පවුලේ ගැටුම් දරුවාට බලපානවා…

family-argument

පවුලක් කියන්නේ අම්මා, තාත්තා, දුවා දරුවන් වගේම මේ පවුලට සම්බන්ධ සහ ලේ නෑදෑයින් ජීවත් වෙනවා නම් ඒ හැම දෙනාගෙන්ම සුසැදි ඒකකයක්. පවුලක් තුළ තිබෙන සතුට, සමගිය, සමාදානය වඩාත්ම බලපාන්නේ දරුවන්ට බව ඔබ නොදන්නවා විය හැකියි.

අපි දරුවන් ගැන බාල කාලයේදී ඒ තරම් දුරට හිතන්නේ නැහැ. ඔවුන්ට වේලාවට කන්න බොන්න දිම, මළ මුත්‍රා ඉවත් කර නාවා පිරිසුදු කිරීම ගැන අපි උනන්දු වුනත් දරුවන් ඉදිරියේ මව්පියන් සහ පවුලේ අයගේ ගැටීම් පුංචි බිළිඳාගේ මානසිකත්වයට බලපාන බව අපි නොදන්නවා විය හැකියි.

මව්පියන්ගේ ගැටීම් දරුවන්ට බලපාන්නේ කොහොමද මුල් කර ගෙන වොෂිංටන් විශ්ව විද්‍යාලය මගින් අධ්‍යනයක් සිදු කරනු ලැබුවා. මේ අධ්‍යනය වෙනුවෙන් මාස පහළොවක් වයසැති දරුවන් 150 ක් තෝරා ගත්තා. ඒ නියැඳියට ගැහැණු සහ පිරිමි දරුවන් යැයි වර්ග කිරීමක් සිදු වුනේ නැහැ.

මුලින්ම මේ පර්යේෂකයන් කණ්ඩායම දරුවා මවගේ උකුලේ සිටියදීම විවිධ සෙල්ලම් බඩු චලනය කරනු ලැබුවා. මේ සෙල්ලම් බඩු ඇතුලතින් විවිධ ශබ්ද නැගෙන උපාංග ඇතුලත් කර තිබුණා. උදාහරණයක් විදිහට සමහර සෙල්ලම් බඩුවල ප්ලාස්ටික් ඇට වර්ග, තවත් අවස්ථාවක සිහින් ශබ්ද නැගෙන උපාංග විදිහට විවිධ දේ ඇතුලත් කලා.දැන් මේ ශබ්දවලට දරුවා දක්වන ප්‍රතිචාර අධ්‍යනය කරනු ලැබුවා.

එහිදී පර්යේෂකයන්ට පෙනී ගියේ  මිහිරි ලෙසින් හඬවන ශබ්ද වෙනුවෙන් දරුවාගේ මුහුනේ තිබුනේ ඉතාම ප්‍රසන්න බවක්. ඒත් එක්කම තරහ සහ ආවේග වලදී දරුවාගේ ප්‍රතිචාර එතරම් සුබවාදී වුනේ නැහැ.

මෙම සංසිද්ධිය පාදක කර ගෙන වොෂිංටන් විශ්ව විද්‍යාලයේ මෙම අධ්‍යනයේ ප්‍රධානී “බෙටී රැපොචාලි” පෙන්වා දෙන්නේ දරුවන් සමාජයේ මානව ප්‍රතිචාර ඉතා හොදින් හඳුනා ගන්නා බවයි.මේ අවබෝධය ඔවුන් ලබා ගන්නේ මාස පහලොවක කාලයේ පටන බවත් ඔහු පෙන්වා දෙනවා.

