පොසොන් පොහොයට දින දෙක තුනක් තිබියදී එක් දවසක් පුංචි දුවක් අම්මාට මෙහෙම කිව්වා.
“අපිට ඉස්කොලේ සිල්…”
“ඈ..” අම්මා ඇහුවේ විමතියෙන්,
“ඔව් අපි ඔක්කෝටම සිල් ගන්න කිව්වා…ළමාසාරිය ඇදගෙන උදේ හතට ඉස්කෝලෙට එන්න කිව්වා.”
“අනේ..මේ..” අම්මා කිව්වා.
“ඇයි..සිල්ගන්න ඕනා…නැත්නම් ටීච බනියි..”
“ඔයාට සනීප නැති වුනා කියන්න..මම ලියුමක් දෙන්නම් සනීප නැති වුනා කියලා…” අම්මා කිව්වා.
“හා…” දියණියත් එකඟ වුණා.
ඇත්තටම මවක් විදිහට ඇය තමාගේ කුඩා දියණිය නොමග යවන අන්දම ගැන ඇති වුනේ දුකක්. දරුවන් වෙනුවෙන් ශීල සමාදාන වැඩසටහන් පාසලේ පවත්වන්නේ අධ්‍යාපනය කියන්නේ අකුරු විතරක් නොවෙයි, සාරධර්මත් එකතුවීමක් බව පෙන්වා දෙන්න. ඒත් වැඩිහිටියන් විදිහට ඔවුන්ගේ දායකත්වය ගැන නම් ඇත්තටම හිතෙන්නේ දුකක්.
බොහෝ දෙමව්පියන් පාසලේ පවත්වන ආගමික වැඩසටහන් වෙනුවෙන් දරුවන් සම්බන්ධ නොකිරීමට හේතු තිබෙනවා. එයින් එකක් තමා හැමදාම උදේ පාන්දර නැගිටලා එකාකාර රටාවක යෙදෙන ඔවුන්ට ඉඳහිට ලැබෙන දවසක නිදා ගැනීමට ලැබෙන වේලාව නිසා එය නැති කර ගැනීම විශාල පාඩුවක් විදිහට සිතීම.
අනෙක් හේතුව අවුරුද්ද ලබන විටම කැලැන්ඩරය බලලා දීර්ඝ නිවාඩුවක් ලැබෙන මේ වගේ පොහොය දිනයන්හි චාරිකාවන් සංවිධානය කර ගැනීම. මේ සිදුවීම් දෙකම ඔවුන්ගේ පැත්තෙන් ඇත්ත. ඒත් දරුවෙකුට පාසලකින් ලැබෙන මේ අත්දැකීම් උපයා ගැනීමට පරිසරය ලබා දීමත් ඉතාම වටිනා දෙයක්.
ඇත්තටම දරුවෙක් මේ කටයුතු වෙනුවෙන් මැලි බවක් දක්වනවා නම් අම්මා තාත්තා විදිහට ඔවුන්ට එහි වටිනාකම් ගැන කියා දී යොමු කිරීම මිසක දරුවාට ඒ අවස්ථාව අහිමි කරනවාටත් වඩා බොරු හේතුවක් පෙන්වා දීමෙන් ඇති වෙන අහිතකර තත්වය දෙයාකාරයකින් බලපානවා.
දරුවාට ගුණ දහම් ලැබෙන්නේ නැහැ
ශීල සමාදාන වැඩසටහනකින් ඇත්තටම දරුවන්ට යා යුතු මග නොමග කියා දෙනවා. පොදු වේ සිදු වෙන ආගමික වැඩසටහනකට වඩා පාසලේ එහෙම නැත්නම් දහම්පාසලේ සිදු වෙන ආගමික වැඩසටහනකදී දරුවන්ටම ගැලපෙන විදිහට සංවිධානය වීමක් තිබෙනවා. ධර්මදේශනයේ පටන් භාවනා වැඩ සටහන් පවා දරුවන්ගේ මනසට ගෝචර වන සේ සැලසුම් කිරීම මෙතැනිදී ඉතාම වැදගත්. අපි හිතන්නේ භාවනාව වියපත් වුන විට පරලොව වෙනුවෙන් පමණක් බව නම් ඒ අදහස වැරදියි. අද බාල කාලයේ පටන්ම දරුවන්ටත් භාවනාව වැඩීම අගැන විවිධ අධ්‍යනයන් මගින් පෙන්වා දී තිබෙනවා. ආනාපානාසති භවනාව වැඩීමෙන් දරුවන්ගේ මානසික ඒකාග්‍රතාවය ඇති වෙන බව දැනටමත් විවිධ අධ්‍යනයන් මගින් සනාථ වී තිබෙනවා. ඒ නිසා දරුවන්ට මේ අත්දැකීම් ලබා ගැනීමට පාසල් මට්ටමින් සිදු වෙන ආගමික වැඩසටහන් වෙනුවෙන් සහභාගී කිරීම ඉතාම වැදගත්.
