අවුරුදු සහ එහි අද වෙනස…

sinhala-tamil-new-year

සිංහල අලුත් අවුරුද්ද අපේ ජන ජීවිතය සමග බද්ධ වුන සංස්කෘතික මංගල්‍යක් වුනත් කාලයත් සමග ඇතැම් සිරිත් විරිත් නොදැනීම දුරස් වෙනවා. ඒ වගේම ප්‍රාදේශීය වශයෙන්ද අලුත් අවුරුදු සිරිත් අතර වෙනස්කම් පවතිනවා. මේවායින් ඇතැම් සම්ප්‍රදායන් අද දක්නට නැතැත් අනාදිමත් කාලයක පටන් පැවැති චාරිත්‍ර කීපයකි මේ..

කෝන කෑම

අලුත් අවුරුදු වෙනුවෙන් වූ කැවිලි පිළියෙල කිරීමටත් තෙල් තාච්චිය ලිප තබන්නේ සතියේ සුබ දවස් අතරින් එකක් තෝරා ගෙනය. තාච්චිය ලිප තබා තෙල් පුරවා ගෙන කැවුම් හැන්ද සහ තවත් ලී කෝටුවකින් තාච්චිය හතරට බෙදනවා. “හතර දිසාවෙන් පැමිනෙන උපද්‍රව වලකා, දෙවියන්ගේ ආශිර්වාදය ලබා, හතර පේරුවට බෙදන්න කැවුම් මුට්ටිය පිරෙන්න කැවුම් පිසින්න ලැබේවා..” යැයි ආශිර්වාද කරනවා. මුලින්ම පිසින කැවුම් තුන ලිප්ගල මත තබා එය නිවසේ වහලේ එල්ලා තබනවා. එය හදුන්වන්නේ “කෝඳුරු කැවුම” යනුවෙන්. මේ කැවුම වටා කෝඳුරුවන් වසන නිසා නිවසේ අයට කෝඳුරුවන්ගෙන් කරදරයක් නැහැ.

දර දිය ඇදලා ගොම මැටි ගාලා මහ‍ගේ කළ එලි කර ගන්නේ
බොර දඟ කවලා රටා වියාලා පන්නන් වියමන් කරපන්නේ
පෙරයම අලුසල්මංගල්ලේ කර කැවිලි තහංචිය අරවන්නේ
දුර නෑ වරිගෙ බලා කියා ගෙන පෙර අවුරුදු කාලය එන්නේ

 

සිංහල අලුත් අවුරුද්ද සමග පරණ අවුරුද්ද වෙනුවෙන් වූ චාරිත්‍රත් තිබෙනවා. ඒ අතරින් මහනුවර රජසමයේ පටන් පැවැති කෝන කෑම පරණ අවුරුද්ද දිනයේ පවත්වනවා. එදිනට හත්මාලුවක් පිස අහල පහල උදවිය සමග බුත්ති විඳීම මහනුවර රාජධාණි සමයේ පැවැති සිරිතක්. හත්මාලුවත් පළාතෙන් පළාතට වෙනස්. ඒ අනුව පිසින හත්මාලුවටත් වෙනස් වෙනස් එළවලුබෝග එක් කරගන්නා නිසා හත්මාලුවට මේ එලවළුම අයත් විය යුතුයි කියල නියමයක් නැහැ.

හත්මාලුව

සබරගමුව පළාතේ… කජු, තිබ්බටු, කොස් ඇට, වට්ටක්කා, ලපටි කහට ගෙඩි, අමුකෙසෙල්, සහ වට්ටක්කා දළු, කොහිල දළු තම්පලා හෝ නිවිති යන වර්ගවලින් එකක්.කජු වැඩියෙන් ගන්න. කලින් තම්බා ගන්නත් ඕන. කහට ගෙඩිත් කපා උනුවතුරෙන් තම්බා ගන්න. දැන් තෙල් ලිප තබා මේ මිශ්‍රණය දමා දියකිරි , මිටිකිරි එක් කර තබ්බා ගන්න.

සම්ප්‍රදායික හත්මාලුව

  • හොද්ද, තැම්බුම, මැල්ලුම, නියඹලාව, ආනම, පැලහුම සහ බැදුම යන වර්ග හතයි.
  • හොද්ද, තැම්බුම, මැල්ලුම, නියඹලාව, බැදුම ගොඩමස් හා දියමස් වට්ටක්කා දළු, කිරි අල, තෝරකොළ, පැසුන අමු පැපොල්, අමු කෙසෙල් ගෙඩි ( ඇඹුල් හෝ සීනි ) වැලිකොස් ඇට, තිබ්බටු ( ආයුර්වේද පත්‍රිකාවක් ඇසුරින් )
බුලත්දීම

තරහ මරහ අමතක කරන වගේම ගරු බුහුමන්ලෙ සින් පිදිය යුත්තන් පිදීමේදී එය සංකේතවත් කරන්නේ බුලතින්. අද වගේ වෛවාරණ ආරාධනාපත් නොතිබුන යුගයක උත්සව වෙනුවෙන් ආරාධනා ලැබුනේ බුලත්දීමෙනුයි. බුලත් කොළයක් නොමැතිව කට වචනයෙන් උත්සවයකට ආරාධනා කළ විට එය ප්‍රතික්ෂෙප කරන තරමටම සමාජයේ බුලතට වැදගත්කමක් ලැබුනා. පරණ අවුරුදු දිනයේදී  බුලත් රැගෙන ගමේ පන්සලට ගොස් ඉෂ්ට දේවතාවන් නැමද සංඝරත්නයේ ආශිර්වාද ලබා ගෙන පැමිණීමෙන් අනතුරුව දෙමමව්පියන් ඇතුළු ගමේ වැඩිහිටියන් වෙතට බුලත් රැගෙන ගොස් ආචාර කිරීම සිරිතක්. පහතරට පළාත්වලදී මෙය බුලත් දුංකොළදීම යනුවෙන් හැදින්වෙන අතර අද ඒ වෙනුවෙන් දුංකොළ එක් කර ගැනීම සෞඛ්‍ය හේතුන් මත විවාදයට ලක් වී තිබෙනවා. මෙහිදී දුංකොළය ආහාරයට නොගත්තද සම්පූර්ණ දුංකොලයක් සමග බුලත් අතක් යොදා ගැනෙනවා.උඩරට පළාත්වලදී බුලත් දී දෙපාවල තෙල් ගල්වා වැඳීම අතීතයේදී පැවැතුන බවට මෙම පළාතේ වැඩිහිටියන් සඳහන් කරනවා.

