- Advertisement -

දරුවන්ගේ මානසික ආතතිය පිට කරන කායික රෝග ගැන දන්නවාද?

-

කුඩා දරුවන් නිතර කායික රෝග ලක්ෂණ ගැන පැමිණිලි කිරීම  දෙමව්පියන්ට පුරුදු අත්දැකීමකි. මෙබඳු අවස්ථා වල දෙමව්පියන් නිතර වෛද්‍යවරුන් කරා රැගෙන යාමද විවිධ පරීක්ෂණ සිදු කිරීමද  සිදු වේ. නමුත් ඇතැම් විට දරුවන් විවිධ අමාරු ගැන පැමිණිලි කළද ඊට හේතු විය හැකි රෝගයක් නැතැයි වෛද්‍යවරුන් පවසන අවස්ථා ඇත. කායික රෝග ලක්ෂණ ලෙස මතු විය හැකි මානසික ගැටළු මොනවාදැයි අද සලකා බලමු.

දරුවන් තුළ ඇති විය හැකි මානසික ආතතිය බොහෝවිට කායික රෝග ලක්ෂණ ලෙස මතුපිටින් පෙනිය හැක. උදාහරණයක් ලෙස අධික ආතතියෙන් පෙලෙන දරුවන් නිතර හිසරදය , බඩ රිදීම , පපුව රිදීම , ඇගේ වේදනා වමනය , ක්ලාන්තය ආදියෙන් පෙලෙනු අපි දකිමු.  නීරෝගී දරුවන් පවා කිසියම් පීඩාකාරී අත්දැකීමකින් පසු මෙවැනි ලක්ෂණ දැක්විය හැක. නමුත් එය ඉක්මනින් සුව වන අතර එම ලක්ෂණ වලට හේතු විය හැකි කායික රෝගයක් නොමැත.

- Advertisement -

නමුත් දිගින් දිගටම දරුවා අධික ආතතියෙන් පෙලේ නම් මෙම ලක්ෂණ නැවත නැවත ඇති විය හැක. විශේෂයෙන්  ශිෂ්‍යත්ව පන්තිවල දරුවන් මෙවැනි කායික රෝග ලක්ෂණ ඇතිව පැමිණීම රෝහල් වල ළමා සායන වල අපට නිතර දැකිය හැක. මෙම තත්වය නිවැරදිව හදුනා නොගැනීමෙන් දරුවාට මෙන්ම පවුලටද ගැටළු ඇතිවිය හැකිය. දෙමව්පියන් මේ දරුවන්ව නිතර නිතර වෛද්‍යවරු කරා රැගෙන යාමට පෙලබෙන අතර අනවශ්‍ය පරීක්ෂණ වලට ද ලක් විය හැක. කායික වෛද්‍යවරුන් රෝගයක් නැති පැවසු විට දෙමව්පියන් වෙනත් විවිධ වෛද්‍යවරුන් කරා දරුවා රැගෙන යාමට පෙළබේ. එමෙන්ම මෙය පාසල් ගමන අතපසු වීමටද ඒ හේතුවෙන් අධ්‍යාපනය දුර්වල වීමද සිදු විය හැක. එමෙන්ම මෙය දෙමව්පියන්ටද දැඩි පිඩාවක් ගෙන දිය හැකි හා පවුලේ සාමාජිකයින් අතර මත ගැටුම් ඇති විමට හේතුවක්ද විය හැකියි.

මේ දරුවෝ තමාට දැනෙන ඉතා සුළු කායික සංවේදනයක් ගැන පවා පමණට වඩා සැලකිලිමත් වෙති. ඒ ගැන දිගින් දිගටම සිතා බියට පත් වෙති. ඒ හේතුවෙන් පාසල් යාමට ප්‍රතික්ෂේප  කිරීමට පෙලබෙති. අනෙක් අතට දෙමව්පියෝ ද අනවශ්‍ය ලෙස බිය වී සුළු කායික ලක්ෂණයකට පවා අනවශ්‍ය ලෙස ප්‍රතිකාර සොයා යාමද අපි දකිමු. මෙය දරුවාගේ බිය තවත් වැඩි වීමටද , එම තත්වය තව දුරටත් පවතිමටද මුල් විය හැක.

විවිධ හේතු මත ( උදා : පාසැල මාරු කිරීම, යහළුවන් සමග ගැටළු ඇති වීම , අධ්‍යාපනික ගැටළු , පවුලේ ගැටළු, අපචාර වලට බදුන් වීම) අධික ආතතියෙන් පෙලෙන, ශාරීරික ලක්ෂණවලට අධික ලෙස සංවේදී , ආත්ම ශක්තිය අඩු , සෑම සුළු දෙයක් ගැනම අධික ලෙස තැති ගන්නා චරිත ලක්ෂණ ඇති දරුවන් තුල මෙම තත්වය බහුලව දැකිය හැක. එසේම මේ ලක්ෂණ විෂාදය හා කාන්සාව වැනි රෝගයක ලක්ෂණයක්ද විය හැක.

