පුංචි දරුවෙක් කියන්නේ සුවඳ මලක් වගෙයි. අම්මගේ කිරි සුවඳ එක්ක මුසු වෙලා ඉන්න පුංචි පැටියෙකුගේ සුවඳ විඳින්න විඳින්න ආසයි. මේ පුංචි පැටවු අපේ ලෝකෙට එන්නේ සුරංගනා ලෝකේ සුරංගනාවියන් මැද්දේ ඉඳලා තමයි කියන්නේ ඇත්තක්ද කියලත් වෙලවකට හිතෙන තරම්. කාගේ වුනත් දරු පැටියෙක් දැක්කම තුරුළු කරන් ඉඹින්න හිතෙන එකට වරදක් කියන්න බැරිත් ඔන්න ඕකයි. පුංචි දරුවෝ ළඟ තියෙන්නේ පුදුම හිතෙන විදියෙ ආකර්ෂණයක්. ඒත් අපිට හිතුණු හිතුණු පලියට වෙන අම්මෙක්ගේ දරුවෙක් තුරුළු කරගන්න, ඉඹින්න එහෙම නම් හොඳ නැති බව තදින්ම සිහියේ තියාගන්න ඕනේ. හැම නිතරම අපි අපිව පාලනය කර ගන්න ඕනේ. අපේම දරුවා උනත් ගමනක් බිමනක් ගිහින් ආපු හැටියේ පිරිසිදු නොවී අතට ගන්න එක නරකයි.
මේ මතක් කිරීමත් එක්ක මම ඔයාලට කියන්න යන කතාව පටන් ගන්නයි මේ සූදානම. පුංචි දරුවෙක් කියන්නේ කිසිම දෙයක් ගැන දැනුම් තේරුම් තියෙන අයෙක් නම් නෙවෙයි. පොඩ්ඩක් හිතන්න, අවුරුදක් තරම්වත් වයසක් නැති දරුවෙක් කොච්චර නම් අසරණයිද? තමන්ගේ අපහසුවක් ගැනවත් කියන්න තේරුමක් නැ. අම්මා දුන්නොත් කිරි බොනවා, නැත්නම් හති වැටෙනකම්ම අඬලා නින්ද යාවී. ඉතිං එයාල ගැන හොයල බලලා අවශ්‍ය දේ කරන්න ඕනේ අම්මලා වුණු අපිම තමයි. දරුවාගේ බඩගින්න, අපහසුතා ගැන අපිට අවබෝධයක් තිබිය යුතුමයි. ඒ මේ නොදරුවන්ගේ අසරණකම නිසාම විතරක් නෙවෙයි. අපේ කැඳ වීමෙන් මේ ලෝකෙට ආ ඔවුන් වෙනුවෙන් අපේ උපරිමය කැප කළ යුතුමයි. ඒ වගකීම් වෙනුවෙන් හරියට කැපවෙන්න අපිට බැරි නම් අම්මෙක් වෙනවද නැද්ද කියලා අපි මුලින්ම හිතන්න ඕනේ කියලයි මගේ අදහස. රටේ ලෝකේ මිනිස්සුන්ගේ කතාවලට බයේ හෝ දරුවෙක් ඉන්න එපැයි කියන අදහසින් හෝ දරුවෙක් මේ ලෝකෙට බිහිකරන එක නම් හරිම ශෝචනීයයි.
ඒ දේවල් කොහොම වුණත් දරුවන්ගේ පෝෂණය වගේම සනීපාරක්ෂාව පිළිබඳවත් විශේෂ සැලකිල්ලක් දැක් වීම අනිවාර්යෙන්ම සිදු වෙන්න ඕනේ. පුංචි දරුවෙකුගේ පිරිසිදු බව දරුවාගේ සෞඛ්‍යයටත් ගොඩක් බලපාන නිසාම දරුවෙක්ව පිරිසිදුවට තියන එක අම්ම කෙනෙක්ට මග හරින්න බැරි අනිවාර්ය වගකීමක් වෙනවා.
