මගේ දෝනිත් ශිෂ්‍යත්වේ කරා….

grade-5-examination

ශිෂ්‍යත්වය වෙනුවෙන් දියණියගේ ඇතැම් යෙහෙළියන් තුන වසරේ සිටම පන්ති ඇරඹුවා. වෙන්නේ මොනවද කරන්නේ මොනවද කියලවත් දැනීමක් නැතිව ළමයි ගොඩක් පිරුණු පන්තියකට ඇයව සහභාගී කරවන්න මට නම් ලෝභ හිතුණා. ටිකෙන් ටික ඔන්න දුව හතර වසර පන්තියටත් පා නැගුවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් වැඩි ගණනක් හදාරන නිසාදෝ ඇයට ඇතැම් විෂයයන් හා සම්බන්ධ බොහොමයක් සිංහල වචනවල හුරු බවක් තිබුණේ නැහැ. නමුත් ඇය සිංහල අක්‍ෂර වින්‍යාසය, ව්‍යාකරණ පිළිබඳව මනා දැනුමකින් යුක්ත වුණා. මේ වනතුරුත් නර්තනයට හැර වෙනත් කිසිදු අමතර පන්තියකට සහභාගී නොවූ ඇය හතර වසර අවසානයේදී ශිෂ්‍යත්වය වෙනුවෙන් පන්තියකට ඇතුළත් කෙරුණා. ඒ පන්තිය පැවැත්වුණේ එම ගොඩනැගිල්ලේ සිව්වන මහලේ. සතියේ දිනක ඇය පාසැල නිමවී ආ පසු මම ඇගේ නැගනිය ද කරපින්නා ගෙන ඇයව එතනට රැගෙන ගොස් සිව්වන මහල තෙක් ඇය සමග ගියේ හැකි කමකට නම් නොවේ. ඒ ගුරුවරයා මදක් සැර වුවත් දරුවන්ට පිට හරහා තඩි බෑවත් අවශ්‍ය කරුණු අවශ්‍ය ලෙසම දරුවන්ට කාවද්දන්නට සමත් බව පන්තියේ පිටුපස සිටින දෙමාපියන් අතරේ අසුන් ගෙන සිටි පළමු දිනයේදීම මට වැටහුණා.

ඒ කෙසේ වෙතත් සියල්ල කණ පිට හැරෙන්නට ගත වුණේ මාස දෙකක් තරම් වූ අඩු කාලයකි. චක්කරේ මහා කරදරයක් ලෙස සිතන ඇයට ඒ සිතුවිල්ලට හේතු වූයේ හැම චක්කරේම 5 එහා නොහැකි වීමයි. ඇය පැකිලීමකින්  තොරව නොබියව කියන්නේ පස්වරක් සහ දහවරක් පමණි. පන්තියේ එක් එක් සිසු සිසුවියන්ගෙන් චක්කරය අහන අතරේ දින හතරක්ම බේරුණු ඇය පන්තිය නතර කිරීමේ තීරණය දක්වා දුර දිග යන්නට හේතු වුයේ ගුරුවරයා හතරවරක් ඇසීමයි. එයද පහෙන් එහා කීම ඇයට ගැටලු සහගතය. ඇයගේ වාසනාවට ගුරුවරයා පහෙන් පසු වාරය ඇය ළඟ සිටි අනෙක් දියණියට පැවසීමට අණ කර ඇති නිසා ඇය ගුටි නොකා බේරුණු බව නිවසට එන අතර මගදී ඇය පවසන්නට විය. එසේ වුවත් චක්කරය පාඩම් කළ යුතුය යන සිතිවිල්ල ඇගේ සිතේ කොනකටවත් ඇවිත් තිබුණු බවක් දැන ගන්නටද නොවිය. ඇයගේ තීරණය වී තිබුනේ ඇය නැවත එම පන්තියට සහභාගී නොවන බවයි. ඒ පන්තියට මින් ඉදිරියේදී සහභාගී නොවන බව තීරණය කරන්නට ඇත්තේ චක්කරය විමසූ අවස්ථාවේදීමය.

