- Advertisement -

අදටත් ගැලපෙන ඉස්සර උපදෙස්

-

කෑමට බීමටත් වෙලාවක් කලාවක් තියෙන්න ඕන කිව්වට අද බොහෝ දරුවන්ට තබා දෙමව්පියන්ටවත් ඒ ගැන දැණුමක් නැහැ. ඒත් අතීතයේදී නම් දෙමව්පියන් විසින් මේ රීති ඉතාම දැඩිව අනුගමනය කළා. හැබැයි ඔවුන් මේ සිදුවීම්වල පසුබිම හෝ විද්‍යාත්මක පදනම දැන හිටයේ නැහැ. ඒ වුනත් ඔවුන්ගේ දැනමුතුකම් නිසා දරුවන්ගේ නීරෝගිකම ආරක්ෂා වුණා.

නානවා නම් කන්න ඉස්සර

ආහාර වේලකින් පසුව නාන්න අම්මලාගෙන් අවසර ලැබුනේ නැහැ. ඒ ඇයි කියල විද්‍යාත්මකව නොදැන හිටියත් අම්මලා කිව්වේ කාලා නෑවොත් බඩ පුරවා දානවා කියලයි. ඒ කතාව සම්පූර්ණ ඇත්ත. අපි ප්‍රදාන ආහාර වේලකින් විනාඩි 30 – 45 ක් ගෙවෙන්න ඉස්සරින් නැවොත් ජීරණ ක්‍රියාවලිය සාර්ථකව සිද්ධ වෙන්නේ නැති බව දැන් විද්‍යාත්මකව සනාථ වෙලා තිබෙනවා. අපේ ආහර ජීරණයට අවශ්‍ය ශක්තිය සඳහා හොඳ රුධිර සැපයුමක් ආමාශයට අවශ්‍ය වෙනවා. අප් ස්නානය කිරීමේදී සිරුරේ උෂ්ණත්වය පහළ බසින නිසා සම උනුසුම් කිරීමට මනා වූ රුධිර සංසරණයක් අවශ්‍යයි.ආමාශයට අවශ්‍ය රුධිරය නොලැබීම නිසා ආහාර ජීරණය නිසි පරිදි සිද්ධ වෙන්නේ නැහැ.

- Advertisement -
කාපු හැටියේම තේ බොන්න එපා

ආහාරයක් සමග තේ පානය එපා කියන්නත් හේතු තිබෙනවා. තේ වගේම කෝපිවල තිබෙන අම්ල ජීරණයට බලපානවා විතරක් නොවෙයි, යකඩ සිරුරට උරා ගැනීමට බාධාවන් ඇති වෙනවා. ඒ නිසා ආහාරයකින් විනාඩි තිහක් පමණ කාලයක් ගෙවෙන තෙක් තේ පානයට අවසර නොදීමත් සාධාරණයි. දරුවන් ලැබෙන්න සිටින ඉන්න ගැබිණි මව්වරුන් වගේම දරුවන්ගේ යකඩ අඩුවීම නිසා ඔවුන්ට ආහාරයකින් පසුව තේ කෝප්පයක් බොන්න පෙර දෙවතාවක් හිතන්න.

ආහාර ගත් සැනම නින්ද එපා

අද කාලයේ දරුවන් ආහාර ගත් හැටියේම දරුවන් ඇඳට වැටෙන රටාවක් ඇති වෙලා. ඇයි ඉතින් රෑට රෑ වෙලා ගෙදර ඇවිත් පහුවදා පාන්දරින්ම අවදි වෙලා ආයේම රටාව පටන් ගන්න එපායැ. ඒ නිසා සමහර දරුවන්ට බත් කවන්නෙත් ඇදේ නින්දට සැරසිලා ඉන්න විටයි. ඒත් එදා අම්මලා දරුවන්ට තදින්ම දුන් අවවාදය වුනේ “කාපු හැටියේ ඇඳට වැටෙනවා හෙම නොවෙයි…” යන්නයි. එහි විදයාත්මක පැත්ත සමහර විටඅපිත් නොදන්නවා විය හැකියි.

ජපන් ජාතිකයන් නම් රාත්‍රි ආහාරය ලබා ගන්නේ හවස හයට විතර. ආරෝග්‍යශාලාවල වුනත් රෝගීන්ට රාත්‍රි ආහාරය කලින් දෙන්නේ ඒ නිසයි.ආහාරය ලබා ගෙන තිරස් ඉරියව්වවක හිටියොත් ජීරණය නිසි විදිහට සිද්ධ වෙන්නේ නැහැ. පපුව රිදීම, බඩ පුරවා දැමීම වැනි ‍රෝගාබාධ ගැන සමහර විට පැමිනිලි ලැබෙන්නේ මේ නිසා වෙන්න ඇති. ඉතින් රාත්‍රි ආහාරය අරගෙන පැය දෙකක් ගෙවෙන තෙක් පුංචි පුංචි වැඩ කටයුතු කරන්න පුලුවනි. එතකොට නිවසේ වුනත් එහා මෙහා ඇවිදීම සිදු වෙනවා. මුලුතැන්ගෙය පිරිසිදු කිරීම, පිඟන් කෝප්ප සේදීම වැනි කටයුතු වුනත් කරන්න පුලුවනි.

