අපි තොරතුරු තාක්ෂර සන්නිවේදනයට මොනතරම් චෝදනා කළත් අනාගතයේදී මේ විද්‍යුත් ලෝකයෙන් තොරව ඉදිරියට යෑම ඉතාම අපහසු තත්වයක් වෙනවා. කොටින්ම කිව්වොත් අන්තර්ජාලය සහ වෙනත් වෙබ් අඩවි වෙතින් සිදු වෙන ගණුදෙණුව තමන්ගේ අධ්‍යාපනයට පමණක් නොවෙයි සමාජ ජීවිතයට පවා අත්‍යවශ්‍ය අංගයක් වෙනවා. ඒ නිසා තොරතුරු සන්නිවේදන කියන්නේ හරියට දැලි පිහියෙන් කිරි කෑම වගේ වැඩක්. බාල කාලයේ පටන් තොරතුරු වෙනුවට අනවශ්‍ය විදිහට සමාජ වෙබ් අඩවි පරිශීලනයට යොමු වුනොත් නොමග යෑමට තිබෙන ඉඩ ප්‍රස්ථාවත් වැඩියි. ඒ වගේම මේ වෙනුවෙන් තහංචි පනවලා දරුවන්ට තොරතුරු සන්නිවෙදනයට ඉඩ නුදුන්නොත් ඔවුන්ගේ ඒ හැකියාවන් වර්ධනයට ඉඩ ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපි දරුවන්ට තොරතුරු සන්නිනිවේදන හැකියාවන් දියුණු කර ගැනීමට ඉඩ දෙන්නේ කොහොමද කියල ටිකක් බලමු…
මව්පියන්ටත් දැණුමක් තිබෙන්න ඕන
අද තොරතුරුතාක්ෂණ හැකියාව මැදි වයසේ සිටින දෙමව්පියන්ට බොහාම අඩුයි.කාලයත් සමග ලැබුන මේ හැකියාවන් ඔවුන්ගේ බාල කාලයේදී නොලැබීම ඊට හේතුවක්. ඒත් අපි ඒ මත්තේම සිටින්න අවශ්‍ය නැහැ. දැන් වුනත් ඔබ ප්‍රමාද නැහැ. ඒ නිසා දැනුම වෙනුවෙන් තිබෙන මං බොහොම නිසා ඔබත් තොරතුරු සන්නිවේදන හැකියාවන්ගෙන් පොහොසත් වීම වැදගත්. එහෙම වුනාම දරුවන් කරන්නේ මොනවාදැයි ඔබටත් අධ්‍යනය කරන්න පුලුවනි. සමහර අම්මලා කියන මේ වගන්තිය ඔබටත් ඇහිල ඇති
“අනේ මං දන්නේ නෑ මොනවා කරනවාද කියලා…අපිට ඕවා තේරෙන්නේ නැහැනේ…” ඒත් මේ කියමන නිදහසට කරුණක් නොවෙයි. ඔබත් දරුවන් ගැන විමසිල්ලෙන් සිටින්නට නම් මුලින්ම මේ සාක්ෂතාවයෙන් පොහොසත් විම අද යුගයේ අවශ්‍යතාවයක්ව තිබෙනවා. එවිට දරුවාට යා යුතු මග නොමග ඔබට තේරුම් බේරුම් කර දෙන්න පුලුවන්.
වෙලාවක් කලාවක් දෙන්න
හැම දෙයකටම වෙලාවක් කලාවක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ වෙනුවෙනුත් දරුවාට වෙලාවක් ලබා දෙන්න.දරුවාගේ කාලසටහනේ සෙල්ලම් කරන්න, පාඩම් කරන්න වගේම මේ තාක්ෂණ මෙවලම් හසුරුවටත් වේලාවක් ලබා දීම ඉතාම වැදගත්. එහෙම නැතුව නිතරම දඑුවාට දොස් නගන්න එපා. කොච්චරවාත් ඕවා එක්ක තමයි වැඩ කියන්න එවිට අවශ්‍ය නැහැ. කාලසටහනේ දරුවාට ඒ වෙනුවෙන් ලබා දී තිබෙන කාලයෙන් ඔහුට තමන්ගේ හැකියාවන් දියුණු කර ගන්නා අතරම විනෝදයක් ලබා ගන්නත් පුලුවනි. ඒ අතරම කාලසටහනට එහාට කටයුතු කරනවා නම් දරුවාට ඒ ගැනත් අවවාද ලබා දීමට පුලුවනි.
