දරුවන්ට ඉටුකළ යුතු මේ යුතුකම් ඔබටත් මගහැරිලද?

careering -your-child

පුංචි දරුවන්ව හැම නිතරම උපමා වෙන්නේ ලස්සන මල්වලට. හැම පොතකම, කවියකම, කතාන්දරයකම ඒ උපමාව යෙදෙනවා. ඔව්… ඇත්තටම පුංචි දරුවෝ මල් වගේම තමයි. සිනිඳු අතපය, දිලිසෙන ඇස්, පුංචි ඇඟිලි… හැම දරුවෙක්ම හරිම සුන්දරයි. එහෙම නම් ඒ මල්වල සුවඳ දසත පතරුවන මද පවන අපි. ඒ කියන්නේ වැඩිහිටියෝ. ඉතිං මෙන්න මේ පුංචි මල් වටා හමන සුළඟ ඒ කියන්නේ ඔවුන්ට ජීවිතය කියාදෙන වැඩිහිටි අපි කොතරම් සිසිල් විය යුතුද? ආදරණීය විය යුතුද? අවවාදාත්මක විය යුතුද? අන්න එවිටයි ලස්සන මල් කැකුළු මද පවනේ තාලයට ලෙල දෙන්න පටන් ගන්නේ.

දරුවන් කියන්නේ කිසිම දෙයක් ගැන දැනුමක් තේරුමක් නැති පිරිසක්. මනෝ වෛද්‍යවරුන් පවසන අන්දමට දරුවෙක් යමක් කමක් තනිව නිවැරදිව තේරුම් අරගෙන, සිතා බලා කටයුතු කරන්න, නිවැරදිම තීරණ ගන්න නම් ඇත්තටම අවුරුදු විස්සක්වත් සම්පූර්ණ විය යුතුයි කියලයි. මොකද ඒ තාක් දරුවන් කටයුතු කරන්නේ හැඟීම්වලින් පමණක් බවත් ඔවුන්ගේ මොළයේ සිතා බලා කටයුතු කිරීමට තීරණ ගැනීමට අවශ්‍ය කොටස සංවර්ධනය වී නොමැති බවත් ළමා මනෝවෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සමග මා සිදුකළ සාකච්ජාවකදී ඔහු පැවසු බව මට මතකයි.

ඔන්න ඉතිං කතාව පටන් ගන්නේ මෙතන ඉදලා. මේ මෑතකදී මම විවාහ මංගල උත්සවයකට සහභාගී වුණා. පුංචි දරුවන් ගැන ගොඩක් දේ කතාබහ කරන නිසාදෝ මට වැඩි අවධානය යොමු වුණේ එක් එක් දරුවන්ගේ හැසිරීම් පිළිබඳව. එතන දුවලා පුතාලා පස් හය දෙනෙක්ම සිටියා. ඉතිං එයාලා කාලය ගත කළේ බොහොම සතුටින්. දුවනවා, පනිනවා, නටනවා… ඔය වගේ ගොඩක් ක‍්‍රියාකාරකම් එයාලා කරා. මේ අතරින් දරුවන් කිහිප දෙනෙක් හැසිරුණු ආකාරය ඇත්තටම මගේ හිතට ගෙනාවේ ලොකු කණගාටුවක්. පුංචි දරුවන්ට හොඳ නරක කියන දේ ගැන අවබෝධයක් නෑ තමයි, ඒත් ඔවුන්ගේ වැඩිහිටියෝ ඒ ස්ථානයේ රැඳී සිටියා. දරුවන් කෑම මේසයට දෑත් ඔබමින් යම් යම් දේ ගන්නට පටන් ගත්තා. ඒ දේවල් ශාලාව පුරා විසි කරන්නට පටන් ගත්තා. මුව තුළ ඔබා ගනිමින් කන්නට පටන් ගත්තා. බලා සිටින්නට නොහැකි අවස්ථාවන්වලදී මම ඔවුන් වෙත ගොස් එසේ නොකරන ලෙසට ආදරෙන් කියා සිටියා. දරුවන් දෙස දෙමාපියන් බලා සිටින්නට ඇති. නමුත් ඔවුන් කිසිවෙකුත් ඒ ස්ථානයෙන් දරුවන් ඉවත් කිරීමට හෝ දරුවන්ට අවශ්‍ය දේ පිළිවෙළට ලබා දීමට හෝ ඉදිරිපත් වුණේ නැහැ.