ව්‍යායාම

අතීතයේ අපේ ජනසමාජයට ව්‍යායාම වෙනුවෙන් අමුතුවෙන් කාලයක් වෙන් වුනේ නැහැ. ඒත් ආහාර ගැනීමෙන් පසුව ගස් නගින්න, පීනන්න හෝ බයිසිකල් පදින්න දරුවන්ට අවසර දුන්නේ නැහැ. ප්‍රධාන ආහාර වේලකින් පසුව ව්‍යායාමවල යෙදෙන විට ආමාශයේ වේදනාවන් වගේම කෙණ්ඩා පෙරලීම් වගේ තත්වයන් ඇති වෙනවා. ඒ බව වෛද්‍ය විද්‍යාත්මකවත් දැන් පිලිගත් සත්‍යක්. ඒ විතරක් නොවෙයි, දවල්ට ඉතින් ව්‍යායාම කරන්න වෙලාවක් නැහැ කියල රාත්‍රි ආහාරයෙන් පසුව ව්‍යායාමවල යෙදීමත් එතරම් සුබ නැහැ. අපිට නින්ද තරම් මනසට විවේකයක් ලබා දෙන ඔසුවක් වෙනත් නැහැ. සුවදායක නින්දක් ලැබීමට මෙලටොනින් හෝර්මෝනය නිදහස් වීම අවශ්‍යයි. ඒත් ව්‍යායාම නිසා මෙම හෝර්මෝනය නිදහස් වීමට බාධා ඇති වෙනවා. ඒ නිසා තරුණ වයසේ දරුවන්ටත් ව්‍යායාම කිරීම රාත්‍රියේ සිදු නොකළ යුතු බවට දැණුවත් කිරීම වඩාත් සුදුසුයි.

අපථ්‍ය ආහාර

එදා අපේ අත්තම්මලා එකම වේලකට කිරි, මස්, මාලු ආහාරයට ගැනීමට දුන්නේ නැහැ. ඒ ඇයි කියල එදා අපි නොදැන සිටියත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මාළු උෂ්ණ ගුණයෙන් සහ කිරි ශීත ගුණයෙන් යුක්ත නිසා මේවා එක්වර ආහාරයට ගැනීමෙන් අගුණ ඇති වීමට ඉඩ තිබෙනවා. ඒ වගේම දියර කිරි සහ කෙසෙල්, කොමඩු වැනි පළතුරු ආහාරයට ගැනීමටත් අවසර දුන්නේ නැහැ. කිරි සමග කෙසෙල් ආහාරයට ගැනීමෙන් සෙම් ගතිය ඉහළ යෑමට පුලුවනි. තරබාරුවටත් මේ සංයෝගය හේතු වෙන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව මගින් පෙන්වා දෙනවා. කිරි පානයෙන් පසුව බිත්තර ආහාරයට ගත් විට අජීර්ණ ඇති වෙන නිසා අඩුම වශයෙන් බිත්තර සමග පාන් ආහාරයට ගත්තොත් ඒ සමග කිරි පානයට අවසර දුන්නේ නැහැ.යෝගට් සමග චීස් ආහාරයට ගැනීමටත් තහංචි තිබුණා.කොල්ලු වගේ ආහාර සමග ඇඹුල් රස ආහාර එක වේලට ලැබුනෙත් නැහැ. උදා, උක්හකුරු සහ කිරි එකවර ආහාරයට නුදුන්නේ මේ ආහාර දිරවීමට බොහෝ වේලාවක් ගත වෙන නිසා අපේ සිරුරේ සියුම් මාර්ගවල තිබෙන දියර ස්වභාවය ඉහළ ගොස් ඉදිමුම වැනි තත්වයන් ඇති වීමට පුලුවන් නිසයි. ඒ වගේම හවස් කාලයේ වරකා ආහාරයට ගැනීමට දුන්නේ නැත්තේ දිරවීම අපහසු නිසයි. ඒ වගේම ඹ්නෑම වෙලාවක වරකා ආහාරයට ගත් විට අන්තිම මදුලට ගම්මිරිස් ඇට දෙක තුනක් එකතු කලා.

දුම්පානය

දුම්පානය නම් එදා කතා නොකල මාතෘකාවක් වුනත් අද දවසේ දුම්පානය කරන සමාජයක් බිහි වී තිබෙන නිසා ඒ ගැන වෛද්‍ය විද්‍යාත්මක තත්වය දැන ගැනීමත් නරක නැහැ. ආහාරයෙන් පසුව දුම්පානය එපා කියන්නේ මේ නිසයි. ආහාර ජීරණය වෙනුවෙන් අපේ සිරුරේ පද්ධති හැම එකකින්ම දායකත්වය ලැබෙනවා. නිකොටින් මිශ්‍ර වාතය නිසා ශ්වසන පද්ධතියේ කාර්යන් දෙගුණයකින් ඉහළ යන නිසා ජිරණයට අවශ්‍ය ශක්තිය ගැන ගැටලුවක්. ඒ විතරක් නොවෙයි, අපේ ආහාරයේ තිබෙන විටමින් සි, ඩී, සහ කැල්සියම් දුම්කොල මගින් උරා ගන්නා නිසා අපිට අවශ්‍ය පෝෂණය ලැබෙන්නේ නැහැ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article