අත්දැකීම් ලබා ගන්න අවස්ථාව අහිමියි
අම්මාගේ මේ තීරණ නිසා ඇති වෙන අඩු පාඩු බොහොමයක් තිබෙනවා. පුංචි දියනියට තමාගේ පාසල් අවධියේදී ලබා ගන්නා අත්දැකීම් වෙනුවෙන් ඇයට අවසරයක් නැති වුනා. අම්මාට මේ කටයුතු වෙනුවෙන් යොමු වීමට අපහසුතාවයක් තිබෙනවා නම් ඒ වෙනුවෙන් කුමන හෝ විකල්පයක් අනුගමනය කළ යුතුයි. එසේ නැතුව දරුවාට ඒ වෙනුවෙන් ලැබෙන අවස්තාව කප්පාදු කිරීම එතරම් සුදුසු තිරණයක් නොවෙයි.
දරුවාට දඩුවම්
සිල් ගන්න නොපැමිනීම නිසා දරුවාට දඩුවම් ලැබෙන්නත් පුලුවන්. ඇතැම් පාසල්වල සිල් වැඩසටහනට නොපැමිනියොත් කවදා හෝ පාසලට එන දිනක දරුවා සිල් ගැනීමට යොමු කරනවා. එය දරුවාට මානසිකවත් ගැටලුවක්. ඇයි කිව්වොත් කණ්ඩායමක් විදිහට ලබා ගන්නා අත්දැකීම් වෙනුවට වෙන දිනයක එවන් කටයුත්තක යෙදීමෙන් ඇති වෙන්නේ මානසික හුදෙකලා බවක්. ඒ නිසා දරුවාට අවශ්‍ය වේලාවට අවශ්‍ය දේ කිරීමට අවස්තාව ලබා දීම වැඩිහිටියන්ගේ යුතුකමක්.
පාසලේ විනයට අනුගත වෙන්නේ නැහැ
අපි දරුවෙක් පාසලට ඇතුලත් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලඅධ්‍යාපනය ලැබීම පමණක් නොවෙයි. සාරදර්ම, විනය ආදි හැඩගැස්මක්ද පාසල් අධ්‍යාපනය සමග බලාපොරොත්තු වෙනවා.නීති රීති වලට ගරු කිරීමට දරුවා ඉගෙන ගන්නේ පාසලෙන්. ඒත් පාසලේ විනය තුළ අම්මාගේ නොමග යැවීමෙන් දරුවා පාසලේ විනයට අනුගත වෙන්නේ නැහැ.ඇත්තටම දරුවන් මැලි වුනත් දෙමව්පියන් විදිහට අපි ඔවුන් කෙසේ හෝ මේ කටයුතු වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත්.
පාරාවළල්ලක්
අද අම්මාගේ පහසුව වෙනුවෙන් ඇය බොරුවෙන් ගුරුතුමිය මුලා කිරීමෙන් වගකීමකින් නිදහස් වුනා යැයි හිතන්න ඇති. එහෙත් මේ සිදුවීම අනාගතයේදී දියණිය වෙතින්ම පාරාවළල්ලක් සේ ඇයට එල්ල වෙන්න පුලුවනි. මන්ද කිවහොත් අම්මා මේ අන්දමින් අද දවස් පංතියේ ගුරුතුමිය නොමග යැවීමේ ආභාෂයෙන් දියනිය උගත් පාඩමෙන් හෙට දවසේ ඇගේ මව නොමග යැවීම එතරම් අපහසුවක් නොවේ.
ඒ නිසා මව් පියන් වන අපි දරුවන් මුල් කර ගෙන පාසලේ පවත්වන බාහිර කටයුතු වලදී දරුවන් ඒ වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත්. යම් ලෙසකින් මේ වෙනුවෙන් අපහසුතාවයක් ඇත්නම් ඒ වෙනුවෙන් විකල්ප සොයනු විනා බොරු හේතු මවමින් ගුරුවරුන් මුලා කිරීමට උත්සහ ගන්න එපා. එහි අවසානයේදී ඔබ නොදැනම මුලාවට පත්ව ඇත්තේ දෙමව්පියන් බවත් අමතක නොකළ යුතුයි.