ඇය ශිෂ්‍යත්වයට තදින්ම වෙහෙස නුවූවත් 100 මට්ටම දක්වාවත් ලකුණු ලබා ගැනීමට ඇයට අවශ්‍ය වටපිටාව සකස් කළ යුතු බව මම සිතුවේ කිසිදු කැපවීමකින් තොරව උසස් ප්‍රතිපල බලාපොරොත්තු වන ගතියක් ඇය තුළ ඇති බවට මේ වසර දහය පුරා ඇය සමග ගත කළ දිවිය තුළ ඇගේ මව ලෙස මා ලද සාක්ෂි හේතුවෙනි. ඒ ඇයගේ හැටිය. හරි හැටි නොකා නොබී මහත් වන තුරු බලා හිඳින ඇය වෙහෙස නොවී විභාගයකින් උසස් ප්‍රතිපල ලබන්නට පෙරුම් පිරීම අරුමයක් නොවේ.

2018 වසර උදා විය. අපට හමුවන දන්නා කියන ඕනෑම අයෙකුගේ මුල්ම ගැටලුව “ආ… මේ පාර  ශිෂ්‍යත්වේ නේද? කොහොමද මෙයා වැඩකරනවද? හොඳට පාස් වෙන්න ඕනේ…” ඇයට මෙය මාහා හිසරදයක් බව කිහිප වරක්ම මා සමග පැවසීය.

මේ 2018 ජනවාරි මාසයයි. “ශිෂ්‍යත්ව පන්තියකට නොදා බෑ. මෙයා ෆේල් උනොත් අපිට හිත හදලා ඉවරයක් නැති වෙයි…” ඇය ඊලඟ පන්තියට යොමු වන්නේ ඒ ආකාරයටයි. මේ ගමන් බිමන්වලදී අක්කාගේත් අම්මාගෙත් සහයට නංගිත් සහභාගී වෙයි. අක්කාගේ රාජකාරි වෙනුවෙන් මුළු දවසක් වුවත් රස්තියාදු වීමට නැගණිය කිසිදු විටෙක මැසිවිලි නගා නැත. එතනට පැමිණෙන දන්නා/නොදන්නා  මව්වරුන් සමග කුළුපගව ආදරය දිනාගන්න ඇයට ඇතැම් විට ඔවුන් රැගෙන එන බිස්කට් පැකට්ටු තම භාරයට ගන්නට වැඩි වෙලාවක් ගත වන්නේ ද නැත. අක්කා මෙන් නොව නංගී බෙහෙවින්ම කුළුපග චරිතයකි.

මේ පන්ති යෑමටත් කණ කොකා හඬන්නේ මාස දෙකහමාරක් ගත වන්නටත් පෙරෙය. ඇය “ශිෂ්‍යත්වයට මම ගිය පන්ති දෙකම තියෙන්නේ උස තැන්වල” යන්න ඇර පන්තිය ගැන කිසිදු අදහසක් ඉදිරිපත් කරන්නේ කලාතුරකිනි. ඒ පන්තියත් එහෙමම නතර උනත් මාස දෙකක කාලය තුළදී, විෂයයන් හා සම්බන්ධ වචන බොහොමයක සිංහල වචන පිළිබඳව දැනුම ඇයට ලැබී තිබුණි. එය සැබවින්ම සතුටට කරුණකි. සිංහල බසින් ලබා දෙන ඇතැම් ගණිත ගැටලු ඇයට වටහා ගැනීම අසීරු වුයේ ද නැත. නමුත් පන්තිය දැන් අවසන්ය.

