- Advertisement -

අම්මාවරුන්ගේ දිනය

-

මව්ගුණ කඳ නිමක් නැතැයි වූ පිලිගැනීම පපු කුහර ඔස්සේ පවා නිදන්ගතව තිබුන යුගයක අම්මාවරුන්ට උපහාර දැක්වීමට වෙන්වුන දිනයක් තිබුනේ නැහැ. ඒත් නිවසේ බුදුන් එමහම නැත්නම් දෙවැනි බුදුන් තරමටම අම්මා සම්භාවනාවට පාත්‍ර වුණා. කාලයක් ගෙවෙද්දී අම්මා පවුලට බරක්. ඒ නිසාම මහමග එහෙම නැත්නම් අනාථ නිවාසයකට සීමා වෙන අම්මා ගැන මව්වරුන්ගේ දිනයේදී නම් ඉතාම ඉහලින් ගුණ ගායනා වෙනවා. මහා සාගරය බඳු නිමක් නැති ගුණ කඳක් ඇති මව්ගුණ ගායනාවට අවුරුද්දේ එක් දිනක් පමණක් සීමා වෙනවාද යන්න වෙනත් පැත්තක තබා අපි අම්මාවරුන්ගේ දිනයේ ආරම්භය ගැන ටිකක් කතා කලොත්…

එක් අදහසක් අනුව නම් අනුමාන කරන්නේ සුළු ආසියාවේ “කිබලේ” නැමැති මාතෘ දිව්‍ය වන්දනාවත් , රෝමයේ පැවැති “හිලේරියන්” උත්සවයේ කොටස් හෝ “රිආ”  නම් මාතෘ දේවතාවිය වන්දනා කිරීමේ ආභාෂයත් මෙම දිනය බිහිවෙන්නට පාදක වී ඇති බවයි. බුදුදහමේත් මහමායා දේවිය මාතෘ දිව්‍යරාජයා ලෙසින් සලකනවා. මේ අනුව අතීතයේ පටන්ම මාතෘත්වය වෙනුවෙන් සුවිශේෂී වටිනාකම් ලැබී තිබුනා.

- Advertisement -

සමහර රටවල් විසින් මේ දිනය සමරන්නේ කන්‍යා මරියතුමියගේ දිනයේ වෙන අතර තවත් සමහර රටවල් ජාත්‍යන්තර කාන්තා දිනයේදීම අම්මාවරුන්ගේ දිනයත් සමරනවා. කිතුණු බැතිමතුන් අළු බදාදා සිට පාස්කු ඉරිදා දක්වා දින හතලිහක කාලයක් මරියතුමියට ගෞරව දැක්වීමට යොදා ගෙන ඇති අතර එතැනින් පසුව එළැඹෙන ඉරිදා දිනය උත්කර්ෂවත් විදිහට සමරනවා. ධනවත් වංශාධිපතිවරුන් තමාගේ සේවකයන්ට මව්වරුන් සමග ගත කරන්න ඔවුන්ගේ නිවෙස්වලට යෑමට අවසර ලබා දෙනවා. එදාට අම්මා වෙනුවෙන් රැගෙන යන කේක් ගෙඩිය හැදින්වුනේ “මාතෘ කේක් ගෙඩිය” විදිහටයි. මෙය වංශාධිපතිවරුන් විසින්ම සකසා දීමට තරම් කාරුණික වුනා.

ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියානි ආගමට අනුව “Mothering Sunday” නමින් උත්සවයක් සමරනවා. එහිදී මාතෘත්වය සමරන්නේ නැහැ.අම්මාගේ ගුණ ගයා කියා අවසානයක් නැත… යන සංකල්පය අත්තිවාරම විදිහට තිබුන නිසාම මේ දිනය ජාත්‍යන්තරව පිලිගැනීමට කිසිම ගැටුමක් ඇති වුනේ නැහැ. 1908 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ විසූ “ඇනා ජාර්විස්” ඇගේ අම්මාගේ මියගිය දිනය අලලා ගුණගායනා උත්සවයක් පැවැත්වුවා. ඒ මවගේ දෙවැනි ගුනානුස්මරණ දිනයයි. ශාන්ත ඇන්ඩෘ පල්ලියේ පවත්වන ලද මෙම උත්සවය පසුකාලයක ජාත්‍යන්තර සැමරුම වෙනුවෙන් ජවය ලබා දුන්නා. අද මෙම පල්ලිය ජාත්‍යන්තර මවුවරුන්ගේ දිනයේ දේවස්ථානය (International Mother’s Day Shrine) ලෙස හැඳින්වෙනවා.1908 වසරේ අම්මාවරුන් වෙනුවෙන් දිනයක් ස්ථාපිත කරන යෝජනාවට පුංචි මතවාද ඇති වුනා. අම්මාට දිනයක් නම් නැන්දම්මාටත් දිනයක් අවශ්‍ය වෙනු ඇතැයි කියමින් මේ යෝජනාව බැහැර වුනා.1911 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ අම්මාවරුන් වෙනුවෙන් නිල උත්සවයක් පැවැත්වුනත් එදා ඒ සැමරුම සීමා වුනේ තමන්ගේ අම්මාට පමණයි. හැම අම්මා කෙනෙක්ම වෙනුවෙන් ඒ ඇගයීම ලැබුනේ නැහැ. 1914 වසරේ වුඩ්රෝ විල්සන් ජනාධිපතිවරයා විසින් මේ දිනය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා. එතැන් පටන් ලෝකයේ බොහෝ රටවල් මව්වරුන්ගේ දිනය සමරන්න පටන් ගත්තා. අද වෙන විට ලෝකයේ බොහෝ රටවල් මේ දිනය සමරන අතර පින්ලන්තය,ඉතාලිය, තුර්කිය,ඔස්ට්‍රෙලියාව,ඩෙන්මාර්කය අම්මාවරුන්ගේ දිනය සමරන රටවල් ජාලයට ඇතුලත් වෙනවා.

