පුංචි දරුවෝ හමුවුනාම අපිට ඔවුන් කතාවට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වුනාම අපි අහන පොදු ප්‍රශ්න කීපයක් තිබෙනවා.
“බබාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ…” එහෙම නැත්නම්, “බබාගේ අම්මා මොකද කරන්නේ…” මේ වගේ ප්‍රශ්න කිසිම වැරැද්දක් නැති බව ඇත්ත. ඒත් යම් සීමාවකදී අපි අහන ප්‍රශ්න නිසා දරුවාගේ හිත රිදෙන්න පුලුවන්. දරු හිත් ඉතාම සංවේදියි.
මේ වගේ ප්‍රශ්න දරුවන්ට ප්‍රශ්න වෙන්නේ මොන වගේ වෙලාවටද කියලත් අපි ටිකක් හිතුවොත්….. සමහර දරුවන්ගේ අම්මා හෝ තාත්තා මිය ගිහින්. එහෙම නැත්නම් ඔවුන් විවිධ හේතු නිසා වෙන් වෙන්ව ජීවත් වෙනවා. නැත්නම් දික්කසාද වෙලා.
ඒ පුංචි දියණිය පාසලේම ආදි ශිෂ්‍යාවකගේ දියණියක්. ඒ ආදි ශිෂ්‍යාවත් යාන්තම් උසස් පෙළ එක් වතාවක් පමණක් කරල ඉක්මනින්ම විවාහ වුනේ ආදර සම්බන්ධතාවයක් තිබුන නිසයි. කාලය බොහොම ඉක්මනින් ගෙවී යන නිසාම ඇගේ දියණිය අපේ පාසලටම ඇතුල් වුණා. පුංචි පැටියා අකුරු කරන්නත් දක්ෂයි. චිත්‍ර වගේම නටන්න ගයන්නත් හපන්. ඒ වුනත් විටින් විට මේ පුංචි දුව උදාසීනකමක් දක්වනවා. ඇගේ අම්මාට කිව්වාම කියන්නේ,”මේ දවස්වල සෙමට බේත් බොනවා…ඒ නිසා වෙන්නැති කියලයි..” දියණියගේ පියා විදේශගත රැකියාවක නිරත බවත් දන්නා නිසා ඇයට නිතරම අපි විහිලු කරන්නේ “තාත්තා සෙල්ලම්බඩු ගොඩක් ගෙනාවාම මටත් එකක් ගේන්න..හොදේ..” විදිහටයි. ඒ වෙලාවට ඇය අහිංසක විදිහට හිනාවෙලා ඉන්නවා මිස හා හෝ බැහැ කියන්නේ නැහැ.
හැබැයි තවත් දරුවන්ගේ තාත්තලා විදේශවල ඉන්න නිසා ඒ වගේ වෙලාවට පුංචි දරුවෝ අහන්නේ “ටීච මම ගේන්නම්..තාත්තා කතා කළාම කියන්නම්” විදිහට බොහොම උනන්දුවෙන්.
එක දවසක් ඒ පුංචි දුව මං ලගට ආවා.. “අපේ තාත්තා හොඳ නැහැ..මම එයාට ආදරේ නැහැ..”
“ඇයි…” මම ඇහුවා.
“එයා රට ඉඳල ඇවිත්… මං බලන්න ආවෙත් නැහැ. අත්තම්මලාගේ ගෙදරට වෙලා ඉන්නවා..”
“තාත්තා ඒවි.. එයාගේ අම්මත් එයා එනකම් බලාගෙන ඉන්න ඇති නේ…” මං පුංචි හිත අස්වසනු රිසින් කිව්වා.
“එයා ඉතින් ආවත් එන්නේ සල්ලි ඉවර වුනාම..”
“ඉතින් ඔයාලට සල්ලි තියෙනවානේ..”
“අපිට නෑ..මාමා දෙන්නේ..අම්මත් ගාර්මන්ට් එකට යනවා.”
පුංචි හිත අවදිවෙලා තියෙන්නේ දැන් බව මට තේරුනා.
දරුවන් අතර මේ විදිහට විවිධ පීඩන තියෙන්න පුලුවන්. ඒ නිසා අපි ඔවුන් සමග ඉතාම සීරුවෙන් ගණුදෙණු කරන්න වෙනවා. මේ ගැන අදහස් ඉදිරිපත් කරන සමාජවිද්‍යාඥයින් කියන්නේ අපි කිසිම දවසක දරුවන්ගෙන් අම්මා..තාත්තා ගැන ඔවුන්ගේ රැකියාවන් ගැන අහන්න අවශ්‍ය නැහැ.
දැන් ඔබ මේ විදිහට කිව්වොත්.. අපි දරුවන් හඳුනාගන්නේ කොහොමද…?