අවශ්‍ය දේ සොයා දීම
දරුවාගේ අධ්‍යාපනයට අවශ්‍ය බොහෝ දේ අන්තර්ජාලයෙන් ලබා ගන්න පුලුවනි. කොටින්ම කිව්වොත් මේ තොරතුරු ලෝකයක්. ඒත් අපේ දරුවන් වගේම මව්පියන් හිතන්නේ ටාසන්, ස්පයිඩර් මෑන්, එහෙම නැත්නම් නයිට්රයිඩර් නැති ළමා සාහිත්‍යක් නැති බවයි. එහෙම නැහැ. අධ්‍යාපනයට අවශ්‍ය වගේම බාහිර දැණුම ලබා ගත හැකි වෙබ් අඩවි බොහෝ තිබෙනවා. අපේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ “තක්සලාව” වැනි වැඩසටහන් දරුවන්ගේ දැණුම ගබඩාවට බොහෝ තොරතුරු ලබා දෙනවා. ඒත් අපි වගේම දරුවන්ච මේ ගැන දන්නේ නැහැ.ඊට අතිරේකව “විකිපීඩියා” වැනි වෙබ් අඩවි මගින්ද තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.
ලිපි ලේඛණවලටත් යොමු කරන්න
අන්තර්ජාලයේ තිබෙන්නේ චිත්‍රපට , ගීත සහ වීඩියෝ දර්ශන පමණක්ම නොවන බවත් දරුවන්ට කියා දෙන්න. වාර්තා චිත්‍රපට වගේම යූ ටියුබ් ඔස්සේ අධ්‍යාපනයට වඩාත් සමීප වැඩසටහන් තිබෙනවා. මේවා පරිශීලනයෙන් දරුවන්ට බොහෝ දේ උගත හැකියි.
අලුත් දේ ලබා දෙන්න
දරුවන්ට අලුත් දැනුම අවශයයි. යල් පැන ගිය දැනුම නොව දින දින අලුත් වෙන දැණුම ගැන දරුවන් දැනුවත් විය යුතුයි. මේ වෙනුවෙන් වූ උපාංගයන් ලබා දීමට පුලුවනි. ඉංග්‍රිසි භාෂාව හැදෑරිමට “කින්ඩල්” වැනි උපාංගයක් බාල කාලයේදී ලබා දුන්නොත් ඔවුන්ට භාසාව පිලිබඳව හුරුවක් ලැබෙනවා. ශබ්දකෝෂ, විශ්වකෝෂ වුනත් මේ විදිහට වෙනත් උපාංග ලෙසින් ලබා ගැනීමට පුලුවනි.
පාලනයක් එපායැ…
දරුවන් මේ වෙනුවෙන් ඇබ්බැහි වීමට ප්‍රදානම හේතුව මුල් කාලයේදී ඔබ ඒ වෙනුවෙන් පාලනයක් ලබා නොදීම නිසා බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා ඇබ්බැහිවීමට පෙරාතුව දරුවාට පාලනයක් ලබා දීම ඉතාම වැදගත්. කොච්චරවත් ටැබ් එකේ…එහෙම නැත්නම් පෝන් එකේ කියනවාට වඩා ඒ වෙනුවෙන් හෙමින් සීරුවේම පාලනයක් මුල පටන්ම ආරම්භ තරන්න..එවිට දරුවාත් අනවශ්‍ය විදිහට යොමු වීමෙන් වලක්වා ගන්න පුලුවනි. විවෘතව මේවා බැලීමට ඇවැසි සේ පරිසරයක් ගොඩ නැගීමත් වැදගත්. පර්යේෂකයන් සඳහන් කරන අන්දමට කුඩා දරුවන් පරිගනකය පරිහරනය කරනවා නම් එය වැඩිහිටියන්ට විවෘතවන සේ තැබීම වැදගත්. ඩෙක්ස්ටොප් යුගයේදී නම් එය කළ හැකි වුනත් අද තත්වයේදී තිබෙන වෛවාරන උපාංග හමුවේ මෙය අපහසුයි. ඒ කොහොම වුනත් මුල පටන්ම තොරතුරු සෙවීම සහ පරිහරනය වෙනුවෙන් පාලනයක් ලබා දීම ඉතාම වැදගත්.