- Advertisement -

ඔන්චිල්ලාවේ ඉතිහාසය දන්නවාද…?

-

ඉස්සර කාලයේ අලුත් අවුරුදු නිවාඩුව ලැබෙන විටම ගේ අසල ඔන්චිල්ලාව බදින්න තාත්තා අමතක කරන්නේ නැහැ. මේ ඔන්චිල්ලාව ලිහන්නේ මැයි මාසයේ අලුත් පාසල් වාරය පටන් ගනිද්දී. අද නම් ගෙවල් ළග ඔන්චිල්ලා බඳින්න තරම් ශක්තිමත් ගස් නැහැ. ඒ නිසා ඇති වෙන අනතුරුත් තිබෙනවා. තවත් වතාවක ඔන්චිල්ලාවේ ලනුවට ගෙල හිර කර ගෙන පුංචි දැරියක් මරණයටත් පත් වුණා. මේ වගේ තත්වයක් තිබුනත් ඔන්චිල්ලා පැදීම සිරුරට ව්‍යායාම ලබා දෙන ක්‍රිඩාවක්. ඒ වගේම ඔන්චිලි පදින්නේ නිකම් නොවෙයි. ඒ වෙනුවෙන් වාරම් කවිත් ගායනා වෙනවා. මේ නිසා දරුවන්ගේ ගායනීය හැකියාවන්ද දියුණු වෙනවා.

ඔන්චිල්ලාවේ ඉතිහාසය

ඊශ්වර දෙවියන්ගේ අත්උදව්වට සිටි අසුර නැමැත්තා ඉතාම හිතවත්ව ඊශ්වර දෙවියන්ට සැලකීම් සිදු කළා. මේ අතර ඔහු දිනක් ඊශ්වර දෙවියන්ගෙන් තමන්ට වරයක් ඉල්ලා සිටියා. තමාට හොදින් උපස්ථාන කරන අසුරට ඔහු කැමැති වරයක් ඉල්ලා සිටින්නැයි ඊශ්වර දෙවියන් කියා සිටියා. අසුර ඉල්ලා සිටියේ අමුතුම වරයක්. ඔහු යම් කෙනෙකුගේ හිසට අත තැබූ විට ඔහු විනාශ වී යන වරයක් ඉල්ලා සිටියා. තමාට හිතවත් සේවකයා වෙනුවෙන් ඒ වරය ඊශ්වර දෙවියන් ලබා දුන්නා. ඒත් සිද්ධ වුනේ නොසිතූ දෙයක්. වරය ලබා ගත් අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තබන්න සූදානම් වුණා. එයින් පසුව සිද්ධ වෙන දේ ඊශ්වර දෙවියන් දන්නා නිසා වහාම අසුරගෙන් මිදී දුවන්න පටන් ගත්තා. ඊශ්වර දෙවියන් අපහසුවට පත්ව සිටින අන්දම දුටු සක්දෙවියන්, ඔන්චිල්ලාවක් බැද ගෙන කාන්තාවක් විදිහට එහි පදින්න පටන් ගත්තා. අසුර එන මග තිබුන කාන්තාවක් පදින ඔන්චිල්ලාව දැක අසුර එතැන නැවතුනා.අනේ මේ කාන්තාවක් මෙහෙම ඉන්නේ ඇයි තමාගේම හිසට අත ගසා ගෙන අසුර ඔහුගෙන්ම ප්‍රශ්න කළා. අසුර එතැනම දැවී අලු වුණා. ඊහ්වර දෙවියන්ගේ ජීවිතය බේරුනා.

- Advertisement -

උංචිල්ලාව, අඃසිල්ලාව යන විවිධ නම් වලින් හැඳින්වෙන ඔන්චිල්ලා වර්ග කීපයක් තිබෙනවා.