මනස හා ශරීරය ස්නායු මාර්ග මගින්ද, හෝමෝන මගින්ද සබදතා පවත්වා ගනී. රුධිරය මගින් රසායනික ද්‍රව්‍ය නිරන්තරයෙන්න්ම මොලය හා ශරීරය අතර හුවමාරු වේ. මේ නිසා අපේ සිතුවිලි ,හැගීම් හා මානසික ආතතිය  ශාරීරික වෙනස්කම් ඇති කරයි. උදාහරණයක් ලෙස අධික කණගාටුවෙන් සිටින විට සුළු වේදනාවල් පවා ඉතා දරුණු ලෙස දැනි ය හැක. එසේම කායික රෝග මගින් මිනිසාගේ සිතිවිලි හා හැගීම් වෙනස් කල හැක. ඉහත විස්තර කල ශාරීරික ලක්ෂණ වලට හේතු වන්නේ මනස හා හරීරය අතර ඇති මෙම සම්බන්ධතාවයයි.

මෙම තත්වයේදී දරුවා ට දැනෙන කායික ලක්ෂණ සැබෑ ලක්ෂණ වන අතර ඒවා මවා ගත්  ඒවා යයි දඩුවම් කිරීම සුදුසු නොවේ. මිට පිලියම්දීමේ මුලික පියවර  අත්‍යවශ්‍ය පරීක්ෂණ මගින් කායික රෝගයක් නැති බව තහවූරු කර ගැනීමයි. වෛද්‍යවරුන් සමග කතා බහ කර හොද සබදතාවයක් පවත්වා ගැනීමෙන් දෙමව්පියන්ගේ සිත් තුල ඇතිවන පීඩනය පාලනය කර ගැනීමද ඉතා වැදගත් වේ. මන්ද දෙමව්පියන් තුල ඇතිවන ආතතිය නොදැනුවත්ව දරුවාට බලපෑමෙන් එය මෙම තත්වය දීර්ඝ කාලීනව පැවතීමට හේතුවක් විය හැකි බැවිනි.

අනවශ්‍ය ලෙස රෝහල් කරා දරුවා ගෙනයාම , අනවශ්‍ය පරීක්ෂණ වලට යොමු කිරීම  ආදිය අවම කිරීමට වැඩිහිටියන් සැලකිලිමත් විය යුතුයි. හැකි තරම් දරුවාගේ සාමාන්‍ය ජිවිතයේ කටයුතු වල දීමට දරුවා උනන්දු කරන්න. එම කායික ලක්ෂණ වලට අනවශ්‍ය ලෙස අවධානය දීමෙන් වලකින්න. මේ තත්වයේදී දරුවාට තමන්ගේ කටයුතු ස්වාධීනව කර ගැනීමට ඉඩ දීම වැදගත්ය. දරුවාට අධික මානසික ආතතියක් ඇති විය කරුණු හැකි තරම් හදුනා ගෙන පිළියම් යොදන්න. මේ සදහා පාසලෙන් , උපදේශකවරුන්ගෙන් හා මනෝ වෛද්‍ය වරුන්ගෙන් සහය ලබා ගත හැකිය.

ඉහත විස්තර කල ලක්ෂණ වලට අමතරව කලාතුරකින් එකවර කතා කිරීමට නොහැකි වීම , අත පය පන නැති වීම , සිහි නැතිවීම , වලිප්පුවට සමාන රෝග ලක්ෂණ ආදියද දක්නට ලැබේ.

බොහෝ අවස්ථාවල චර්යාත්මක ප්‍රතිකාර මගින් මේ තත්වයට උදවු ලබා දිය හැකි වේ.  නමුත් ඇතැම් විට ඖෂධිය ප්‍රතිකාරද අවශ්‍ය විය හැක. මෙයින් සම්පුර්ණයෙන් සුවය ලැබීමට කල් ගත විය හැක. ප්‍රයෝගිකව අප දකින ගැටළුවක් වන්නේ දෙමව්පියන් ක්ෂණික විසදුම් අපේක්ෂා කිරීමයි. ඒ නිසා ඔවුන් පිඩනයට පත් වීමෙන් දරුවාට ඔවුන්ගෙන් ලැබිය යුතු සහය නොලැබී යා හැකියි. එබැවින් දෙමව්පියන්  දැනුවත් වීම හා ඉවසිලිමත්ව වැඩ කිරීම ඉතා වැදගත්  වේ. වෛද්‍ය කාර්ය මණ්ඩලය සමග සහයෝගයෙන් වැඩ කිරීම දරුවාගේ ගැටලුව විසදා ගැනීමට පිටුවහලකි.

Dr.Malika pro

මනෝ වෛද්‍ය විශේෂඥ
මාලිකා වීරසිංහ
නයින්වෙල්ස් රෝහල
නාරාහේන්පිට

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article