ඇත්තටම එවැනි අවස්ථාවන්වලදී කුඩා දරුවන් රැගෙන යන මාපියවරුන්ට විශාල වගකීමක් පැවරෙනවා. දරුවන් අනෙක් අයගේ පිළිකුලට, අප‍්‍රසාදයට ලක්වීම වැළැක්විය හැක්කේ ඔවුන්ටයි. කුඩා දරුවෙකු  ඕනෑම අවස්ථාවක ක්‍ෂණිකව තම සිතට නැගෙන සිතිවිල්ල ක‍්‍රියාත්මක කරන්නට පෙළඹෙනවා. ඔවුන්ව ආදරණියව පාලනය කරමින් නිවැරදි දේ කියා දිය යුත්තේ වැඩිහිටියන් වන අපයි. දරුවන්ගේ කටයුතු සම්බන්ධයෙන් දෙමාපියන් වෙත වගකීම පැවරෙනවා යැයි කීවද එයිනුත් වැඩි වගකීම පැවරෙන්නේ අම්මාටයි. දරුවන්ගේ ක‍්‍රියාකාරකම් දකින වටපිටාව සොයා බලන්නේ දරුවාගේ මව පිළිබඳවයි.

අම්මා නම් වූ උතුම් පදවිය අප වෙත පැවරෙන්නේ නිමාවක් නැති වගකීම් සමුදායක් ද සමගින් බව  අප නිරන්තරයෙන් කතා බහ කරන කාරණයක්. ඇත්තටම දරුවෙක් කියන්නේ “අපේ ජීවිතයම කැප කිරීමක්” කිව්වොත් නිවැරදියි. සැබවින්ම ඒ වගකීම් විශාල බරක් බව ද සැබවි. දරුවෙකු කුස හොවා දස මසක් පෝෂණය කර කප්පරක් වේදනාවන් දරාගනිමින් මොලොවට බිහිකරන්නට කාන්තාවකට හැකි නම් ජීවිත කාලය පුරාම තම දරුවා වෙනුවෙන් කැප වීම එතරම් විශාල කාර්යයක් නොවිය යුතුය. සැබවින්ම ආදර්ශය උතුම් යැයි කියන කියමනට අනුව අප සැමවිටම දරුවන් වෙත යහපත් ආදර්ශයන් ලබා දිය යුතුමය. මවක් සැම විටම දරුවාට ලබා දෙන අණ ආදරණීය විය යුතුයි. ඒ තුළින් දරුවකු පාලනය කරගැනීමට මවකට හැකියාව තිබිය යුතුය. ඇතැම් විට මවගේ එක් නුරුස්නා බැල්මකින් දරුවා පාලනය විය හැකිය. ඇතැම් විට දරුවාගේ නම කියූ සැනින් දරුවා පාලනය විය හැකිය. මල් වැනි පුංචි දරුවන් සමාජය තුළ පිළිකුල් වීමට ඉඩ නොතැබීම මව්පියන් වන අපේ වගකීමකි. එය එසේ වුවහොත් දරුවන් පිළිබඳව මව්පියන්ගේ වගකීම පැහැර හැරීමක් නොවේද?

මව පියා දේවත්වයෙන් පිදිය යුතු යැයි පැවසෙන්නේ මේ සියලු කරුණු හමුවේ නොවේද? දරුවන්ට සිය ජීවිතය වටහා දිය හැක්කේත් යහපත් අයහපත් දේ අවබෝධ කර දිය හැක්කේත් අම්මාටත් තාත්තාටත් පමණි. එතනිනුත් සුවිශේෂී වන්නේ අම්මාය. මන්ද දරුවන් සමග වැඩි වශයෙන් ගැටෙන්නේ අම්මා බැවිනි. ආදරණීය තර්ජන, ගර්ජන හමුවේ වුවද දරුවෙකු සවන යොමු කෙරෙන්නේ අම්මගේ හඬටමය. ඉතිං දරුවන්ට ඉගෙනීම පෝෂණය පමණක් උපරිමයෙන් ලබා දුන්නද එහි පලක් නොමැති බව ඔබ තේරුම් ගත යුතුමය. ඒ හා සමානවම දරුවෙකු වෙනුවෙන් ඉටුවිය යුතු මෙවන් යුතුකම් ගැනත් ඔබේ අවධානය යොමු කළ හැකි නම් එය දරුවෙකුගේ ජිවිතයේ සාර්ථකත්වයට ඔබෙන් ලැබෙන මිල කළ නොහැකි ත්‍යාගයක් යැයි කීම නිවැරදිය.

විශේෂඥ මතය, අදහස සහ මූලික සටහන:

විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස
ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය – රාගම ශික්ෂණ රෝහල / ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය – කැලණිය විශ්වවිද්‍යාලය

 

 


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here