට සූදානම් නැහැ. සිංහල අලුත් අවුරුද්දක් නොව මරණයක් වුනත් නිවසට නොයන තරමටම තරහ මරහ ප්‍රබලයි. ඒවා අමතක කරන්න කිසිම සූදානමක් නැහැ. ඒ නිසා අද සිංහල අලුත් අවුරුද්ද එදාට වඩා වෙනස් වෙන්නේ අපේ හිත්වල කිසිම තෙතෙමනයක් නැති නිසයි. මිනිසුන් විදිහට තවත් කෙනෙක් සමග කෝන්තර දිගින් දිගටම ගෙන යෑම නුසුදුසුයි යන බව තේරුම් නොගැනීම නිසා මානව දයාව අපෙන් නොදැනීම ඇතට ගිහින්.

වැඩිහිටියන් පිදීම

එදා සිංහල අලුත් අවුරුද්දේ වැදගත් චාරිත්‍රයක් විදිහට වැඩිහිටියන්ට පිදීම සිද්ධ වුනා. අම්මා, තාත්තා, නැන්දා මාමා යන සෑම වැඩිහිටියෙක් වෙතටම බුලත් අතක් අරගෙන ගිහින් වැද ආශිර්වාද ලබා ගත්තා. අද නම් පවුලක මේ සම්බන්ධතාවය ඉදිරියට ගෙන යෑම අසීරුයි. එදා ගමේම ජීවත්වුන පවුල්වලට නෑදෑකම් වෙනුවෙන් අවුරුදු සිරිත් ඉටු කිරීම අපහසු වුනේ නැහැ. අද මේ සිරිත බොහෝ විට කෙටි පනිවිඩයකට සීමා වෙලා. අඩුම තරමින් තමන්ගේ අම්මා, තාත්තා වෙනුවෙන්වත් යුතුකම් ඉටු කිරීමට කාලය නැතැයි කියන තැනට දරුවන් පත්වීම නම් එතරම් සුදුසු නැහැ.මොන තරම් කාර්ය බහුල වුනත් තමන්ගේ අම්මා තාත්තා වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට අලුත් අවුරුද්දේ පුංචි හෝ ඉඩක් ලබා ගැනීම ඉතාම වැදගත්.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article