“ගෙදර ඉඳගෙන පේපර්ස් කරා නම් ඉවරයි. කොහොමත් ළමයි ගොඩක් ඉන්න පන්තිවලට දාල මෙයාට අමාරුයි.” ඇගේ පියාගේ අදහසට අනුව ශිෂ්‍යත්වය වෙනුවෙන් නම් දැරූ ගුරු භවතුන් කිහිප දෙනෙක්ගේම ප්‍රශ්න පත්තර කට්ටල කිහිපයක්ම ඇගේ මේසය මතට එන්නට වැඩි දවසක් ගත වුයේ නැත. සති අන්තයේ තාත්තා සමග ප්‍රශ්න පත්තර නියමිත වෙලාවට කරන ඇය තාත්තා මොහොතකට ඉවත් වූවොත් වැඩේ නතර කරනවා විතරක් නොවේ, දෙවන කොටසට දී ඇති වෙලාවේ දිගුකම නිසා පපුව රිදෙනවා, බඩ රිදෙනවා, වමනෙට වගෙයි. මට ගැස්ට්‍රයිටිස්. ඇතැම් විට හාර්ට් ඇටෑක් එකක් තරමට පපුව රිදෙන බව පවසමින් ඒවා මග හරියි. නැගණිය අක්කාට ලබා දෙන ප්‍රශ්න පත්‍රය අවසන් වන මොහොත දක්වා ඇයගේ තනියට යාබද මේසයේ තනි රැක්කද සුළු වරදකින් අක්කාගේ බැනුම් කෝටිය අසා ගන්නේ වෙලාව ඉක්මනින් ගලා නොයෑම හේතුවෙන් අක්කා තුළ ගොඩ නැගෙන අධික පීඩනය නිසාය. ඒ මොහොතේ හඬා වැටුනද ඒ සැනින් අක්කා සමග මිතුරු වීමේ ආදරණිය ගුණයක් නංගි සතු නිසාම ඔවුන් අදටත් සහෝදරියන් ලෙස එකට සිටින බව මාගේ විශ්වාසයයි.

මේ සියල්ල සමගින් ශිෂ්‍යත්වයට තව ඇත්තේ මාස දෙකක් පමණි. පාසැලේ පැවැත්වෙන අමතර පන්තියට නොකඩවා සම්බන්ධ වුණු ඇය වැඩිම ලකුණු සහිත දරුවන් පිරිස අතරේ තමා සිටිනා බව කිහිප විටක්ම පැවසීය. නමුත් ඒ කියන තරමටම ඇයගේ කතා විශ්වාස කිරීම අප දෙදෙනාම නොකරන්නකි.

දිනක් සතියේ දවසක පාසැලට ඇය සහභාගී නොවූ නිසා ප්‍රශ්න පත්‍රයක් දී නාන කාමරයට ගොස් පැමිණ ඇගේ හපන්කම් බලන්නට සැරසුනෙමි. බලන බලන ප්‍රශ්නයට ඇය සපයා තිබුණේ නිවැරදි පිළිතුරුය. ඇයට ලකුණු 100%කි. එක්වරම මගේ සිහියට ආවේ පිළිතුරු පත්‍රය මගේ මෙසේ උඩ නේද යන්නයි. ප්‍රශ්න පත්තර කට්ටලයක් ගත් විගස පිළිතුරු පත්‍රය ඉවත් කරන්නේ මමද මේ වයසේදී උත්තර පත්‍රය බලා පිළිතුරු යෙදූ බව අදටත් මතක නිසාමය. මුවට සිනහවක් නැගුනද එය වලක්වා ගත් මා ඇය කළ වැඩේ දන්නා බව ඇඟවිමට “උත්තර කොළේ බලන් ගැහුවත් පුතා එකක් දෙකක් හරි වැරදියට ගහන්න ඕනේ. නැත්තම් කළ හොර වැඩේ අහුවෙනවනේ…” යැයි පැවසු වෙමි. ඇයට ඇයගේ සිනහව පාලනය කර ගැනීම අපහසු විය. මගේ බෙල්ලේ එල්ලුණු ඇය “අම්ම එක්ක මුකුත් කරන්න බෑ” යනුවෙන් නෝක්කාඩු කිවේ කනට කන තියා ඇයගේ හිත අහන්න මට පුළුවන් යැයි මා පැවසූ දෙයද මතක් කරමිනි. ඇය ඇගේ පියාට ඒ ගැන පැමිණිලි කර තිබුණේ “අනේ බලන්න තාත්තා, අම්මට මගේ කනට කන තියලා හිතන දේ අහන්නත් පුළුවන්, එයා මම මොකක් හරි කරන්න හදනකොටම ඒක ගැන කියනවා” යනුවෙනි. මම හැරෙද්දී මගේ අම්මා මම කරන්නට යන දේ ගැන කියූ විට මා පුදුම වූවා සේම අද මගේ දියණියද ඒ ගැන පුදුමයට පත්වේ. මවක් වූ යම් දිනෙක ඇයගේ දරුවාගේ කනට කන තියා හිත ඇහිය හැකි විස්මිත හැකියාව පිළිබඳව ඇයද අවබෝධ කරගනු නිසැකය.

