සිංහල අලුත් අවුරුද්ද සමඟ බැඳුන ක්‍රීඩාවන්

awrudu-krida

සිංහල අලුත් අවුරුද්ද සමග බැදුන ක්‍රිඩාවන් බොහොමයක් තිබෙනවා. මේ ක්‍රිඩාවන් ඉස්සර නම් සිංහල අලුත් අවුරුදු කාලයට කල එලි බැස්සා. ඒත් අද අපේ දරුවන්ට මේ ජනක්‍රිඩාවන් ගැන වැඩි වැදගත් වගේම දැණුවත්කමක් ඇත්තෙත් නැහැ. වත්තේ පිටියේ වෙලේ කමතේ දුව පැන නටමින් මේ සෙල්ලම්වල යෙදෙන්නත් කාලයක් වගේම ඉඩ වපසරියත් නැහැ. හැබැයි මේ සෙල්ලම්වලින් අපේ සිරුරට හොඳ ක්‍රියාකාරිත්වයක් ලැබෙනවා. අවුරුදු කැවිලිවලින් සිරුරේ ගබඩා වෙන සීනි සහ මේදය ඉතාම පහසුවෙන් දහනය කර ගැනීමට මෙම ක්‍රිඩාවන් උපකාරී වෙනවා. වැඩිමහල්ලාගේ පටන් දරුවා‍ දක්වා වූ වයස් පරාසයන්ට ගැලපෙන ජනක්‍රිඩාවන් අපේ සිංහල අවුරුදු කාලයට කල එලි බහිනවා. ඒත් දැන් දැන් පාසලේ අවුරුදු උත්සවයට පමණක් දැන් මේ ජනක්‍රිඩාවන් සීමා වෙලා අපේ ජනක්‍රිඩාවන් මොනවාදැයි ටිකක් දැනගත්තොත් වඩාත් වැදගත් වෙනවා.

ජන ක්‍රීඩාවන් අතර ගෘහස්ථ ක්‍රිඩා, එලිමහන් ක්‍රිඩා, ආගමික ක්‍රිඩා, කණ්ඩායම් ක්‍රීඩා ලෙසින් විවිධාකාරයි. නිවසේ ඇතුලත කරන ක්‍රීඩාවන් ගෘහස්ථ ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් පංච දැමීම, ඔලිඳකෙලිය වැනි ක්‍රීඩාවන් ගාහස්ථ ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා.

පංච දැමීම 

මෙය පත්තිනි දේවියගේ ක්‍රිඩාවක් ලෙසින් හැදින්වෙනවා. ගැහැණු පිරිමි වෙනසක් නැතුව මෙම ක්‍රීඩාවට හැම දෙනාම සම්බන්ධ වේ.

ඔළිඳ කෙලිය

ගෘහස්ථ ක්‍රීඩාවක් ලෙසින් සැලකෙන ඔළිඳ කෙලිය සිංහල රජදවස රජ කුමරියන් අතර පවා ප්‍රචලිතව පැවැති ක්‍රිඩාවකි. මේ වෙනුවෙන් පිලියෙල කරන ලද “ඔලිඳපෝරුව” වටිනා දැවයෙන් නිර්මානය කර තිබේ. ගමේ අය ඔලිඳ ඇට යොදා ගත්තත් එදා රජකුමරියන් මේ ක්‍රිඩාවට මුතු ඇට යොදා ගත් නිසා මෙය “මුතුපෝරුවේ ක්‍රිඩා” යනුවෙන්ද හැදින්වේ.

එලිමහන් ක්‍රීඩා 

එලිමහනේ කරන ක්‍රිඩාවන් එලිමහන් ක්‍රීඩාවන් විදිහට හැදින්වෙනවා. අවුරුදු ක්‍රීඩාවන් අතර බොහොමයක්ම එලිමහන් ක්‍රීඩා විදිහට හදුන්වා දෙන්න පුලුවන්. මේවා තවත් ආකාරයකින් කන්ඩායම් ක්‍රීඩාවන් අතරටත් එක් වෙනවා.

කොප්පර කොප්පර පිපිඤ්ඤා

ළමා ලපටින් එක්ව සිංහල අලුත් අවුරුදු කාලයට මෙම ක්‍රීඩාවේ යෙදෙන අතර මෙය වඩාත් ප්‍රචලිතව ඇත්තේ ගැහැණු දරුවන් අතරයි. දහයක් හෝ විස්සක් ලෙසින් වූ ගැහැණු ළමයින් රවුමට වාඩි වෙති. එක් දැරියක් අත කොළ අත්තකි. මෙහිදී ගායනා කරන පද්‍ය පංතිය ඔබට හොදින් අසා පුරුදු ඇත.

කොප්පර කොප්පර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා…

 

මේ අන්දමින් කවි ගායනා වෙන අතර “බෝතල , බෝතල” කියා වට යන දැරිය කියනු ලැබේ. මේ වෙන විට කොළ අත්ත රවුමේ වාඩි වී සිටින අයෙකු අසල නොදැනෙන සේ දිව යන අතර කොළ අත්ත තමාගේ පිටුපස තිබුන දැරිය වහා දුව ගොස් මේ කොළ අත්ත තිබූ දැරිය අල්ලා ගත යුතුය. එසේ නොහැකි වුනොත් මුලින් රවුමේ ගිය දැරිය විත් කොළ අත්ත තිබූ තැන හිස්වූ ඉඩේ වාඩි වෙනු ලැබේ.