ඒ වෙනුවෙනුත් අපි ඔවුන්ගේ පුද්ගලික තොරතුරු ලබා ගැනීමට පත්‍රිකා පුරවා ගන්නවා. එයින් අපිට දරුවන් ගැන තොරතුරු ලබා ගන්න පුලුවන්. එහෙත් නැත්නම් දරුවාටම නිදහස ලබා දෙමින් ඔයාගේ තොරතුරු කියන්නකෝ.විදිහට ආරාධනා කරනන් පුලුවන්.
මේ වගේ වෙලාවටත් හොඳ පවුල් පරිසරයක ජීවත්වෙන දරුවන් බොහොම හොදින් ඒ ගැන කිව්වත් මානසිකය යම් යම් වේදනාවන් තිබෙන දරුවන්ට ගිරව් වගේ ඒ ගැන කියන්න බැහැ.
පුංචි හිත්වලත් අහංකාරකම් තියෙනවා…
සමහර දරුවන් අම්මා තාත්තා නැතිවුනත්..ආර්ථික ප්‍රශ්න තිබුනත් තවත් කෙනෙකුගේ අනුකම්පාවට ලක් වෙන්න කැමැති නැහැ. අනේ පව්…කියල තවත් කෙනෙක් ඔවුන් ගැන අනුකම්පාවෙන් කතා කරනවාට කැමැති නැහැ. ඒ දරුවාගේ අභිමානය.. අපි ඉතින් අනේ පව් ඒ දරුවාගේ තාත්තා නැහැ… කියල කවමදාවත් ප්‍රසිද්ධියේ දරුවන් ගැන අනුකම්පාවෙන් කතා කළ යුතු නැහැ. ඒ තත්වයත් ඔවුන්ට මානසික වධයක් බවට පත් වෙනවා.
හදිසියේ මුනගැහෙන අය සමග වුනත් පෞද්ගලික ප්‍රශ්න එපා…
මේ අධ්‍යනය තව දුරටත් ඉදිරියත් ගෙන යමින් සමාජ විද්‍යාඥයින් සඳහන් කරන්නේ අපිට හදිසියේ මුනගැහෙන අය සමග වුනත් පෞද්ගලික ප්‍රශ්න ගැන අනවශ්‍ය විදිහට කතා කළ යුතු නැහැ. “ඔයාට දරුවන් ඉනනවාද..?” සමහර විට ඇය හෝ ඔහු අවිවාහක වෙන්න පුලුවන්.
විවාහ වෙන වයසත් පසු කළ අයෙක් එහෙමත් නැත්නම් මුණුපුරන් ඉන්න පුලුවන් වයසක කෙනෙක් මේ නිසා දැඩි අසීරුතාවයට පත් වෙන්න පුලුවන්.
තවත් අය මේ වගේ ප්‍රශ්න අහන්නේ හදිසියේ හමුවුනත් සුහදතාවය ගොඩ නගා ගන්න මිසක ඔවුන්ගේ පෞද්ගලිකත්වය ගැන අවශ්‍ය නිසාම නොවෙයි.
ඔයාගේ හස්බන්ඩ් එහෙම නැත්නම් වයිෆ් මොකද කරන්නේ…?
මෙතැනදීත් ඒ පැනය ඉදිරියේ නිරුත්තර වෙන තැන් තිබුනොත් ඔබටත් හිතේවි අනේ මම අපරදේ මේ වගේ ප්‍රශ්න ඇහුවේ කියලා…
සමහර විට ඇගේ හෝ ඔහුගේ බිරිඳ එහෙම නැත්නම් සැමියා මියගොස් ඇති. එසේත්… නැත්නම්…හැරදා ගොසින් හෝ දික්කසාද වී වෙන්නත් පුලුවන්. ඒ නිසා එවන් ප්‍රහ්නවලට පිලිතුරු දීමට වඩා එයින් ඇති වෙන මානසික ගැටුම දරාගැනීමත් අපහසු වෙන්න පුලුවන්. ඒ නිසා ඔබ නිතරම කතා කරන්න පෙරාතුව ටිකක් හිතා බලන්න. මේ වගේ සෘජු ප්‍රශ්න වෙනුවට වටගොසින් අවශ්‍ය තොරතුරු දැනගන්න අවස්ථාව තිබෙනවා. ඔබ සාමාන්‍ය කතා බහ ආරම්භ කරන්න. නිදහස් මානසිකත්වයක් තිබෙන කෙනෙක් නම් ඒ ගැන ගංගාව ගලනවා වගේ තොරතෝංචියක් නැතුව කතා කරන විට ඔය කියන ජීවිතයේ පැතිකඩ නොදැනම විවෘත වෙනවා. ඒත් විවිධ ගැටුම් අතර ජීවත්වෙන කෙනෙක් නම් ඒ ගැන නොදොඩාම ඉදීවි.