දරුවන්ට කතා කරන්න අදහස් ප්‍රකාශ කරන්න අපහසු වුනත් ඔවුන් දකින දෙයින් සහ ඇසෙන දෙයින් යම් යම් දේ සිතේ තැන්පත් වෙනවා. සමහර දරුවන් වැඩිහිටියන් වෙද්දී ආත්ම පාලනයක් නැහැ.මේ විදිහට දුර්වලතාවයන් ඔවුන්ගෙන් පෙනෙන්නේ බාලකාලයේදී මුහුණ දුන් විවිධ සිදුවීම් නිසා බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. අධ්‍යනයේ උපකර්තෘ ඇන්ඩෘ මෙලට්සොප්ට් සඳහන් කරන්නේ දරුවෙකුගේ ජීවිතයේ මුල් අවුරුදු තුනක කාලය ආත්ම පාලනය වෙනුවෙන් විශාල බලපෑමක් ඇති කරන බවයි. මේ තත්වය දරුවාගේ පාසල් ජීවිතයටත් බලපානවා.

සමහර දරුවන් බොහොම සංවේදියි. විටෙක මේ සංවේදී බව නිසා ඔවුන්ට අභියෝග ඉදිරියේ මුහුණ දීමට තරම් ශක්තියක් නැහැ.

කවුද වග කියන්නේ….?

එහෙනම් තොටිල්ලේ ලී වැටෙන් පනින්න පෙරාතුව දරුවාගේ මානසිකත්වයට බලපාන මේ පරිසරය ගොඩ නගන්නේ කවුද..? දරුවන්ගේ මේ කාලයේ ඇසෙන දකින දේ පවුල මුල් කර ගෙනම සිදු වෙන්නක්. බොහෝ පවුල්වල ගැටුම ඉදිරියේ විෂය වෙන්නේ දරුවා. දෙන්නා දෙමහල්ලන් ආරෝ විවුල් ගොඩ නගා ගන්නා හැම විටම ඇතැම් අම්මාවරු කියන්නේ,

“මම දරුවෝ අරගෙන ආවේ නැහැ… ඔහේගේ දරුවා තියල මම යනවා යන්න…”

ඒ වගේම ඇතැම් තාත්තලා හිතන්නේ දරුවන්ගේ වගකීම අම්මලාට පමණක් බවයි. මේ නිසා පවුලේ පුංචි පුංචි සිදුවීම්වලදි වුනත් ඇති වෙන ගැටුම් දරුවාගේ මානසිකත්වයට බලපානවා. නිතරම ඇහෙන දකින ගැටුම් නිසා දරුවාගේ ඉදිරි අනාගතයේදී සමාජ ගනුදෙණුව එතරම් යහපත් පරිදි සිද්ධ වෙන්නේ නැහැ. ඔහු අසමතුලිත දරුවෙක් බවට පත් වෙනවා.

හොඳම දේ….?

දරුවා ලැබෙන්න ඉද්දී අම්මා තමා ඉදිරියේ ලස්සන පින්තූර එල්ලා ගන්නවා. ඒ වගේම නපුරු සිතුවිලිවලින් දුරස් වෙනවා. ඒ විදිහටම තොටිලි වැටේ ඉන්න දරුවා ඉදිරියේදීත් පරිසරය ගොඩ නගා ගැනීම වැදගත්. අම්මා හඬා වැලපෙනවා නම්,තාත්තා නිරන්තරව ගැටෙනවා නම්, එහෙම නැත්නම් ආත්තම්මා ,සීයා සමග අම්මා ,තාත්තා ගැටෙනවා නම් මේ හැම සිදුවීමක්ම තොටිල්ලේ සිටින පොඩි දරුවාගේ හිතට වැදෙන නිසා එය අනාගතයට බලපාන බව දැන් හදුනාගත් සත්‍යක්.අපි හොඳම දේ දරුවාට නම් යන සංකල්පයේ පිහිටා කටයුතු කරනවා නම් නිතරම පවුලේ සමගිය ගැන දැඩි උනන්දුවක් දැක්වීම අවශ්‍යයි. මේ වාර්තාව සංජානනය journal Cognitive Development සංවර්ධනය පිලිබඳ සඟරාව මගන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here