තාත්තා වගේම කේන්තිකාරයෙක්

angry-child

දරුවන් අතරත් කේන්තිකාරයන් නැතුවා නොවෙයි. මේ තත්වය දරුවාගෙන් දරුවාට වෙනස්. ඇතැම් දරුවන්ට කේන්ති ගන්න කරුණු කාරණාවන් අවශ්‍ය නැහැ. ඒත් සමහර දරුවන් තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු නොවුනාම කේන්ති ගන්නා අන්දම අපිට පෙනෙන දකින සිදුවීම්වලින් පෙනෙනවා. දරුවන් කේන්ති ගන්නා අවස්ථා කීපයක් තිබෙනවා.

  • මහන්සිය
  • බඩගින්න
  • තමාගේ අවශ්‍යතාවය ඉටු නොවීම හෝ එයින් සෑහීමට පත් නොවීම
  • අවධානය ලබා ගැනීම

ඉහත දැක්වෙන කුමන හෝ සිද්ධියක් මුල් කර ගෙන දරුවන් කේන්තියට පත් වෙන්න පුලුවන්. කෝප වුනාමත් දරුවන්ගේ හැසිරීම එක් එක් දරුවාට වෙනස්. සමහර දරුවන් ආවේග පිට කරනවා. අසුවෙන අසුවෙන දේ පොලවේ ගහනවා.යටිගිරියෙන් කෑ ගසා අඩනවා. එහෙම නැත්නම් අම්මා හෝ අවස්ථාවේ හැටියට ඔහු සමීපයේ සිටින අයට පහර දෙනවා.

කේන්තිකාරයා පාලනය කරන්නේ කොහොමද…?

මුලින්ම ඔබ ‍කේන්ති ගන්නා සිද්ධිය පාලනය කරන්න. දරුවාගේ හිත කියවන්න ඔබ හොදින් දන්නා නිසා එය පහසුයි. හය හතර තේරෙන විට දරුවාගෙන් මේ හැසිරීම නොදැනීම දුරස් වෙන්න පුලුවනි. ඒත් ඔබ දරුවා කේන්තිකරන සිදුවීම් පුන පුනා කරන්න දුන්නොත්  නම් මෙය පාලනය කිරීම අපහසුයි.

අවධානය ලබා දෙන්න

බාල කාලයේදී දරුවන් දෙමව්පියන්ට සමීපව ඉන්න සතුටුයි. එය සාමාන්‍ය දෙයක්. ඒ නිසා තමයි නිතරම දෙමව්පියන්ට මනෝවිද්‍යාඥයින් විසින් කියන්නේ දරුවාට දැනෙන්න ආදරය කිරීම ඉතාම වැදගත් බව. ඒ නිසා දරුවාට ආදරය, ආරක්ෂාව සහ රැකවරනය අඩුවක් නැතුව ලබා දෙන්න. එවිට තමා සුරක්ෂිතයි යන සිතුවිල්ල ඔවුන්ට ඇති වෙනවා. එවිට අවධානය වෙනුවෙන් මව්පියන් සමග ආරෝවියවුල් ඇති කරගන්නේ නැහැ.

අනවශ්‍ය වේලාවට අවවාද එපා

දරුවා කේන්තියෙන් සිටින විටෙක අවවාද ලබා දෙන්න එපා. එය කළයක් මුනින් නවා වතුර පිරවීමට සමානයි. ඒ නිසා දරුවා සතුටින් සහ ඔබ සමීපයේ සිටින විට කේන්තියේ ආදීනව කියා දෙන්න. කේන්ති ගත්තාම ඉක්මනින් වයසට යෑමට ඉඩ තිබෙන බවත් කියන්න. ලස්සන නැති වීමට දරුවා කැමැති නැහැ. ඒ නිසා කේන්ති නොගෙන සිටීම වෙනුවෙන්  ස්වයංපාලනයක් ඇති කර ගැනීමට ඔහුගේ හිතේ සුලුවෙන් හෝ අවශ්‍යතාවයක් ඇති වේවි.