ඔන්න දැන් ශිෂ්‍යත්වයට පෙර දා රාත්‍රියේය. ඇයගේ හිස පීරමින් සිට මට දැනුණු හැඬුම්බර බව නිසාම හිසකේ මෑත් කර ඇගේ මුහුණට එබුනේ මක් නිසාදැයි දැන ගැනීමටයි. කම්මුල් දිගේ කදුළු බේරෙයි. “ඇයි පුතා… කොන්ඩේ පිරද්දී රිදුනද? නෑ අම්මා.. මට බයයි ශිෂ්‍යත්වෙට යන්න. මම වැඩ කළෙත් නැනේ.”

“අයියෝ.. මේ ඒකද? කවුද පුතේ ශිෂ්‍යත්වෙට බය වෙන්නේ. මේක ඔයාට පොඩි පෙරහුරුවක් විතරයි. ජිවිතේ අපිට මීට වැඩ දේවල්වලට මුණ දෙන්න වෙනවා.” ඇයගේ කදුළු නැවතීමට ඒ වචන ප්‍රමාණවත් නොවීය. අම්මා ඇය දමා යන බව පැවසුවාක් මෙන් ඇය නොනවත්වා හඬා වැටෙයි. තාත්තාට ද තුරුළු වී  ඇය තවත් හඬන්නට විය.

“බබා, ඔයාගේ ඉගෙනීමෙන් ඔයාගේ ජිවිතේට බලපෑමක් වෙන පළවෙනිම කාඩ ඉම වෙන්නේ O/L. ඒ කියන්නේ O/L ලෙවල් ෆේල් වුනොත් ඔයාට A/L කරන්න බෑ. ආයේ ආයේ කරන්න වෙනවා. O/L කරගත්තා කියමු. ඊළගට A/L, ඒක ෆේල් උනොත් අනාගතේ ඔයා ඉස්සරහට යන පැත්තක් ගැන හරි තීරණයක් ගන්න අමාරු වෙනවා. අනික ඒක ආයේ ආයේ කරන්න පුළුවන් තුන්පාරයි. ඒත් ශිෂ්‍යත්වය කියන්නෙ ඔයාගේ ජිවිතේට බලපෑමක් කරන්න පුළුවන් තරම් පවර් එකක් තියෙන විභාගයක් නෙවෙයි. ඒ නිසා ඔයා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.”

තාත්තාගේ දේශනා අවසානයේ ඇගේ කදුළු නතර වී තිබුණා. ඇත්තටම මේ පුංචි දරුවන්ට ලබා දෙන පීඩනය ඔවුන්ට දරන්න පුළුවන් තරම්ද කියලා හිතද්දී දැනෙන්නේ ලොකු දුකක්. බහුතරයක් අම්මලා ශිෂ්‍යත්වය වෙනුවෙන් දරුවන් නොසෑහෙන වෙහෙස කරවන අතරේම ඒ වගේම මව්වරුන් කොටසක් දරුවන් ඒ පීඩනයට කිසිසේත්ම ලක් කරන්නත් අකමැතියි. ඒ වගේම මධ්‍යස්තව මේ වෙනුවෙන් කටයුතු කරන අම්මලාත් ඉන්නවා. ඇත්තටම මේ විභාගය පහතට දාන්න පුළුවන් දෙමව්පියන්ටමයි. මේ වෙනුවෙන් දරුවන්ට දෙන පීඩනය ඔවුන්ගේ අනාගතය කවදාක හෝ නැත්තටම නැති කරනවා විය හැකියි. මානසික රෝගීන් බවට පත් වෙන දරුවන් ඔවුන්ගේ ජීවිතය විඳින්නටවත් මොහොතක් වෙන් නොකරනු ඇති. ඔබේ දුව/පුතා ලබන වසරේ මේ විභාගයට මුහුණ දෙනවා ඇති, ඒත් අම්මේ තාත්තේ දරුවන්ගේ කර මතට දැරිය නොහැකි අයුරින් ශිෂ්‍යත්ව බර නම් පටවන්නට එපා.

අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here