බොහෝ දෙනෙක් අද කියන්නේ බටහිර රටවල අම්මා තම පවුලෙන් මිදී වෙනම නිවාසයන්හි ගෙවන නිසා අනිවාර්යෙන් මව බැලීමට යෑම සඳහා ලබා දෙන යුතුකමක් විදිහට මේ සංකල්පය ගොඩ නැගුන බවයි. ඒත් අපේ රටට මේ තත්වයක් නොමැති නිසා අම්මාවරුන්ගේ දිනය අනවශ්‍ය බවට මතවාද තිබුනත් අද අපේ රටේ අම්මාගේ චරිතය ඉතාම ශෝචනීය තතත්වයකට පත්ව තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ.එක වහලක් යටතේ ජීවත් වුනත් අම්මා අද අවලංගු කාසියක් තරමට පත්ව සිටිනවා. දරුවන් හදා වඩන ඇය එයින් පසුව මුණුපරන්ගේද ආරක්ෂකයාය. එහි වරදක් නැත. අත්තම්මා , සීයා තරම් මුණුපුරන්ට රැකවරනය ලබා දෙන්නෙක් වෙනත් නැත. ඒ අතර අම්මාට පවුලෙන් ලැබෙන රැකවරනය ගැන නම් සැක සහිතය.පුවත්පතක් ගෙන යාන්තම් ඇස ගැටුනත් පෙනේනේ අම්මා පත්ව ඇති ඉරණමයි. දවල් බත පමා වුනාම, මත්ද්‍රව්‍ය වෙනුවෙන් මුදල් නොදුන්නාම, පෙම්වතියට තෑගි ගන්න මුදල් ඉල්ලා නොදී සිටිය විට අම්මා මරා දමන්නට තරම් දරුවන් සැහැසිව ඇත. එහෙමත් නැත්නම් අම්මා වාහනයක දමාගෙන ඇවිත් මහමග දමා සමහර අය නම් රුපියල් පන්සියයක්ද මිට මොලවා ගොස් ඇත. අම්මාගේ තක්සේරුව අද රුපියල් පන්සියයකට සීමා වී ඇත.

“මැනලද පුතේ කිරි දුන්නේ මම නුඹට…” යැයි අසන්නටවත් අම්මාගේ හඩ අවදි වී නැත. නිවසක පහන අම්මාය. ඒ පහන් එලියෙන් දරුවන්ට යන එන පාර නොපෙන්නුවා නම් අද ඔවුන්ට ජීවිතයක් නැත. ගමට කලින් හිරු උදා වෙන්නේ මුලුතැන්ගෙට යන්න සැබෑය. වනසතුන් අතර පවා උත්තරීතර මව් සෙනෙහස ඉතා අරුමයක්ව ඇත. ඇත් පැටවකු බිහි වුන විට රැලටම කිරි එරෙන්නේ මව් ටසනහසේ අරුමය නිසාමය. මැක්සිම් ගෝර්කි සිය “අම්මා” කෘතියේ දක්වා ඇති අන්දමට “ලෝකය පවතින්නේ හිරුගේ රැස්වලින් සහ අම්මාගේ කිරි වලින් බව සැබෑය”.

මේ නිසා අම්මාවරුන්ගේ දිනය මුල් කර ගෙන සංකේතාත්මකව තිලිනයක් පිලිගැන්වූ පමනින් ඇයට එය උපහාරයක් වන්නේ නැත. මව් ගුණ ඔබේ හදවතේ ආත්මීය බන්ධනයක් විය යුතුය. දරුවන් නිවසට එන තෙක් අම්මාගේ ඇස පියවෙන්නේ නැත. දරුවන්ගේ කුස රස අහරින් පුරවා ඇය ඇල් වතුරෙන් කුස පුරවා ගන්නා තරමටම පරිත්‍යාගශීලීය. අම්මාගේ එකම ප්‍රාර්ථනය දරුවන් පමනි. එසේ නම් දරුවන්ගේද ප්‍රාර්ථනය විය යුත්තේ එයම නොවන්නේද…? මල් පොකුරක් සහ සුබපැතුම්පතකින් පමණක් අම්මාට වියපත් වූ විට ලැබෙන ඇගයීම සෑහීමක් නොවේ. ඇයගේ දුක සැප විමසා බලන්නට, අවශ්‍ය ආහාරපාන සපයා දෙන්නට, බේත් හේත් බිව්වාද බැලීමට කාලය කෙසේ හෝ ලබා ගන්න. වෙලාවක් නැතැයි… යන්න සියල්ලටම ගැලපෙන පාඨයක් නොවේ.

ඒ වගේම ඔබ මව්පියන්ට සලකන අන්දමින් දරුවාද මව්පිය ගුණ හදුනා ගනු ඇත. අම්මා තාත්තාට ඔබ නොසලකමින් දරුවන්ට ඒ ගැන ලබා දෙන අවවාද අනුශාසනාවන් කොහෙත්ම අදාල නැත. ඒවා ප්‍රායෝගික නොවන්නේ අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසාය. ඔබ අම්මාට සලකන තරමින් දරුවා බොහෝ දේ උගනිනු ඇත. එවිට අම්මාවරුන් වෙනුවෙන් එක් දිනයක් නොව තමාගේ ජීවිතය අම්මාය … තරමටම මව්ගුණ හදවතට සමීප ජීවිතයේ ගීතය බවට පත් වෙනු ඇත.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article