වපුරන දේ තමයි ලැබෙන්නේ කියා කිව්වේ කට කහනවට නෙවෙයි

good-and-bad-child

මතිෂ, හය වසරේ ඉගෙන ගන්න දරුවෙක්. එයාගේ පන්තියේම ඉගෙන ගන්න සේසත් හැමදාම වගේ මතිෂ ගැන ගෙදර ඇවිත් පැමිණිලි කරන්න පටන් ගත්තා.

“අම්මා, මතීෂ නම් හරිම නරකයි. එයාට ඕනේ විදියට තමයි අපි හැම දේම කරන්න ඕනේ. එයා අපිට කතා කරන්නේ හරිම තරහෙන් වගෙයි. අනික එයා හිතන් ඉන්නේ අපි එයාගේ වැඩ ටික කරන්න ඉන්න අය කියලා…”

“ඕවා ගණන් ගන්න එපා පුතා… එක එක ළමය එක එක විදියයි. එයා ඔයාට කොයි විදියට කතා කළත් ඔයා ඔයාගේ විදිය වෙනස් කරන්න එපා. ඔයා ඔයාගේ ගති ගුණ එයාගේ විදියට වෙනස් කරන්න උත්සාහ කරන්න එපා. පුළුවන් හැම වෙලේම අනිත් අයට ආදරෙන් කතා කරන්න එයාට කියලා දෙන්න.”

“අම්මෝ… අම්මා නම් කියයි… මට ගුටිත් කාලා එන්න වෙයි එයාට කතා කරන හැටි උගන්නන්න ගියොත් නම්. අපිත් දැන් එයාව එච්චර ගණන් ගන්නේ නැ.”

“එහෙම නෙවෙයි පුතා, එය ඒ විදියට හැසිරෙන්න හේතුවක් ඇති. ඔයාට එයාව හදන්න බැ තමයි. ඒත් ඔයා එයාට කාරුණික උනොත් එයාට කවදාවත් බෑ ඔයාට අකාරුණික වෙන්න…”

අපි වැඩිහිටියෝ විදියට මෙහෙම කිව්වත් දරුවන්ට මේ වගේ අවස්ථාවක් කළමනාකරණය කර ගැනීම එතරම්ම පහසු කටයුත්තක් නෙවෙයි.  මොකද ඕනෙම පුංචි දරුවෙක්ගේ හිත රිදෙනවා වගේම තමන්ට තරහෙන් සලකද්දී ඒ විදියටම අනෙක් කෙනාට සලකන්න පොඩි නම් දරුවෙක් දෙපාරක් හිතන්නේ නැ. ඉතිං මේ දෙයින් වෙන්නේ අනෙක් දරුවන් අතරේ ඒ වගේම හුරතල් තවත් දරුවෙක් තනි වෙන එක. එතනින් එහාට දවසින් දවස තමා යහළුවන්ගෙන් ඈත් වෙන නිසාම යහළුවන්ගේ පැමිණිලි නිසා දවස පුර තමන් ගුරුවරුන්ගේත් දඬුවමට ලක්වීම වගේ හේතු නිසා ඒ දරුවට පාසැල, පන්තිය අප්‍රසන්න ස්ථාන බවට පත්වෙන්නත් බැරි නෑ.

අන්න ඒ නිසාම අපි මේ දේවල් ආරම්භ කළ යුත්තේ ගෙදරින්මයි කියලා මව්පියන් සිතිය යුතුමයි.

ආදරය කරුණාව ගෞරවය අත්දකින දරුවා සමාජයට ආදරය, කරුණාව, ගෞරවය පුද කරයි. වෛරය, අගෞරවය අත්දකින දරුවාගෙන් පවා සමාජයට ලැබෙන්නේ වෛරය හා අගෞරවයම පමණි.

ඕනෑම මවක්/පියෙක් තමන්ගේ දරුවන්ට බැන වැදීම/කෑ කෝ ගැසීම/වරදට දඬුවමක් දීම සාමාන්‍ය දෙයක් වුවත් ඇතැම් මව්පියන් දරුවන් කෙරේ තම ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් දරුවන්ට ආදරණියව කතා බහ කිරීමෙන් වගේම ආදරණියව සැලකීමෙන්ද ඈත්ව සිටී.