නොනගතය

නොනගතය වේලාව උපවාස කාලයක් පමණක් නොව කිසිම ගණුදෙනුවක් සිදු නොවන කාලයක්. වෙනතක් තබා නිවසේ අතන තිබෙන දෙයක් මෙතැනට හෝ ලබා දෙන්නේ නැහැ. නැකත් නැති නිසා මෙය එතරම් සුබ නොවන විදිහට සැලකෙනවා. සමහර උදවිය නම් මේ කාලයේදී කෙළි සෙල්ලම්වලින් ගෙවන අතර ඒ වෙනුවෙන් අපේ ජනක්‍රීඩාවන් වැදගත්.

ඛණ්ඩ ස්නානය

මහනුවර රජ දවස සංඝරත්නය අපේ ජන ජීවිතයේ සෑම කටයුත්තක් වෙනුවෙන්ම සම්බන්ධව සිටියා. තෙල් ඇඹුල්ගෑම පන්සලේදී සිද්ධ වෙන නිසා ඊ‍ට පෙරාතුව තෙල් ඇඹුල් පන්සලට රැගෙන යනවා. මෙම තෙල් උගුරේ ආලේප කිරීම “ඛණ්ඩ ස්නානයයි”. අවුරුදු සංක්‍රාන්තියෙන් පසුව එළැඹෙන්නේ ලිප ගිනි මෙලවීමයි. ලිප ගිනි මොළවා කිරි උතුරවන විට සංඝයා වහන්සේලා විසින් මෙම තෙල් උගුරේ ආලේප කර ගෙන මිහිරි හඬින් පිරිත් සජ්ජායනා කරනු ලැබේ.

ලිප ගිනි මෙලවීම

ලිප ගිනි මෙලවීමෙන් පසුව කිරි උතුරවා ගෙන කිරිබතක් පිළියෙල කර ගනු ලැබේ. මෙම කිරිබතට තල, ගිතෙල් ආදිය මිශ්‍ර කරනවා. සත් කෝරලයේදී මෙම කිරිබතට “බේත් පැහි” එකතු කරන අතර එය ගමේ වෙදමහතා විසින් සකස් කර දෙනු ලැබේ. ඒ වෙනුවෙන් අවශ්‍ය බේත් දලු වර්ග පවා සෙත් පිරිත් ගැයීමෙන් පසු ආහිර්වාද කොට තබා ගැනේ. කිරිබත් අනුභවයට පෙරාතුව අවුරුදු දේවතාවාට කොටසක් ඉතිරි කරන අතර එයින් පසුව පවුලේ වැඩිමහල් තැනැත්තා විසින් පවුලේ සාමාජිකයන්ට කිරිබත් ගුලි වශයෙන කවනු ලැබේ.

කැති උදලු ඇල්ලීම

අවුරුදු චාරිත්‍ර අතර පවතින වැඩ ඇල්ලීම එදා හදුන්වනු ලැබුවේ “කැති උදලු ඇල්ලීම” යනුවෙනුයි. නොනගතයට පෙරාතුව මිදුලේ කොනක කදුරු අත්තක්,කොස් අත්තක්, කැත්තක්, උදැල්ලක් සහ පිහියක් තබනවා. වැඩඅල්ලන නැකතට තබන ලද අතු සමග පොළවත් කෙටෙන සේ මුලින් තබන ලද උපකරණ ආශ්‍රයෙන් කෙටීම කැති උදලු ඇල්ලීම යනුවෙන් හැදින්වුණා. කාන්තාවන් නම් වංගෙඩියට හාල් ටිකක් දමා මෝල ගහෙන් කෙටීම සිදු කළා. එම චාරිත්‍රය “වං මෝල ඇල්ලීම” යනුවෙන් හැදින්වුනා.

වියදම් මුල

එදා ගමේ ගණුදෙණු සිද්ධ වුනේ ළිඳ සමගයි.මෙය ළිඳ අලෙවි කිරීම යනුවෙන් හැඳින්වෙනවා. තමාගේ ජීවිතය පවත්වා ගැනීමට වසරක් පුරා ජලය දුන් ළිඳට කෘතගුණ දැක්වීම මෙහි අරමුණයි. කාන්තාව විසින් කහ, මිරිස්, තඹ කාසියක් සහිත පොට්ටනියක් රැගෙන ගොස් එය ළිඳට වතුර ඛලයක් රැගෙන එයි. ඒ වගේම ඇතැම් පලාත්වල පවුලේ මේස ඉදුල් කිරීමට ගමේ සුබ යැයි පිළිගත් තැනැත්තෙක් ගෙන්වා ගනී. ඒ තැනැත්තා හාල්, තුනපහ සහිත මල්ලක් රගෙන එන අතර ආහාර මේසයෙන් යමක් කා බී යන විට ඒ තැනැත්තාටත් එවන් හාල් තුනපහ මල්ලක් ලබා දෙයි. එය “වියදම් මුල” යි.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here