නිතරම පාලනය එපා

ඔබ නිතරම දරුවා පාලනය කිරීමට උත්සාහ කරන්න එපා.ඔවුන්ටත් යම්කිසි තරමකින් ස්වාධීනත්වය අවශ්‍යයි. අනාරක්ෂිත සහ දරුවාට අවැඩක් වෙන දෙයින් ඔවුන් මුදවා ගැනීම හැර නිරන්තරව දරුවා අත තබන හැම දෙයටම පාලනයක් කිරීමට උත්සහ නොකරන්න. ස්වාධීනත්වය අහිමිවීම දරුවාගේ කේන්තියට හේතු වෙන මානසික කරුණක් නිසා එය සෘජුවම මව්පියන්ට ප්‍රදර්ශනය වෙන්නේ නැහැ.

අවධානය වෙනස් කරන්න

දරුවාට කේන්ති ගිය අවස්ථාවකදී අවධානය වෙනස් කරන්න උත්සාහ ගන්න. “අන්න… තාත්තා ඇවිත්…බලන්න පුතාට චොකලට් ගෙනත්ද…?” මේ විදිහට හෝ “අද හවස අපි පාක් යමුද…?” ආකාරයෙන් අවධානය වෙනස් කරන්න. එවිට ඔහුගේ අවධානය වෙනස් වෙන නිසා කේන්තිය මග හැරී යාවි.

අලුත් දෙයක් කරනවා නම් උදව් වෙන්න

දරුවන් අලුත් දෙයක් කිරීමට කැමැතියි. එවන් අවස්ථාවලදී ඔවුන් වලක්වන්න උත්සාහ කරන්න එපා. දරුවාට කිරීමට අපහසු කටයුතු ඔවුන්ට ඉටු කර දෙන්න. එසේ නොමැතිව “ඔයාට ඒක බැහැ…මම සිංහලෙන් කිව්වා…” විදිහට නිශේධනය කරන්න එපා. එය දරුවාගේ කෝපය ඇවිස්සීමක් මිස ඔහුට උදව්වක් නොවේ.

වෙලාවක් තිබෙන්න ඕන

දරුවා පාසල ඇරී නිවසට එන විටම වැඩ කටයුතු ලැයිස්තුවක් දෙන්න එපා. මේ කටයුතු හදිසි වුනත් කියන වෙලාවක් තිබෙනවා. නිතරම දරුවාගේ පැත්තෙන් හිතන්න. ඔහු විවේක ගත් විට කළ යුතු දේ ආදරයෙන් කියන්න.අම්මා හෝ තාත්තාගේ ඉල්ලීම සාධාරණ බව දරුවාට ඒත්තු ගිය විට ඔහුගේ හිතේ කිසිම ලෙසකින් කෝපයක් ඇති වෙන්නේ නැහැ.

දරුවාගේ කේන්ති දකින විට අපිට කියැවෙන්නේ අම්මා වගේ එහෙම නැත්නම් තාත්තා…මේ දෙන්නාම නැත්නම් ඊටත් එපිට පරම්පරාවක අත්තම්මා හෝ සීයාට සමාන කරනවා. එවිට දරුවා හිතන්නේ තමාගේ ආවේගශීලීත්වය ඉතාම සාධාරණ පරම්පරා උරුමයක් බවයි. වැඩිහිටියන් විදිහට ඔබටත් කේන්තියෑම සාධාරණයි. එහෙත් දරුවන් ඉදිරියේ ඔබේ අනවශ්‍ය කේන්තිය ප්‍රදර්ශනය කරන්න එපා.

දරුවන්ගේ කේන්ති වුනත් ඔවුන්ට දැනුම් තේරුම් ඇති වෙන විට ඉබේටම මග හැරෙනවා. ඒ නිසා දරුවා ඉදිරියේ ඔබ නොදරුවෙක් වෙන්න එපා. ඔබේ ඉවසීම සහ බුද්ධිමත්බව අනාගත කේන්තිකාරයෙක් අද දවසේ මෙල්ල කර ගැනීමක් බවත් අමතක කරන්න එපා.

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here