අපේ අම්මල දරුවොන්ට ආදරේ නෑ කියනවා නෙවෙයි, ඒත් සමහර අම්මල අතින් අතපසුවීම් ගොඩක් වෙනවා මේ දරුවෝ සම්බන්ධයෙන්. අම්ම කෙනෙක්ට පුළුවන් උපරිමයක් තියෙනවා තමයි. ඒත් මම මේ කියන්න යන දේ නම් තියෙන්නේ අවම මට්ටමේ. මේ කියන්න යන්නේ දරුවෝ ඔන්න ඔහේ හැදෙන්නන් වාලේ හැදෙන්න ඇරලා ඉන්න අම්මලා ගැනයි. ඒ නොදැනුවත්කමම කියල කියන්නත් අමාරුයි.
දරුවෙක් කියන්නේ කලින් කිව්වා විදියටම සුවඳ මලක්. ඒත් සමහර දරුවෝ ඉන්නවා, ආසාවට අතට අරගෙන හුරතල් කරන්න බෑ. සුදු මූණ ඉඳුල් වගේම එක එක දේවල් තැවරිලා ඒවා වේලිලා අඳුරු පාට වෙලා. දරුවා ළඟ පිලී ගඳයි. ඇඟ පත ඇලෙනවා දාඩියට. බෙල්ලේ වගේම අත් නැවෙන තැන්වල කුණු ඉරි වගේ පේනවා. වඩා ගෙන ඉද්දි පිටුපස පැත්තට යට වෙන අපේ අත තෙත් වෙනවා. මොකද පැම්ප්ර් එක පැය ගානකින් මාරු කරලා නැහැ. අනේ කොච්චර දුක හිතෙනවද?
හදන්නන් වාලේ දරුවෝ හදන අම්මලාත් ඉන්නවා කියලා කිව්වට එහෙම අත්දැකීමක් මට ලැබිලා තිබුනේ නැ. හරිම හුරතල් බෝලේ වගේ ලස්සන පුංචි පැටියෙක් වඩාගන්න නොහිතෙන තරමටම අපිරිසිදු වෙලා, ගඳ වෙලා ඉන්නවා දැක්කම කාටද දුක නොහිතෙන්නේ.
ඇත්තටම පුංචි බේසමකට වතුර ටිකක් අරගෙන හොඳට පිරිසිදු කරා නම් ඒ දරුවට කොයි තරම් සහනයක් ලැබෙයිද දරුවා ළඟ නැවුම් සුවඳක් දනෙයිද කියල හිතද්දී මට ලෝබ හිතුණා. අපේ කැඳ වීමට මේ ලෝකෙට ඇවිත් දුක් විඳින මේ වගේ පුංචි දරුවෝ කොයි තරම් ඇතිද කියල හිතුණා. ඒත් ඒ අග හිඟකම් නිසා නෙවෙයි නේද කියල හිටද්දී වගකීම් විරහිත අම්මලා ගැන තරහකුත් හිතට දැනෙනවා.
මාතෘත්වය අපි හඳුන්වන්නේ උත්තරීතර කියන වචනෙත් එක්කමයි. ඒ අපි එය උතුම් කියලා හිතන නිසාමයි. තමන්ට ලැබෙන දරුවා මහා පාරේ, වලවල් වල දාලා අසරණ කරන අම්මලා වගේම අවශ්‍ය අනවශ්‍ය හැමදේටම නිකරුණේ සල්ලි වියදම් කර කර, දරුවෙක්ට හරියට බතක් මාළුවක් කටට රසට උයා නොදී ෆෝන් එක මුළු දවසෙම අතේ තියාගෙන හරිම පොෂ් විදියට ජිවත් වෙන මෝඩ පහේ අම්මලත් ඉන්නවා. මෙන්න මෙතැනදීත් උත්තරීතර මව්පදවියට නිගා වෙනවා.