එළුවන් කෑම

ස්ත්‍රි පුරුෂ වෙනසක් නොමැතිව සිංහල අලුත් අවුරුදු කාලයට සිදු වෙන මෙම ක්‍රීඩාව “එළුවන් කෑම , එළු කොටු බිදීම” යනුවෙන්ද හැදින්වේ. විසිපහක් තිහක් පමණ පිරිසක් මෙම ක්‍රිඩාවට සම්බන්ධ වේ. එළුවන් ලෙස දරුවන් කිහිප දෙනෙක්ද,එළුකොටු හිමියෙක්ද තෝරා ගැනේ. එළුවන් සහ එළුකොටු හිමියා මැදි කර ගෙන දරුවන් අත්වැල් අල්ලා ගෙන ආරක්ෂාව තර කරති.මෙහිදී ගායනා කරන කවි අතර…

එළුවන් කන්නයි මං ආවේ
එළුබෙටි කාපන් තුන්දීරේ…
බුලත් කොටන්නම් රාලහාමි දෙනවද එළුවා…
කොච්චර කෙටුවත් නොදෙමුව අපගේ එළුවා…

 

අන්තිමේදී කොටියා  අත්වැල් බිඳ ඇතුලට යන අතර කොටියා විසින් එළුවන් අල්ලා ගැනේ.

රබන් ගැසීම

සිංහල අලුත් අවුරුදු සමග වැයෙන රබන් සුරල් හඩ සිංහල අලුත් අවුරුදේ අනිවාර්ය අංගයක් විය. අතින් වැයෙන රබන් ක්‍රීඩාවේ දක්ෂයින්  කාන්තාවන් සේ සැලකුනත් පිරිමින්ද රබන් වයන අවස්ථා ඇත. තරඟයට රබන් වැයීම බලා සිටින පිරිසට මහත් ආශ්වාදයක් ලබා දෙනු ඇත.

මේවර කෙලිය

පත්තිනි දේවිය සමග සම්බන්ධව තිබෙන මේවර කෙලියේ  තේමාව වන්නේ නැති වුන පළදනාවක් සෙවීමයි. ක්‍රීඩිකාවන් රවුමට හිද සිටින අතර එක් අයෙක් මේ අන්දමින් කවියක් ගායනා කරයි.

සාර සදිසි පෙත හේන නෙලන කල
වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹපල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා…
කොස්වතු කන්දේ කොස් කපනා දා
වල ගියෙදෝ මගෙ මේවරයා
නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල්
අප දුටුවේ නැත මේවරයා…

 

අවසාන කවිය ගායනා කිරීමෙන් පසුව ඇය පළදනාව ගැනීමට නැමෙයි. එවිට එය පාගා ගෙන සිටින ක්‍රීඩිකාවෝ කණ්ඩායමක් දෙකක් වෙන අතර පළමුවෙන් පළඳනාව ලබා ගන්නා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ජය ලබා ගනී.

ගොන් තරඟ

සිංහල අලුත් අවුරුදු කාලයේදී සිද්ධ වෙන මෙම ක්‍රීඩාව අතීතයේ හැදින්වූයේ “තිරික්කල රේස්” යන නමින්ය. මේ තරග වෙනුවෙන් ගොනා පමණක් නොව තිරික්කලයද යොදා ගෙන ඇත.

කොට්ටා පොර

වැඩිහිටි පිරිමින් වෙනුවෙන් වූ කොට්ටාපොර ගැසීම සිහල අවුරුදු ක්‍රීඩා අතර අනිවාර්ය අංගයකි. වෙල් එලියක හෝ සමතලා බිමක පිහිටුවන ලද පුවක්කොට මත සිට මෙම ක්‍රිඩාව සිදු වේ.

කඹ ඇදීම

කඹ ඇදීම ස්ත්‍රි පුරුෂ වෙනසක් නොමැතිව සිදු වෙන අවුරුදු ක්‍රීඩාවකි.කණ්ඩායම් ලෙසින් තරග කරන අතර ජවය ඇති කණ්ඩායම ජය ලබා ගනී. ජයගන්නා කණ්ඩායම පැත්ත මාරු කොට දෙවනුව තරග කරනු ලැබේ.

ඔන්චිලි පැදීම

කුඩා දරුවන් අතර ඉතා ප්‍රචලිත ඔන්චිලි පැදීම සිංහල අලුත් අවුරුදු කාලයේදී දරුවන්ට සතුට ලබා දෙන ක්‍රිඩාවකි.

ආගමික ක්‍රීඩා 

පොරපොල් ගැසීම

සිංහල අලුත් අවුරුදු කාලයට සිද්ධ වුනත් මෙය ආගමික පූජෝත්සවයක් බවට පත් ක්‍රීඩාවකි. ලෙඩ දුක් ස්වභාවික උවදුරු දුරු වෙන සේ දේවාශිර්වාදය ලබමින් සිදු වෙන ක්‍රීඩාවකි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here