ආදරණීය, බොහොම නිහතමානී ඒ වගේම අනෙකාට ගරු කරන ගොඩක් දරුවෝ අපිට අපේ දරුවන්ගේ යහළු යෙහෙලියන් අතරේ අනන්තවත් මුණ ගැහෙනවා. ඒ හා සමානවම යහළුවන් පහත් කර සලකන, කිසිම ගෞරවයක් ඇති වන පරිද්දෙන් අනෙකාට කතා බහ කරන සැර පරුෂ දරුවනුත් මේ අතරේ මුණ ගැහෙනවා. ඇතැම් දරුවෝ මම තමයි සේරම දන්නේ, මට තමයි හොඳම අත්දැකීම් තියෙන්නේ කියන හැඟීමෙන් තමන්ගේ යහළු යෙහෙලියන් අතරේ රජා වෙලා අනවශ්‍ය ලෙස කැපී පෙනෙන්න උත්සාහ ගන්න අවස්ථා මට නම් ඕනෙවටත් වඩා මුණ ගැහිලා තියෙනවා. ඒ වගේම තමන් යන එන ලොකු ලොකු තැන් ගැන අනෙක් දරුවන් ඉස්සරහා වර්ණනා කරමින්  අනෙක් දරුවන්ට ඒ අවස්ථා නැති බව හඟවන දරුවොත් මේ අතරේ ඉන්නවා.

මේ තත්ත්වයන් ඇත්තටම ඇති වෙන්නේ මේ දරුවන්ගේ වරදක් නිසාද? නැහැ, ඔවුන්ට වටපිටාවෙන් අහන්න දකින්න ලැබෙන දේවල් නිසා. පුංචි මල් පෙති වගේ මේ ලෝකෙට බිහිවෙන අපේ දරුවෝ හැම හොඳක් වගේම හැම නරකක්ම ඉගෙන ගන්නේ වැඩිහිටි අපෙන්.

පුංචි දරුවෝ මේ සමාජයට අලුත්. ඉතිං එයාලගේ වැරදි මේ සමාජයෙන් ඔවුන්ට ලැබුණු ඒවා කියල යමෙක් කියනවා නම් ඒ අදහස සම්පූර්ණයෙන්ම වැරදියි.

තාපස තුමා ළගට වැටුණු ගිරවාගෙයි හොරා ළගට වැටුණු ගිරවගෙයි වෙනස අපි කවුරුත් දන්නවනේ. දරුවන්ටත් මේ දේ ආදේශ කරගත යුතුමයි. අපි අපේ දරුවෙකුට ආදරෙන් කතා කරන තාක් කල් දරුවෙක්ට බෑ අපිට සැර පරුෂ විදියට කතා බැහැ කරන්න. අපි අපේ ගෙදරින්ම ඒ දේ දරුවට ලබා දෙනවා නම් දරුවාගෙන් සමාජයට ලැබෙන්නෙත් ඒ දේම තමයි. ආදරය, කරුණාව විතරක් නෙවෙයි පුංචි දරුවෙක් උනත් ගෞරවය පවා අපෙන් බලාපොරොත්තු වෙනවා. ඒ දේවල් නොලැබෙන තැන දරුවගෙනුත් ඒ දේවල් තවත් කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසයි තමන් වපුරන දේ තමයි අස්වැන්න විදියට ඔබට ලැබෙන්නෙත්.

ආදරය විඳින දරුවා අනෙකාට ආදරය ලබා දෙනවා. වෛරය ලබන දරුවා අනෙකාට වෛර කරනවා. සැලකිල්ල ලබන දරුවා අනෙකා කෙරේ සැලකිල්ල දක්වනවා. පිළිගැනීම, ගෞරවය ලබන දරුවා අනෙකාට පිළිගැනීම වගේම ගෞරව ලබා දෙනවා. ඒ නිසා ඔබේ දරුවාට හැමවිටම ආදරය, කරුණාව, පිළිගැනීම ලබාදෙන්න. දරුවාටත් ආත්ම ගෞරවයක් ඇති බව වැටහ ගන්න.

අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here