පාඩම් කරන්නේ කොහොමද…?

child-studying

“ගෙදර මහ පොතක් ඇත.. එකක්වත් මතක නැත” කියන්නා වගේ ඔබේ දරුවා පොත වෙතටම දෙනෙත් හෙලා සිටිය පමණින්ම ඔහු පාඩම් කළා යැයි ඔබට සෑහීමට පත් වෙන්න බැහැ. පාඩම් කිරීමට ගෙවුන කාලයට සාපේක්ෂව ඔහුගේ හිතේ විෂය කරුණු ධාරනය වී තිබිම ඉතාම වැදගත්.

මතකය කියන්නේ….?

හැම දෙනෙක්ම වාගේ කියන අමතක වීම ගැන නම් අපිට අත්දැකීම් තිබෙනවා. ඒත් මතකය කියන්නේ මොකක්ද ඇහුවොත් මෙන්න මේ යැයි උත්තර දීමට අපිට හැකියාවක් නැහැ. විෂය කරුණු අවශ්‍ය වේලාවට නැවත ආවර්ජනය කිරීම කෙටියෙන් අපිට මතකය විදිහට හදුන්වනන් පුලුවන්. බොහෝ දරුවන්ගේ චෝදනාව වෙන්නේ කොච්චර පාඩම් කළත් පිලිතුරු ලියන විට කිසිම දෙයක් මතකයට එන්නේ නැති බවයි. ඒත් නිරවුල්ව විෂය කරුණු මතකයේ තබා ගැනීමට නම් ඒ වෙනුවෙන් වීඩියෝපට වැනි දේ යොදා ගැනීම වැදගත් හැම විෂයකටම එය බැරි වුනත් පරිසරය වැනි විෂය වෙනුවෙන් මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය යොදා ගන්න පුලුවනි.

සිත හීලෑ කරන්න..

දරුවන්ට එක ඉරියව්වකින් පාඩම් කරන්න බැරි බව ඇත්ත. එය දරුවන්ට පමණක් නොවෙ අපිටත් සාධාරණයි. එකම කාර්යක සාර්ථකව නිරත විය හැක්කේ මුල් විනාඩි 40 ක කාලයේදී බව දැන් පිලිගත් සත්‍යක්. ඒ නිසා දරුවාට පාඩම් කිරීමට පැය ගණන් ලෙසින් ඔරලෝසුවටම සීමා කරන්න එපා. පාඩම් කරන විට විෂය වෙනස් කරන්න. කෙටි විවේක ලබා දෙන්න. දිගින් දිගටම එකම ඉරියව්වෙන් සිටින විට ඔවුන්ට ඇති වෙන අප්‍රසන්නතාවයට වෙනුවට කෙටි විවේක ලබා දෙන විට පාඩම සමග වෛරයක් ගොඩ නැගෙන්නේ නැත. මේ අතරවාරයේ ගීතයක් අසන්න, කෙටි ආහාරයක් ලබා ගැනීමටත් ඉඩ දීම වරදක් නොවෙයි.

පාඩම් කරන්න වේලාවක්..

දහසක් බුදුන් බුදුවුන උදේ කාලය පාඩමට වඩාත් ගැලපෙන බව අප අතරේ තිබෙන පිලිගත් සත්‍යක්. මෙය බ්‍රහ්ම මුහුර්තිය විදිහටත් හැදින්වෙනවා. උදේ කාලයේ තිබෙන නිසොල්මන්බව වගේම මනසේ තිබෙන පිරිසිදුබව නිසා අලුත් බවකින් පාඩමට ප්‍රවේශ වීමට පුලුවන්.

ඒත් හැම දෙනාටම එකම වේලාවට පාඩම් කිරීම බැහැ. සමහර දරුවන්ට රාත්‍රි කාලයේදී වඩාත් හොදින් පාඩම් කරන්න පුලුවන්. තවත් අයට දිවා කාලයේදී හැකියාව තිබෙනවා. ඒ නිසා දරුවාට පහසුවෙන් පාඩම් කිරීමට පුලුවන් වේලාව මෙහිදී තෝරා ගැනීමට අවසර දෙන්න. එවිට වඩාත් සාර්ථක ලෙසින් කරුණු ධාරනය කර ගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා. ඒ නිසා කිසිම විටෙක පාන්දර නැගිටින්නේ නැතැයි හෝ රාත්‍රියේ නිදිවරන වේලාව මදි යැයි චෝදනා කරන්න එපා. ඒ අයිතිය ඔවුන්ට ලබා දෙන්න. ඒ සමගම පරිසරය සහ මනස සන්නසුන්ව තිබෙන උදය කාලය පාඩමට වඩාත් ගැලපෙන කාලය බවත් දරුවාට කියා දෙන්න.

සමාජ ජීවිතයත් අවශ්‍යයි…

 කුමන තරාතිරමක අධ්‍යාපන තරඟයක සිටියත් දරුවාට සමාජ ජීවිතයක්ද අවශ්‍ය බව අමතක කරන්න එපා. පාඩම් කිරීම නිසා ඔවුන්ට ගමන් බිමන්…රූපවාහිනිය…පවුලේ  අය සමග කතා බහ වෙනුවෙන් තහංචි පැනවිය යුතු නැත. දරුවාත් සාමාන්‍ය තත්වයෙන්ම සිටින්න ඉඩ දෙන්න. අනවශ්‍ය විදිහට “විභාගය…” යන භීතිකාව හිතට නොදී විබාගය වෙනුවෙන් නිසි සූදානම එය ජයගැනීම් මාවත බව කියා දෙන්න. එයින් ඔබ්බට අනවශ්‍ය පීඩනයක් දීම කිසිසේත්ම සුදුසු නැත. දරුවා වගේම දෙමව්පියන්ද සාමාන්‍ය ජීවිතයක් ගත කරමින් ඔවුන්ගේ ඉගෙණුම් කටයුතු සදහා අවශ්‍ය සහයෝගය ලබා දීම මගින් දරුවා සහ පාඩම අතර බැදීම කිසිම අපහසුතාවයක් නොමැතිව ගොඩ නගන්න පුලුවන්.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here