වැල් ඔන්චිල්ලා

එලිමහනේ බදින වැල් ඔන්චිල්ලාව බිමින් ඉහලට අඩි 20 සිට 25 ක් උස ගසක බදිනවා. ශක්තිමත් කඹ දෙපොටක් යොදා ගෙන ඉදිකරන වැල් ඔන්චිල්ලාවේ ක්‍රිඩා කරන්නේ දරුවන් සහ යෞවනියන් වීමත් විශේෂයි. පත්තිනි දෙවියන් සිහිපත් කරමින් කවි ගායනා කරන අතර වැල් ඔන්චිල්ලාවේදී වාරු ගැනීම හැදින්වෙන්නේ “රුකුල් ගැනීම” විදිහටයි.

කතුරු ඔන්චිල්ලාව

කතුරු ඔන්චිල්ලාව බැඳීමට ශුද්ධ භුමියක් තෝරා ගන්නා අතර පත්තිනි දෙවියන් වෙනුවෙන් පුද පූජාවන් පවත්වනවා.කිලි හෙවත් අපිරිසිදු අයට මෙම ස්ථානයට ඇතුලු වීමට අවසර නැහැ.මේ ඔන්චිල්ලාව වෙනුවෙන් නියමිත දිග පළල තිබෙන අතර එය දින හතක් ඇතුලත සාදා අවසාන කරන්න ඕන. යම් විදිහකින් ඒ දින හත ඇතුලත සාදා අවසාන කර ගැනීමට බැරි වුනොත් පඩුරක් ගැට ගසා තව දින හතක් දෙවියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කතුරු ඔන්චල්ලාව සකස් කිරීමට පුවක් පටි සහ හොර ලෑලි යොදා ගන්නවා. හොර ලෑලි කතිරයක් වන සේ තබා පොලු වලින් ඒවා සම්බන්ධ කර ගෙන පුවක්පටි රවුමට සිටින සේ තබා ගැට ගසා ගන්නවා. හරහට බදින ලද පොලු පාගන විට ඔන්චිල්ලාව කැරකෙනවා. එක් වතාවකට අට දෙනෙකුට කතුරු ඔන්චිල්ලාවේ ගමන්ගත හැකියි. ඒ අතර දෙදෙනෙක් විසින් ඔන්චිල්ලාව කරකවනවා. පදින විට බුදුගුණ කවි, තුන්සරණ කවි සහ දෙවියන්ට පිං දෙන කවි ගායනා කරන අතර ඒවාට අත්වැල් අල්ලන අයද  සිටිති. කතුරු ඔන්චිල්ලාව දින සතකින් ගලවනවා. පත්තිනි දෙවියන් මුල් කර ගෙන සිදුවෙන මෙම කතුරු ඔන්චිල්ලා පැදීමේ අවසානයේදී වස් දොස් නැසීමක් විදිහට කෝලම් රංගනයක්ද ඉදිරිපත් කරනවා.

බඹර ඔන්චිල්ලාව

කුඩා දරුවන් වෙනුවෙන් ඉදි කරන මෙම බඹර ඔන්චිල්ලාව ඉදි කරන්නේ  කෙලින් සිටවනු ලබන ලී කොටයක දෙපැත්තට යන සේ ලෑල්ලක් සවි කරනවා. එම ලෑල්ල දෙපැත්තේ ඔන්චිල්ලාව බදිනවා. පුද්ගලයෙක් විසින් මෙය කරකවන විට දෙපස ඔන්චිල්ලාවේ දෙන්නා දෙපැතත්ට කැරකැවෙනවා.ඔන්චිල්ලා පදින විට ගැයෙන වාරම් කවි මගින්ද පෙනී යන්නේ පදින අයගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් නිතරම ආගම ධර්මය මුල් කර ගෙන කටයුතු කළ බවයි.

සරණයි සරණයි බුද්ධං සරණයි
සරණයි සරණයි ධම්මං සරණයි
සරණයි සරණයි සංඝං සරණයි
සරණයි සරණයි මේ තුන් සරණයි…

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article